Sunday, June 1, 2014

සමසෞඛ්‍ය ගැටලුව විසඳන ලෙස ඉල්ලා සිසුන් සමඟ වෘත්තිකයන් වීදි බසී



සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව වසර 03ක් දක්වා කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන යන අරගලයට සහාය පළකරමින් සෞඛ්‍ය වෘත්තීය සම්ගම් හා අධ්‍යාපන වෘත්තීය සංගම් සහභාගී වී අද (28) දැවැන්ත පාගමනක් සංවිධානය කළේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සංගම් ගණනාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම විරෝධතා පා ගමන කොළඹ මහ රෝහල අසලින් ආරම්භ කොට පිට කොටුව දුම්රියපොල දක්වා ගමන් ගන්නා ලදී.

මෙහිදී සම සෞඛ්‍ය පාඨමාලාව කප්පාදුවට එරෙහිව සටන් පාඨ කියමින් හෙද හෙදියන් හා සෞඛ්‍ය සේවයට සම්බන්ධ විශාල පිරිසක් සහභාගී වූ අතර පාගමන අවසානයේ වෘත්තීය සමිති නායකයින් විසින් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක්ද සිදු කළේය.

එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සදහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සමසෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කප්පාදුව නතර නොකරන්නේ නම් අපි අනතුරු ඇගවූ ආකාරයට මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඩනගන සියලු වෘත්තීය සමිති එකතුව දක්වන විරෝධතාවයේ මුල් පියවර ලෙස මේ විරෝධතා පාගමන සෞඛ්‍ය සේවයට සම්බන්ධ වෘත්තීය සමිති හා අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති එකතුව පැවත්වන්නට යෙදුනේ.

තවදුරටත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව පිළිතුරු දෙන්නේ නැත්නම් මේ රටේ සියලු වෘත්තිකයන් කම්කරුවන් සිසුන් ඇතුළු දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දැනෙන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පැවසීය.



මෙහිදී අදහස් දැක්වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය සදහන් කර සිටියේ මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් කප්පාදු කොට ඇති සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව නැවත සිව් අවුරුදු පාඨමාලාවක් බවට පත් කිරීම සදහා පියවර ගන්න යැයි බලකමින් සෞඛ්‍ය සේවයට සම්බන්ධ , අධ්‍යාපනය සේවයට සම්බන්ධ හා නොයෙක් වෘත්තීන්ට සම්බන්ධ පිරිස් වගේම දෙමාපියන්, විශ්වවිද්‍යාල සිසුන් එකතුව මේ දැවැන්ත පාගමනක යෙදුනේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසම කියනවා නම් මේක තමන්ට අයිති නැති වැඩක් කියලා, එස්.බී. දිසානායක කියනවා නම් මේක තමන්ට අයිති නැති වැඩක් කියලා, මේකට විසදුම තියෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතේ කියලා. අපි කියනවා එහෙනම් ඔබලා ඔතනින් ඉවත් වී එම වෛද්‍ය නිලධාරීන් එම පුටුවල වාඩිකරන්න කියා. යැයි සදහන් කර සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු අවධාරණය කොට සිටියේ මේ සමසෞඛ්‍ය සිසුන් පාඨමාලාව සමත්ව පැමිණෙන්නේ අපිත් එක්ක එකට සේවය කිරීමට ඒ නිසා අපිට අයිතියක් .තියෙනවා ඔවුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න. අපි ආණ්ඩුවට බලකර සිටිනවා මේ ප්‍රශ්නය විසදන්නේ නැත්නම් පසුගිය කාලේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණු දුන් අමිහිරි අත්දැකීමට එනම් වැඩවර්ජනයකට යාමට හැකි බවත් ප්‍රකාශ කොට සිටියේය.



ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, පරිපුරක හා අතුරුවෛද්‍ය සේවා සංගමයේ සමන් ජයසේකර යන නායකයින්ද මෙහිදී අදහස් දක්වන ලදී.

 ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන