Monday, April 30, 2012

EB විශය නිර්දේශ


Grade 1 (1වන ශ්‍රේණිය) සඳහා ඔබටත් ඉල්ලුම් කළ හැකිද?


හෙද දිනයට ආරාධනා


ඉඳුරුව සෞඛ්‍ය සායනයේදී එන්නතකින් පසු බිළිඳෙක්‌ මියගිහින්

ඉඳුරුව - තිලක්‌ විඡේසුන්දර

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පැවැත්වූ ළදරු හා මාතෘ සායනයකදී රෝග පහක්‌ සඳහා ලබාදෙන ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌ ලබාදීමෙන් පසුදින මියගිය බව කියන මාස දෙකක්‌ වයසැති පිරිමි දරුවකුගේ මරණය පිළිබඳව පැවැත්වූ හදිසි මරණ පරීක්‍ෂණයේදී ඉඳුරුව හදිසි මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ලබා දී ඇත.

මෙසේ මරණයට පත්වී ඇත්තේ ඉඳුරුව කයිකාවල එස්‌. ඕ. එස්‌. සුනාමි නිවාස ව්‍යාපෘතියේ පදිංචිව සිටි මුතුමුණි ලක්‍ෂිත සිල්වා දරුවාය.

මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එල්. කේ. සී. ඩී. ආරියරත්න මහතා සිරුරේ කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණය සඳහා රසායනාගාර පරීක්‍ෂණය සඳහා යවන ලෙස දන්වා ඇති අතර ඉඳුරුව හදිසි මරණ පරීක්‍ෂක පරාක්‍රම අකුරටියගම මහතා ඒ අනුව විවෘත තීන්දුව දී ඇත. කොස්‌ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Divaina 2012.04.30

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනවලට මඑපෙ විරෝධය

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික ආයතනවලට භාරදීම ප්‍රතිපත්තියක්‌ වශයෙන් මහජන එක්‌සත් පෙරමුණ පිළි නොගන්නා බව එම පක්‍ෂය ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම පක්‌ෂයේ ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලික ආයතනවලට භාරදීම ප්‍රතිපත්තියක්‌ වශයෙන් මහජන එක්‌සත් පෙරමුණ අනුමත නොකරන බව මධ්‍යම කාරක සභාව යළිත් ප්‍රකාශ කරයි. තාක්‌ෂණ හා කළමනාකරණ උපාධි පිරිනැමීමට අවසර ගෙන ඇරඹි පෞද්ගලික ආයතනය (SAITM) මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කොට ලබාදෙන උපදෙස්‌වලට පටහැනිව දිගින් දිගටම කටයුතු කිරීමෙන් ඇති වී තිබෙන ගැටලුව වෛද්‍ය අධ්‍යාපනයටත්, වෛද්‍ය සේවයටත් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් සොයා බලා සැලකිල්ලට ගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමැතිතුමා පත් කළ පරීක්‌ෂණ කොමිටි වාර්තාව ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව මගින් මෙතෙක්‌ නොමග යවන ලද කරුණු වල සත්‍යතාව පැහැදිලි කිරීම සිදු වී ඇත. එනම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) ඇති කිරීමට හා එහි අධ්‍යයන කටයුතු කර ඇත්තේ අනිවාර්යයෙන් අවශ්‍ය අදාළ ආයතනික අනුමැතිය හා අනුගමනය කළ යුතු පිළිවෙත්වලට පටහැනිව බවය.

සෞඛ්‍ය අමාත්‍යංශය ද ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ද මෙහිදී කේන්ද්‍ර වන බවත් එම ආයතනයන්ගේ උපදෙස්‌ හෝ අනුමැතිය නොමැතිව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) කටයුතු කරගෙන ගොස්‌ ඇති බැවින් එම භයානක හා හානිකර ක්‍රියාවලිය නවතා දැමීමට රජය මැදිහත් විය යුතු බව මහජන එක්‌සත් පෙරමුණ මධ්‍යම කාරක සභාව ප්‍රකාශ කරයි. වෛද්‍ය උපාධිය පිරිනැමීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLIMC) හා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය අවශ්‍ය නොවන බවත් ව්‍යාපාරික ප්‍රජාවගේ අරමුණු සඳහා ආයතන ඇති කරමින් කරන ප්‍රකාශයන් නිදහස්‌ සෞඛ්‍ය සේවයටත් වෛද්‍ය අධ්‍යාපනයටත් කරන්නේ හානිකර හා භයානක තත්ත්වයක්‌ බව අප පක්‌ෂය අවධාරණය කරන අතර කල් නොයවා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) කරගෙන යන ක්‍රියාකාරි කටයුතු නවතා දැමීමට කටයුතු කරන ලෙසත් අප තවදුරටත් ප්‍රකාශ කර සිටිමු.

Divaina 2012.04.30

දේශපාලකයින්ගේ පුද්ගලික වැඩට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 100 ක්‌!

අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන සියයකට අධික සංඛ්‍යාවක්‌ ප්‍රාදේශීය දේශපාලකයින් සහ අමාත්‍යාංශයේ නිලධාරින් තම පුද්ගලික කටයුතු සඳහා යොදාගෙන ඇතැයි අනාවරණය වේ. එහෙත් මෙම වාහන සියල්ලේම නඩත්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකරන බවද මේ නිසා සෞඛ්‍ය සේවාවේ රාජකාරි කටයුතු සඳහා බරපතළ වාහන හිඟයක්‌ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පවසති.

වාහන නොමැති නිසා අමාත්‍යාංශයේ සහ වෛද්‍ය සේවාවේ පරිපාලන අධ්‍යක්‍ෂවරුන්ට රාජකාරි සඳහා පොදු වාහන යොදා ගැනීමට සිදුව ඇතැයිද ඉහත නිලධාරීහු චෝදනා කරති.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරිනියක්‌ අලුත් වාහන හතරක්‌ පරිහරණය කරන අතර ඉන් සුඛෝපභෝගි එක්‌ මෝටර් රථයක්‌ ඇයගේ පෙම්වතා විසින් පරිහරණය කරන බවටද චෝදනා කරති. ආසන විසි හතරක වෑන් රියක්‌ද ඇය පාවිච්චි කරන අතර මවට සහ පියාටද වාහන දෙකක්‌ ලබා දී ඇතැයි මෙම නිලධාරීහු පෙන්වා දෙති.

මේ ආකාරයට අමාත්‍යාංශයේ විවිධ නිලධාරින්ද වාහන හතර පහ පාවිච්චි කරන අතර නියෝජ්‍ය ඇමැතිවරයාද වාහන විශාල සංඛ්‍යාවක්‌ පරිහරණය කරන බව ඔවුහු පවසති.

සාමාන්‍යයෙන් රජයේ වාහනයක්‌ පාවිච්චි කරද්දී අමාත්‍යාංශයේ රියෑදුරෙක්‌ යොදා ගැනීම අනිවාර්යය. මෙහිදී එවැන්නක්‌ සිදුකර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය වාහනවල අමාත්‍යාංශයේ නම යෙදිය යුතු බවට ඇමැතිවරයා නියෝග කර ඇති නමුත් මෙම වාහනවල එසේ නම යොදා නැතැයිද පැවසේ.

මේ පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සත්‍යයක්‌ බවය. මේ පිළිබඳ අමාත්‍යාංශ අධ්‍යක්‍ෂවරු එක්‌ව ජනාධිපති විමර්ශන අංශයට පැමිණිලි කිරීමට සූදානම්ව සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව අපි විමසීමක්‌ කළෙමු. මේ අවස්‌ථාවේ දී මේ පිළිබඳව කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව ඔහු පැවැසුවේය.

Divaina 2012.04.29

අක්‍ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සති 2 ක්‌ ඇනහිටී

ඒමන්ති මාරඹේ

කොළඹ නයනාරෝග්‍යශාලාවේ ශල්‍යාගාර සංකීර්ණයේ වහලය කැඩී යැම හේතුවෙන් සති දෙකක පමණ කාලයක සිට රෝහලේ සිදු කෙරෙන සියලු සාමාන්‍ය අක්‍ෂි ශල්‍යකර්ම නතර කර ඇතැයි නයනාරෝග්‍යශාලා ආරංචිමාර්ග පැවසීය.

නයනාරෝග්‍යශාලාවේ පවතින ශල්‍යාගාර හතරෙන් තුනකම ශල්‍යකර්ම කටයුතු වහලය කැඩීයැම මත නතර කර ඇති අතර ඉතිරි ශාල්‍යාගාරය තුළ හදිසි අක්‍ෂි ශල්‍යකර්ම පමණක්‌ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග කීවේය. මෙම තත්ත්වය මත ඇසෙහි සුද (කැටරැක්‌ට්‌) ඇතුළු සාමාන්‍ය අක්‍ෂි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන්ගේ එම ශල්‍යකර්ම තවත් කල් ගොස්‌ ඇති අතර පසුගිය සති දෙක තුළදී එම ශල්‍යකර්ම ලේඛන ද අවලංගු කිරීමට සිදුව තිබේ.

මේ පිළිබඳව විමසූ විටදී කොළඹ නයනා රෝග්‍යශාලාවේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ මේ වන විට කැඩී ගොස්‌ තිබූ රෝහලේ ශල්‍යාගාර වහලය සවිකර අවසන්ව ඇති බවයි. වහලය කැඩී ගොස්‌ තිබීම නිසා ශල්‍යකර්ම සිදු කළ නොහැකි වූ ශල්‍යාගාරවල විෂබීජ නැසීමේ ජීවානුහරණ ක්‍රියාවලිය මෙම දිනවල සිදු කරගෙන යන බවත් ලබන සතියේදී එම ශල්‍යාගාර නැවත ශල්‍යකර්ම සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

Divaina 2012.04.27

මැලේරියා රෝගීන් ප්‍රමාණය පසුගිය වසරවල සීමා කිරීමට හැකිවුණා - මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ සරත් දෙනියගේ

ඒමන්ති මාරඹේ - ප්‍රදීප් සමරකෝන්

2000 වසරේදී වසරකට ලක්‍ෂ දෙක ඉක්‌මවූ මෙරට මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට වසරකට දහසකට අඩු සංඛ්‍යාවකට සීමා කිරීමට හැකිවී ඇතැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් දෙනියගේ මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ මැලේරියාව පිටුදැකීම නිමිත්තෙන් ඊයේ (25 වැනිදා) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මැලේරියා රෝගීන්ගේ සංඛ්‍යාව 175 දෙනකු තරම් අඩු මට්‌ටමක පවතින අතර මෙම වසරේදී මෙතෙක්‌ වාර්තා වී ඇත්තේ රෝගීන් 15 දෙනකු පමණක්‌ බව වෛද්‍යවරයා සඳහන් කළේය.

ගත වූ වසර දෙක තුළදී මෙරටින් වැඩි මැලේරියා රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තා වී ඇත්තේ මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, මොණරාගල හා හම්බන්තොට යන දිස්‌ත්‍රික්‌කවලින් වන අතර 2014 වසර අග වන විට මෙරටින් මැලේරියා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමට මැලේරියා මර්දන ව්‍යාපාරය ඉලක්‌ක කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

පොළව මතුපිට හිරු එළිය වැටෙන පිරිසිදු, නොගැඹුරු හෝ සෙමින් ගලා යන කුඩා ජල කඩිති, කෘෂි ළිං, අතහැර දැමූ ළිං, අතහැර දැමූ ගල් වළවල්, මැණික්‌ පතල්, ගඩොල් වළවල් ආදී ස්‌ථානවල මැලේරියා මදුරුවා වන ඇනෝµSලිස්‌ මදුරුවන් බෝවන අතර ආසාධිත මදුරුවකු දෂ්ට කිරීම මගින් කෙනෙකුට මැලේරියාව බෝවීම සිදුවේ.

උණ, හිසරදය, වමනය, ඇඟපත රුදාව, ඇඟ සුදුමැලි වීම මැලේරියා රෝගයේ රෝග ලක්‍ෂණයන්ය. මෙම රෝග ලක්‍ෂණයක්‌ හෝ කිහිපයක්‌ දක්‌නට ලැබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අතර දිවයිනේ ඕනෑම ප්‍රධාන රජයේ රෝහලකින් හෝ ළඟම පිහිටි මැලේරියා මර්දන කාර්යාලයේ පිහිටි රසායනාගාරයකින් රුධිර පටල පරික්‍ෂාවක්‌ සිදු කර ගැනීමෙන් මැලේරියාව වැළඳී ඇත්දැයි තහවුරු කර ගත හැකිය.

මැලේරියාව බහුලව පවතින අප්‍රිකාව / ඉන්දියාව වැනි රටවල රැකියා සඳහා යන්නන්, අවදානම් වැඩි ප්‍රදේශවල ආරක්‍ෂක සේවයෙහි යෙදෙන්නන් හා මැණික්‌ පතල් ආශ්‍රිතව රැකියාවල යෙදෙන්නන් මැලේරියා රෝගයෙන් ආරක්‍ෂා වීම සඳහා රුධිර පරීක්‍ෂණවලට යොමු වීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ වන විට ලොව පුරා රටවල් 110 ක මැලේරියාව පැතිර ගොස්‌ ඇති අතර 2008 වසරේදී පමණක්‌ ලොව පුරා 863,000 ක්‌ මෙම රෝගයට ගොදුරුවී මිය ගොස්‌ ඇති බව වාර්තා වී තිබේ.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත මහීපාල, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ගෞරි ගලප්පත්ති, කිලිනොච්චි හා මුලතිව් ප්‍රාදේශීය මැලේරියා නිලධාරී වෛද්‍ය තිලීපන්, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ආර්. ඩී. එµa. සී. කාන්ති යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.

Divaina 2012.04.26

ගල්ගමුව මූලික රෝහල අංගසම්පූර්ණ කිරීමට ජයිකා ආධාර

2012 අප්‍රේල් 25 වෙනි බදාදා, 00:41
ආනන්ද කරුණාතිලක
රුපියල් මිලියන 500ක් යොදවයි
2014 වර්ෂය අවසන් වනවිට ගල්ගමුව මූලික රෝහල අංග සම්පූර්ණ මූලික රෝහලක් බවට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ‍ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය පී. ජී. මහීපාල මහතා කීය. රෝහල් සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 500ක් වැයකරනවා. ඒ සඳහා ජයිකා ආයතනය මූල්‍යාධාර සපයනවා. ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයක්, කායික රෝග විශේෂඥ ඒකකයක්, ළමාරෝග ඒකකයක්, දැඩි සත්කාර ඒකකයක්, ‍ලේ බැංකුවක්, ශල්‍යාගාරයක් ආරම්භ කරන බව පැවසේ. ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් විතරක් ‍නෙවෙයි උපකරණත් ලබාදෙනවා. මානව සම්පත් සියල්ල ලබාදෙනවා. ලංකාවේ රෝහල් හතරක් සංවර්ධනය කිරීමට රුපියල් බිලියන දෙකක් ලබාදෙනවා. ඒ මුදල්වලින් මුලින්ම සංවර්ධනය කරන්නෙ ගල්ගමුව රෝහල.

ගල්ගමුව රෝහ‍ලේ පිහිටීම හා පළාත් සෞඛ්‍යය අමාත්‍යතුමා, සෞඛ්‍යය අධ්‍යක්ෂතුමා ඒවගේම මේ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ කැපවීම, රෝහල් සංවර්ධන කමිටුව ඇතුළු බොහෝ දෙනෙකුගේ කැපවීම මේ සඳහා බලපෑවා.

වෛද්‍ය පී. ජි. මහීපාල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ගල්ගමුව මූලික රෝහ‍ලේ ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමකදීය. මෙම අවස්ථාවට වයඹ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය අසෝක වඩිගමංගාව, වයඹ පළාත් සභා මන්ත්‍රී කුමාර කීර්ති චන්ද්‍රසිරි, හිටපු ක්‍රීඩා අමාත්‍ය බන්දුල බස්නායක, පළාත් සෞඛ්‍යය අමාත්‍යංශයේ ‍ලේකම් පී. බි. එම්. සිරිසේන, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.එම්.එන්.කේ. රත්නායක, ගල්ගමුව මූලික රෝහ‍ලේ අධ්‍යක්ෂ ඩී. පී. වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සහභාගිවූහ.

Lakbima

මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරු අද සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක

ඒමන්ති මාරඹේ

නොවිසඳී පවතින සේවා ඉල්ලීම් තුනක්‌ මුල් කරගෙන දිවයින පුරා සේවය කරන සියලු මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන් අද (25 දා) සිට දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ සංගමය පවසයි.

අද සිට ක්‍රියාත්මක වන මෙම අඛණ්‌ඩ වැඩ වර්ජනය හේතුවෙන් සියලු මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන් ඩෙංගු මර්දන කටයුතු හා හෝටල් ආපන ශාලා වැටලීමේ කටයුතුවලින් ඉවත් වන බව එම සංගමය කියයි.

මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන් සඳහා නිල ඇඳුම් දීමනාව වශයෙන් රුපියල් 15.000 ක දීමනාවක්‌ ලබාදීම, රුපියල් 7,500 ක ඉන්ධන දීමනාවක්‌ ලබාදීම හා නාගරිකව රුපියල් 2,500 ක්‌ හා ග්‍රාමීයව රුපියල් 2,000 ක්‌ බැගින් වූ කාර්යාල දීමනාවක්‌ ලබාදීම යන ඉල්ලීම් මුල් කර ගෙන මෙම අඛණ්‌ඩ වැඩ වර්ජනය දියත් කිරීමට තීරණය වී තිබේ.

ඉකුත් 19 වැනිදා වන විට මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමඟ සාකච්ඡා කර අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොරොන්දු වුවද එය මෙතෙක්‌ ඉටු නොවීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ සංගමය පවසයි.

Divaina 2012.04.25

ජනාකීර්ණ නගරවල රුධිර පීඩනමාන යන්ත්‍ර සවි කරයි

අජිත් අලහකෝන්

ඕනෑම කෙනෙකුට තම රුධිර පීඩනය මැන බැලීම සඳහා රට පුරා ජනාකීර්ණ නගරවල රුධිර පීඩනමාන යන්ත්‍ර සවි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ අනුග්‍රහයෙන් පළමුව මෙම රුධිර පීඩනමාන යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය ඇතුළු කොළඹ ස්‌ථාන පහක පිහිටුවීම මෙම 30 දා සිදුකෙරේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු තිස්‌පහක්‌ ඉක්‌මගිය පසු ඕනැම පුද්ගලයකු තම රුධිර පීඩනය පරීක්‍ෂා කරගත යුතු නමුත් බොහෝ දෙනකු එසේ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට කීය.

එම නිසා ඕනෑම කෙනෙකුට තම රුධිර පීඩනය නොමිලේ මැන බැලීම සඳහා මෙම යන්ත්‍ර රට පුරා සවි කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා බෝ නොවන රෝග අංශයට උපදෙස්‌ දුන් බව ද ඉහත ප්‍රකාශකයා කීය.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩන මට්‌ටම 80-120 අතර තිබිය යුතු අතර මෙම යන්ත්‍ර මගින් යමෙක්‌ තම රුධිර පීඩන මට්‌ටම මැන බලද්දී ඉහත අගයට වඩා වැඩි අගයක්‌ පෙන්නුම් කරන්නේ නම් වහා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතු බව ද ඉහත ප්‍රකාශකයා කීය.

Divaina 2012.04.25

වකුගඩු රෝගීන්ට අත්‍යවශ්‍ය එන්නතක්‌ රෝහල්වල හිඟයි

ඒමන්ති මාරඹේ

වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක නොවන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය හෝමෝන් එන්නතක්‌ වන "එරිත්‍රොප්‍රොaටීන්" එන්නත මෙම දිනවල රජයේ රෝහල්වල හා වෛද්‍ය සැපයුම් අංශයේ හිඟව පවතී.

නිසි පරිදි වකුගඩු ක්‍රියාත්මක නොවන රෝගීන්ගේ එම වකුගඩු ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරලීම සඳහා ලබා දෙන මෙම අත්‍යවශ්‍ය එන්නත මාස එකහමාරක පමණ කාලයක සිට රෝහල්වල හිඟව පවතින අතර මේ හේතුවෙන් වකුගඩු රෝගීහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

"එරිත්‍රොප්‍රොaටීන්" එන්නත් පෞද්ගලික ඔසුසල්වලින් මිල දී ගන්නේ නම් එක්‌ එන්නතක්‌ වෙනුවෙන් රුපියල් 3,500 ක්‌ හෝ එයට අධික මුදලක්‌ වැය කිරීමට සිදු වීම නිසා බොහෝ රෝගීන්ට එය පිටතින් මිලදී ගැනීමද අසීරු වී තිබේ.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් හා ඖෂධවේදීන් මෙම එන්නත් ඇණවුම් කර කලක්‌ ගතවී ඇතත් මේ වන විටද ඒවා වෛද්‍ය සැපයුම් අංශය වෙත ලැබී නැතැයි එම අංශ ආරංචිමාර්ග හෙළිදරව් කරයි.

Divaina 2012.04.24

Wednesday, April 25, 2012

මාලබේ පෞද්ගලික රෝහලට අමාත්‍යංශයේ අනුමැතිය නෑ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු

චමින්ද සිල්වා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරෙන රෝහල සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු අනුමැතියක්‌ ලබාදී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා පැවසීය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරෙන රෝහල සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇතැයි එම වෛද්‍ය විද්‍යාලයේ නිලධාරියකු මාධ්‍ය වෙත පසුගියදා ප්‍රකාශ කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පෙරේදා (21 වැනිදා) තමා කළ සොයා බැලීමේදී රෝහල ඉදිකිරීමට අනුමැතිය ඉල්ලා අයදුම්පතක්‌ හෝ අමාත්‍යංශයට ලැබී නොමැති බව තහවුරු වූ බවත් ලේකම්වරයා කීය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව සායන පැවැත්වීම සඳහා මීට වසරකට පමණ පෙර අනුමැතිය ඉල්ලා අයදුම්පතක්‌ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබුණත් එම ඉල්ලීමට අනුමැතිය ලබාදීමට අවශ්‍ය කරන නිර්ණායක සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් එයටද මෙතෙක්‌ අමාත්‍යංශය අනුමැතිය ලබාදී නැතැයි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Divaina 2012.04 23

රොසින් එපා මේ දේවල් කරන්නට මැසින් මොටද දොස්‌තරලා හදන්නට!





සිදුවීම් පෙළ ගැසී ඇත්තේ ඉතාමත් ලැඡ්ජා සහගත අයුරිනි. ඒ සිද්ධිදාමය දෙස බලා දෑස්‌ විශාල කොට විමතිය පළ කිරීමක්‌ හෝ නොමැති වටපිටාවක්‌ නිර්මාණය වී තිබේ. රුපියල් ලක්‍ෂ ගණනක්‌ ලන්සුවට තබා කරන සෙල්ලමක්‌ හමුවේ දෑස්‌ පනා පිට දිග හැරෙමින් පවතින්නේ කෙතරම් ඛේදනීය තත්ත්වයක්‌ දැයි අවබෝධ කර ගන්නා ලෙස ඇරයුම් කරමින් මේ සටහන තබමු.

රුපියල් දශ ලක්‍ෂ 29.6 ක්‌ එනම් රුපියල් ලක්‍ෂ 296 ක්‌ දඩ වශයෙන් ගෙවීමට යම් ආයතනයකට සිදු වුවහොත් උද්ගත විය හැකි තත්ත්වය කුමක්‌ද? සාමාන්‍ය ආයතනයක්‌ එවන් දඩයකට ලක්‌ වූයේ නම් නියත වශයෙන්ම ආයතන හිමිකරු තම ආයතනයේ දොරට පමණක්‌ නොව ගේට්‌ටුවට ද ඉබි යතුරු දමා ඉවත්ව යනු ඇත.

එහෙත් දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයට (SAITM) නම් රුපියල් මිලියන ගණනක දඩයක්‌ යනු අතිශය සාමාන්‍ය කාරණාවකි. SAITM ආයතනය හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රුපියල් මිලියන ගණන් දඩ කමින් මේ දත කන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වෛද්‍යවරුන් නිෂ්පාදනය කිරීමටය. ඒ නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳ ආයතනයට කිසිදු ගැටලුවක්‌ නැත. ආයතනයට අවශ්‍ය වන්නේ භාණ්‌ඩ නිෂ්පාදනය කර කඩිමුඩියේ වෙළෙඳපොළට දැමීමටය. කෙතරම් තදියම් වුවද කෙතරම් ප්‍රමිතියෙන් තොර වුවද ආයතනය ආරම්භ කර මේ දක්‌වා කිසිදු නිෂ්පාදනයක අවසානයක්‌ දකින්නට මෙතෙක්‌ හැකි වී නැත. වෛද්‍යවරුන් නිපදවීමේ කාර්යය ප්‍රමිතියෙන් තොර යෑයි අප කීවේ මීට බොහෝ කලකට පෙරය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා උසස්‌ පෙළ අවම සුදුසුකම් හෝ නොමැති සිසුන්ද SAITM හි වෛද්‍ය උපාධිය හදාරන බව රහසක්‌ නොවේ. මෙම වෛද්‍ය විද්‍යාලය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද අප පංච පුද්ගල කමිටුවද ඒ බව තහවුරු කළේය. වසර හතරක වෛද්‍ය උපාධියට රුපියල් ලක්‍ෂ හැටපහක හැත්තෑවක මිලක්‌ නියම කර අලෙවි කෙරෙන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රුපියල් දශ ලක්‍ෂ 29.6 ක පමණ දඩයකට යටත් වීමට සිදු වූයේ ඇයි? කලින් වාර කිහිපයකදීම අප සඳහන් කළ පරිදිම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයක්‌ සඳහා උත්සුක වීම හැර පවතින නීතියට හෝ ප්‍රමිතියකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවක්‌ ආයතනයට ඇතැයි අපි විශ්වාස නොකරමු. ඊට කදිම උදාහරණ කිහිපයක්‌ම SAITM ආයතනය රටට පෙන්වා දී තිබේ. ආයතනය සම්පූර්ණයෙන්ම විදේශීය ආයතනයක්‌ බව සිය වෙබ් අඩවියේ පළ කර පසුව ප්‍රසිද්ධියේ රට හමුවේ ප්‍රකාශ කළේ එය සම්පූර්ණයෙන්ම දේශීය ආයතනයක්‌ බවය. වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා අවසර නොදී ඇති තත්ත්වයක්‌ තුළ ඒ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී ඇතැයි SAITM ආයතනය ප්‍රකාශ කළේ කිසිදු චකිතයකින් තොරවය. ආයතනයට බඳවා ගෙන සිටින සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා රජයේ රෝහල් ලබා ගැනීමට ගත් සෑම උත්සාහයක්‌ම අසාර්ථක වූ කල පෞද්ගලික රෝහල්වල සායනික පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් සපයන බවට ආයතනය සිසුන්ට පොරොන්දු විය. එහෙත් එයද වාචික පොරොන්දුවකට පමණක්‌ සීමා වෙමින් සායනික පුහුණුවේ බලාපොරොත්තුව සිසුන්ගෙන් තව තවත් දුරස්‌ වූවා මිස පිළියමක්‌ නොලැබිණි. ඊට පිළියම් සොයන්නට ආයතනය තදියම් වූයේ ඉන් පසුවය. රුපියල් දශ ලක්‍ෂ ගණනක දඩයකට යටත් වන්නට SAITM ආයතනයට සිදු වූයේ ඒ තදියම හා නීතියට අනුගතව කටයුතු කිරීමට අවශ්‍යතාවක්‌ නොමැති නිසාය. සිසුන්ගේ සායනික පුහුණුව සඳහා අති නවීන අංගෝපාංගයන්ගෙන් යුත් ඇඳන් දහසක රෝහලක්‌ ඉදි කරන බව ආයතනය ප්‍රසිද්ධ කළේ ලංකාවේ සුපිරිම රෝහල එය වන බවට උදම් අනමිනි. එහෙත් රෝහල ඉදි කිරීම ආරම්භ කර තිබුණේ කිසිදු අවසරයකින් තොරවය. එතරම් සුවිශාල ව්‍යාපෘතියක්‌ ආරම්භයේදීම එතරම් සුවිශාල දඩයකට යටත් වීමට සිදු වූයේ පවතින නීතියට පටහැනිව ආයතනය කටයුතු කිරීම නිසාය. SAITM ආයතනයෙන් රුපියල් ලක්‍ෂ 296 ක දඩයක්‌ අය කර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගත්තේ ඒ අනුවය. ඒම දඩය අය කිරීමෙන් පසුව රෝහලේ ඉදිකිරීම් සඳහා මූලික අනුමැතියක්‌ නාගරික සංවර්ධන අධිකාරිය එම ආයතනයට ලබා දී තිබේ. එම අනුමැතිය ලබා දී තිබෙන්නේද සපුරාගත යුතු කොන්දේසි දහනවයකට යටත්වය. මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය, විදුලිබල මණ්‌ඩලය මෙන්ම කඩුවෙල නගර සභාව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල අනුමැතිය ලබා ගැනීම එම කොන්දේසි අතර වෙයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම රෝහල ඉදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා නොගැනීමය.

පෞද්ගලික රෝහලක්‌ ඉදි කිරීම සඳහා පවතින නීතිමය තත්ත්වයන්ට අනුව අවසර ලබා ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගෙනි. එහෙත් මේ සටහන තබන මොහොත වන විටත් විශාල රෝහලක්‌ ඉදි කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අවසරයක්‌ ලබා ගැනීමට SAITM ආයතනය කටයුතු කර නැත. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සාක්‍ෂි දරයි. රෝහලක්‌ ඉදිකිරීමේදී අන් සියලු ආයතනයන්හි අවසරය ලබා ගැනීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට අදාළ ව්‍යාපෘතිය ඉදිරිපත් කර අනුමත කර ගැනීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු. මූලික අනුමැතියක්‌ ලබා දුන්නද අවසාන අනුමැතිය ලබා දීමට නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ඒ සඳහා ලැබිය යුතු බව නාගරික සංවර්ධන අධිකාරියද පවසයි. එසේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය නොලැබී ඇති තත්ත්වයක්‌ තුළ නාගරික සංවර්ධන අධිකාරියේ අවසාන අනුමැතියද රෝහල ඉදි කිරීම සඳහා නොලැබෙන බව පැහැදිලිය. ව්‍යාපෘතියට අදාළ යෝජනාවක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර හෝ රෝහලක්‌ ඉදි කිරීමට අදාළ ඉල්ලීමක්‌ හෝ අමාත්‍යාංශයට ලැබී නැතැයි පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරිය පවසන්නේ ඉතාමත් වගකීමෙනි.

ඇඳන් දහසක රෝහලක්‌ ඉදිකිරීම කෙසේ වෙතත් දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියා පදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයදුම්පතක්‌ ඉදිරිපත් කර තිබේ. ආයතනයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එම අයදුම්පතට අනුව මාලබේ, මිලේනියම් ඩ්‍රයිව්, සුහද මාවතේ අංක 60 දරන ස්‌ථානයේ ලියාපදිංචිය සඳහා ඉල්ලා ඇත්තේ වෛද්‍ය මධ්‍යස්‌ථානයකටය. ඊට අයත් වන්නේ වෛද්‍යවරුන් හමු විය හැකි කාමර පමණි. විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ නම් ද එම අයදුම්පතට ඇතුළත් කර ඇති අතර විශේෂම කරුණ නම් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අයදුම්පත ඉදිරිපත් කර ඇතත් පෞද්ගලික තොරතුරු ලෙස අයදුම්පතට ඇතුළත් කර ඇත්තේ වෛද්‍ය මොහාන් කුමාර් ජයතිලක නමැත්තෙකුගේ විස්‌තරය. එසේ විය හැක්‌කේ කෙසේද යන්න ගැටලුවකි.

SAITM ආයතනය හා බැඳුණු තවත් සුවිශේෂී කරුණක්‌ සඳහන් කළ යුතුය. එනම් ඉහතින් සඳහන් කළ ලිපිනයේ වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියා පදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයදුම්පතක්‌ ඉදිරිපත් කරන සභාපතිවරයා එම ලිපිනයම සඳහන් කරමින් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඉල්ලා ඇත්තේ ශික්‍ෂණ රෝහලක්‌ ඉදිකිරීම සඳහාය. වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ශීක්‍ෂණ රෝහලක්‌ බවට පරිවර්තනය වන්නේද නැතහොත් ශීක්‍ෂණ රෝහල වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ බවට පරිවර්තනය වන්නේ ද යන්න ගැන සත්‍ය තත්ත්වය ජනතාවට ඉදිරිපත් කිරීම බලධාරීන්ට පවරමු.

අවසන් අනුමැතිය නොලැබී ඇති කල්හි නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ලැබී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකගේ අනුමැතිය නොලැබී ඇති කල්හි සෞඛ්‍ය ඇමැතිතුමන්ගේ අවසරය ලැබී ඇතැයි ද පවසන්නේ එකම ලිපිනයක වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලියාපදිංචි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා එම ලිපිනයේම රෝහලක්‌ ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය පතන SAITM ආයතනයමය. වෛද්‍ය උපාධිය සඳහා ශිෂ්‍ය කණ්‌ඩායම් බඳවා ගැනීමේ සිට මේ දක්‌වා මෙවැනි "කොළේ වසා ගැසීම්" අප්‍රමාණයකි. මාලබේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳ එදා සිටම හඬනගන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කියා සිටියේ SAITM ආයතනය වසා දැමිය යුතු බවය. රටට ජීවකයන් තනන ආයතනයක්‌ ප්‍රමිතියකින් තොරව මුදල් පසුපස හඹා යැමේ ආදීනව අවසානයේ විඳීමට සිදුවන්නේ ජනතාවට බව අමතක නොකළ යුතුය. වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරෙන රෝහලට විරුද්ධවද මේ වන විට රජයේ වෛද්‍යවරුන් පනස්‌දෙනකුට අධික පිරිසක්‌ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පැමිණිලි කර ඇත. රජයේ වෛද්‍යවරුන් විසින් කරනු ලබන පැමිණිල්ලක්‌ සුළුකොට තැකිය නොහේ. ඔවුන් එම පැමිණිලි කර ඇත්තේද කරුණු කාරණා ඇතිව විය යුතුය.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් කවදත් පෙනී සිටියේය. එහි ප්‍රමිතිය නීතියට අනුගතද, නැද්ද යන කරුණු ඇමැතිවරයාගේ විෂයපථයට අයත් නැත. අවම සුදුසුකම් පවා නොමැති සිසුන් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට ගැටලුවක්‌ නොවේ. දිසානායක මහතා විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයක්‌ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට යළිත් මාලබේ ගැන සිය මතය ප්‍රකාශ කරන්නට සිදුවිය. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ SAITM ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක්‌ ලෙස පිළිගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ද අනුදැනුම මත බවය. එම ප්‍රකාශයට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්‌වූ වෛද්‍ය සභාව සියලුම අවශ්‍යතා සපුරන තෙක්‌ උපාධි ප්‍රදානය කිරීමේ බලතල SAITM ආයතනයට නොදිය යුතු යෑයි කලින් ප්‍රකාශ කළ බව සඳහන් කර සිටියේය. නියමිත නිසි අනුමැතියවත් ලබාගැනීමට නොහැකිව ඇති රෝහල ද වෛද්‍ය සභාවේ සියලු අවශ්‍යතා අතර මූලික වෙයි. එම රෝහල ඉදිකර ක්‍රියාත්මක වන තෙක්‌ වෛද්‍ය පාඨමාලාවට සිසුන් ඇතුළත් කිරීම නතර කළ යුතු බවට කලින් කළ නිර්දේශය ද වෛද්‍ය සභාව උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට සිහිපත් කර දී තිබේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයත් ඒ වෙනුවෙන් ඉදිකෙරෙන ශික්‍ෂණ රෝහලත් ආශ්‍රිතව මේ සා ගැටලු ප්‍රමාණයක්‌ භ්‍රමණය වෙමින් තිබේ. ආයතනය ආරම්භ කර සිව් වසරකින් පසුවද ගම්‍ය වන්නේ අවිනිශ්චිත වාතාවරණයකි. මේ දක්‌වා වූ බොහෝ සිදුවීම්ද නීතියට අනුගත නොවන්නා සේම ප්‍රමිතියෙන් ද බොහෝ දුරස්‌ය. ලැඡ්ජාසහගත සිද්ධිදාමයක්‌ යෑයි ඉහතින් සඳහන් කළේ එහෙයිනි. විදේශ වෛද්‍ය විද්‍යාල සඳහා දරුවන් යොමුවීම වළක්‌වා රටට මෙම මුදල් ඉතිරි කරදීම මාලබේ ව්‍යාපෘතියේ අරමුණ බව ඇතැම්හු පවසති. එහෙත් වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ සඳහා ලියාපදිංචිය ඉල්ලා ශික්‍ෂණ රෝහලක්‌ ඉදිකිරීමේ අරමුණ කුමක්‌දැයි අපට නම් අපැහැදිලිය.

නිලන්ත මදුරාවල

Divaina 2012.04.22

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කාගේ උවමනාවටද?

1981 සිට මේ දක්‌වා විවිධ රජයන් විසින් ලංකාව තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට උත්සාහ ගන්නා ලදී. මෙයින් 1981 දී ආරම්භ කළ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හා දැනට මාලඹේ ප්‍රදේශයේ ආරම්භ කර ඇති ආයතනයත් හැරුණු විට අනෙක්‌ ඒවා මූලික අවස්‌ථාවේදීම පරාජය කිරීමට අපේ රටේ ජනතාවට හැකියාව ලැබුණි.

1981 දී ආරම්භ කළ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත්, දැනට ආරම්භ කර ඇති මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත් (SIATM)අතර ඇති ප්‍රධාන සමානකමක්‌ වන්නේ මේ දෙකටම අනුග්‍රහය ලබාදුන් හා ලබාදෙන ආණ්‌ඩු පාර්ලිමේන්තුව තුළ ඕනෑම පනතක්‌ සම්මත කළ හැකි ආණ්‌ඩු වීමයි. එවකට එය 3/5 ක බලයක්‌ තිබූ එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව වූ අතර දැන් එය 2/3 ක බලයක්‌ ඇති මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුවයි. නමුත් මෙහි ඇති භයානක වෙනස වන්නේ එවකට පැවැති ආණ්‌ඩුව අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට අධ්‍යාපනය විකුණන ආණ්‌ඩුවක්‌ බව ජනතාව හොඳින් තේරුම් ගෙන සිටීමත්, දැන් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුග්‍රහය දක්‌වන ආණ්‌ඩුව යනු ජනතාව ඉදිරියේ අධිරාජ්‍ය විරෝධී, නිදහස්‌ අධ්‍යාපනය සුරක්‌ෂිත කරන බවට නැවත නැවත සපථ කරමින්, ආධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන්ට ඉඩදෙමින් උසස්‌ අධ්‍යාපනය මුදලාලිලා අතට පත්කරන ආණ්‌ඩුවක්‌ වීමයි.

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමාන රජයේ අනුග්‍රහය ආකාර කීපයකින් ලබාදෙන ලදී.

ෆ මුලින්ම රජය විසින් සිදුකරන ලද්දේ පෞද්ගලික වෛද්‍ය විද්‍යල සම්බන්ධයෙන් රටේ බහුතරයක්‌ ජනතාව තුළ තිබූ විරෝධය සමනය කිරීම සඳහා මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර ගෙන යැමයි.

උදා 01 (- මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් උසස්‌ පෙළ විභාගයෙන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළුවීමට ලකුණු දෙක තුනක්‌ අඩුවන අයට වෛද්‍යවරු බවට පත්වීමට අවස්‌ථාව ලැබෙන බව, මේවාට ඇතුල් වන සිසුන්ගෙන් 20% කට නොමිලේ අධ්‍යාපනය ලැබීමට අවස්‌ථාව ලබාදෙන බව ප්‍රකාශ කිරීම.

නමුත් මේ දක්‌වා කිසිම ශිෂ්‍යයෙකු නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා මෙම ආයතනයට බඳවා ගෙන නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවට අනුව මෙහි උසස්‌ පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම්වත් නොලැබූ සිසුන් සිටින බව තහවුරු වී ඇත.

ෆ එමෙන්ම රජය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ප්‍රබල හඬක්‌ නගන බලවේගයක්‌ වන විශ්වවිද්‍යාල සිසුන් දැඩිව මර්දනය කර, සිරගත කර, ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර, ඔවුන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයෙන් ඈත් කර වෙනත් අරගලයන් තුළ හුදෙකලා කරන ලදී.

රාජ්‍ය ආදායමෙන් අධ්‍යාපනය සඳහා අවම වශයෙන් 6% ක්‌ වෙන් කළ යුතු වුවත් එය 2% ටත් වඩා අඩුකර අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස්‌ වී එය මුදලාලිලාට බාරදීමට රජය සූදානම් වේ.

රටට පෙනෙන්නට අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජනතාව පාරට බස්‌සවන ආණ්‌ඩුව අධිරාජ්‍යවාදී මුල්‍ය උපදේශකයන් සතුටු කිරීම සඳහා කරගෙන යන මෙම උසස්‌ අධ්‍යාපනය මුදලාලිලා අතට පත්කරන දෙබිඩි වැඩපිළිවෙළ අපි තරයේ ප්‍රතික්‌ෂේප කරමු. එවකට පැවැති එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව මෙන්ම වර්තමාන ආණ්‌ඩුවද පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කොන්දේසි විරහිතව අනුග්‍රහය දක්‌වන බව ජනතාව තේරුම් ගත යුතුව ඇත. පසුගියදා නිකුත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාව මගින් මෙම උපාධි විකුණන මුදල් ගැරීමේ ජාවාරම රාජ්‍ය අනුග්‍රහය මත සිදුවන බව නැවත නැවතත් තහවුරු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හෙළිදරව් කර ඇති මෙම වාර්තාවෙන් පැහැදිලි වන සත්‍ය නම් වර්තමාන ආණ්‌ඩුවේ මෙම අධ්‍යාපනය ව්‍යාපාරිකයන්ට බාරදීමේ අවශ්‍යතාවයෙන් ජාවාරම්කරුවන්ට හොඳට මුදල් හම්බ කිරීමේ පොටක්‌ පෑදී ඇති බවයි. මන්ද පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ මුවාවෙන් කරන ඕනෑම මගඩියක්‌ සාධාරණීකරණය කිරීමට සහ ඔවුන් ආරක්‌ෂා කිරීමට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත්, වර්තමාන ආණ්‌ඩුවත් කැපවී සිටින බව මෙම ජාවාරම් කරුවන් අවබෝධ කරගෙන ඇත. එම නිසාම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිමිකරුවන්ට ඕනෑම රැවටීමක්‌ කර මුදල් ඉපයීමට අවස්‌ථාව ලැබී ඇත. තමන්ගේ දරුවන් ඔවුන්ගේ දක්‌ෂතා ඇති ක්‌ෂේත්‍රයට යොමු නොකොට කෙසේ හෝ වෛද්‍යවරයකු කිරීමේ සිහින දකින දෙමව්පියන් මෙම ජාවාරම්කාරයන්ට හසුවී දරුවන්ගේ ජීවිතත්, රටේ ජනතාවගේ සෞඛ්‍යත් අනතුරේ හෙළන තත්ත්වයකට පත්වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේම නිරීක්‌ෂණවලට අනුව,

* මෙම ආයතනයට ඊධෂ අනුමැතිය ගැනීමේදී මෙහි වෛද්‍ය විද්‍යා පාඨමාලාවක්‌ ආරම්භ කරන බව සඟවා ඇත.

* එමෙන්ම එවැනි පාඨමාලාවක්‌ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය වුවත්, එය ලබාගෙන නොමැත.

* මෙම මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රි ලංකා වෛද්‍ය සභාව පිළිනොගන්නා බව ප්‍රකාශ කර තිබියදීත් මෙයට දිගින් දිගටම සිසුන් බඳවාගෙන ඇත.

* මෙම වෛද්‍ය පීඨය රුසියාවේ නිෂ්නිනෝව්ග්‍රෝඩ් රාජ්‍ය ඇකඩමියට අනුබද්ධව උපාධි පිරිනමන බව පැවසුවද, එම විශ්වවිද්‍යාලයේ අදාළ අනුමැතිය ලැබීමට පෙර සිටම සිසුන් ඇතුළත් කරගෙන ඇති බව.

* මෙහි ඇතුළත් කරගෙන ඇති සිසුන් අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගැනීමේ අවම සුදුසුකම වන උසස්‌ පෙළ සමත්වීම පවා සපුරා නැති සිසුන් ඇති බව.

* රජයේ වෛද්‍ය පීඨවලට වසරකට එක්‌ සිසුන් කණ්‌ඩායමක්‌ බඳවා ගත්තත්, මෙම අයතනය වසරකට ශිෂ්‍ය කණ්‌ඩායම් දෙක බැගින් බඳවා ගෙන ඇති බව.

* වෛද්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක්‌ වන සායනික පුහුණුව ලබාදීමට මේ දක්‌වා වැඩපිළිවෙළක්‌ නොමැති බව සහ ඒ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් දෙමව්පියන් සහ සිසුන් මුළා කිරීම.

* ඉහත කමිටුව විසින් ඔවුන්ගේ වාර්තාව එළිදක්‌වන තෙක්‌ තවත් සිසුන් බඳවා නොගන්නා ලෙස සිදුකළ ඉල්ලීම පවා ඉවත දමමින් නැවත නැවත සිසුන් බඳවා ගැනීම.

නමුත් ඉහත කමිටුවේ යෝජනා විමර්ශනය කළ විට පෙනී යන්නේ ඒවා ඔවුන්ගේ නිරීක්‌ෂණයන්ට කොහෙත්ම නොගැලපෙන බවයි.

ඔවුන්ගේ නිරීක්‌ෂණවලට අනුව, අදාළ ආයතනය විසින් රාජ්‍ය ආයතනවලට වැරදි තොරතුරු ලබාදීම, දෙමව්පියන් හා සිසුන් රවටා මුදල් වංචා කිරීම සිදුකර ඇත. එමෙන්ම ජනතාවගේ සෞඛ්‍යට තර්ජනයක්‌ විය හැකි වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීමට මෙම ආයතනය සැරසෙයි. එසේ නම් ඔවුන් යෝජනා කළ යුතුව තිබුණේ අදාළ වගකිව යුත්තන්ට දඬුවම් කිරීම සහ මෙම ආයතනය රජයට පවරා ගන්නා ලෙසයි.

නමුත් ජනතාවගේ සෞඛ්‍යයට හෙන ගැහුවත්, අධ්‍යාපන අයිතියට කුමක්‌ වුවත් කමක්‌ නැත. අපට ඕන ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්නයි කියන ස්‌ථාවරයේ සිටින උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ සහ රජයේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් යෝජනා කර ඇත්තේ කෙසේ හෝ මෙම ආයතනය පවත්වාගෙන යැමට සහ තවත් මෙවැනි ආයතන ඇති කිරීමට පහසු කිරීමේ වැඩපිළිවෙළකි.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව තුළ උසස්‌ අධ්‍යාපනය ලැබීමේ අයිතිය මුදල් ලක්‌ෂ ගණන් වියදම් කළ හැකි අයට පමණක්‌ උරුම කිරීමේ උත්සාහයත්, ලක්‌ෂ 75 ට වෛද්‍ය උපාධියක්‌ මිලදී ගෙන සෞඛ්‍ය සේවයට ඇතුළු වන සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගෙන් තමන්ගේ ජීවිතවලට වන අවදානමත් පරාජය කළ යුතු යෑයි සිතන පිරිස්‌ අවදි විය යුතු කාලය එලැඹ ඇත.

ජනතාව විසින් ජනතාවගේ අධ්‍යාපන අයිතිය සහ සෞඛ්‍ය ආරක්‌ෂා කිරීමට පත්කළ රජයම ජාවාරම්කරුවන් සමග එක්‌වී එම අයිතිය විනාශ කිරීමට සූදානම් වන තත්ත්වයක්‌ තුළ ජනතාවට ඇති එකම විකල්පය ඔවුන් සංවිධානය වී මෙම තත්ත්වය පැරදවීමට කටයුතු කිරීමයි.

පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධානය ලෙස අප ඒ සඳහා නායකත්වය දීමට කටයුතු කරමු.

අප සංවිධානයක්‌ ලෙස මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා රජයට පවරා ගන්නා ලෙස බල කරමින් සිටින්නේ ප්‍රධාන කාරණා 03 ක්‌ මුල් කර ගෙනයි.

01. අධ්‍යාපනයේ සමාන අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීම.

වෛද්‍ය උපාධියක්‌ රුපියල් ලක්‌ෂ 75 ට මිල කිරීම නිසා සිසුන් අතර බරපතළ විෂමතාවක්‌ සහ අපේක්‌ෂා භංගත්වයක්‌ ඇතිවේ. වෛද්‍යවරයෙකු වීමට සාමාන්‍ය පංතියේ ශිෂ්‍යයෙකුගේ ඉලක්‌කය A 3 ක්‌ වෙද්දී එම විභාගයටම පෙනී සිටින තවත් කෙනෙකුගේ එය S 3 + ලක්‌ෂ 70 ක්‌ වීම මෙම අපේක්‌ෂා භංගත්වයට සහ අසහනයට හේතු වේ.

එමෙන්ම රජය උසස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන අඩුකරමින් රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ වලට අවශ්‍ය අවම පහසුකම් පවා ලබා නොදීම තුළ ක්‍රමක්‍රමයෙන් රජය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කිරීමේ උත්සාහයක නිරතව ඇත.

02. ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවන තර්ජනය

ලක්‌ෂ 80 ට වෛද්‍ය උපාධිය විකිණීම සහ එහි තත්ත්වය ආරක්‌ෂා කිරීම යන දෙකම එකට කළ නොහැකිය. රජයේ වෛද්‍ය පීඨවලට උසස්‌ පෙළින් ඉහළම ලකුණු ලබා පැමිණෙන සිසුන්ගෙන් පවා කීපදෙනකුට විභාගවල පරිසාධන මට්‌ටමට පැමිණීමට නොහැකිවීම නිසා වෛද්‍ය උපාධිය අතරමග අතහැර යැම සෑම වසරකම සිදුවේ. නමුත් ලක්‌ෂ 80 ක්‌ දී මෙවැනි ආයතනවලට ඇතුළු වන සිසුන්ට එවැනි තත්ත්වයක්‌ ඇති නොවේ. අනෙක්‌ අතට සෞඛ්‍ය අමාත්‍යංශයම පෙන්වා දෙන පරිදි වසරකට ශිෂ්‍ය කණ්‌ඩායම් කීපයක්‌ බඳවා ගනිමින් ඔවුන් වැඩිපුර මුදල් ඉපයීමට සැරසෙනවා මිස තත්ත්වය ආරක්‌ෂා කිරීමට උනන්දුවක්‌ නොදක්‌වයි.

පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල ඇති මෙම තත්ත්වය නිසාම එංගලන්තය වැනි රටවල් ඔවුන්ගේ රටවල ඇති පුද්ගලික වෛද්‍ය පීඨවලින් බිහිකරන වෛද්‍ය උපාධිධාරීන්ට එම රටවල වෛද්‍යවරු ලෙස සේවය කිරීමට අවස්‌ථාව ලබාදී නොමැත.

එම රටවලද එවැනි තත්ත්වයක්‌ පවතිද්දී අප රටේ පවතින්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය සම්බන්ධව ප්‍රශ්න කරන නිලධාරීන්ට පහර දෙන, ඔවුන් ඉවත් කර තමන්ගේ ඕනෑ එපාකම්වලට අනුව වැඩකරන නිලධාරීන් අදාළ ආයතනවලට පත්කරන තත්වයකි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ තත්ත්වය පිළිබඳ වගකීම ඇති ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ විට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේ තම රජයට 2/3 ක බලයක්‌ ඇති බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැර හෝ අදාළ පිළිගැනීම ලබාදෙන බවත්ය.

එම තත්වය තුළ ඕනෑම කඩයකින් උපාධි මිලදී ගන්නා අයෙක්‌ වෛද්‍යවරුන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළු වීමේ අනතුරක්‌ අප රට තුළ ඇත. මෙය අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත සම්බන්ධයෙන් බරපතළ අනතුරුදායක තත්ත්වයක්‌ ඇති කරයි.

03. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියට ලෝකයේ ඇති පිළිගැනීම අහිමි වීමේ අනතුර

රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවත්වාගෙන යන උසස්‌ තත්ත්වය නිසා මේ වනවිට ලෝකයේ ඕනෑම රටක අපගේ වෛද්‍ය උපාධියට ඉහළ පිළිගැනීමක්‌ ඇත. නමුත් මෙම මාලඹේ උපාධි කඩය ආරම්භ වීමත් සමග ලෝකයේ සමහර රටවල් ශ්‍රී ලංකාව තත්ත්වයෙන් බාල වෛද්‍ය උපාධි පිරිනමන රටක්‌ බවට සලකුණු කර ඇත. මෙය විදේශවල සේවය කිරීම හෝ වැඩිදුර පුහුණුව බලාපොරොත්තු වන වෛද්‍යවරුන් කෙරෙහිද අහිතකර ලෙස බලපෑම් ඇතිකර ඇත.

කළ යුත්තේ කුමක්‌ද ?

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් වලින් නිදහස්‌ වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළත්, එම වැඩපිළිවෙළින් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවනුත් යන දෙකම පරාජය කළ යුතුය. ඒ සඳහා වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ බුද්ධිමතුන්ගෙන් සමන්විත ව්‍යාපාරයක්‌ ගොඩනැංවිය යුතුය.

1981 දී ආරම්භ කළ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම මෙයද රජයට පවරාගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරු බිහිකරන රාජ්‍ය විශ්වවිද්‍යාලයක්‌ බවට පත්කිරීම සඳහා සැවොම පෙලගැසිය යුතුය.

ඒ සදහා වෘත්තීය සමිති, දේශපාලන පක්‌ෂ භේදයකින් තොරව අප සමග එක්‌වෙන ලෙස සියලු ජනතාවගෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධානය ලෙස අප ඉල්ලා සිටිමු.

වෛද්‍ය අසංග වික්‍රමසිංහ

Divaina 2012.04 22

මෙන්න විස්‌තරේ දැඩි සත්කාරේ




කාමරය සීතලය. එහෙත් අපගේ ගත නම් උණුසුම්ය. බැලු බැලු දෙසින් දිස්‌ වන්නේ යහන් මත වැතිරී සිටින සිහිසුන් රෝගීන්ය. කෘත්‍රිම ස්‌වසන යන්ත්‍ර, හෘද ස්‌පන්දන යන්ත්‍ර ආධාරයෙන් පණ රැකගෙන සිටින රෝගීන්ය. කොළ පැහැති කබා ඇඳ, සුදු පැහැති තොප්පි පැළඳගත් වෛද්‍යවරු, හෙදියෝ ද රොබෝවරුන් මෙන් එහෙට මෙහෙට යමින් රෝගීන් පරීක්‍ෂා කරති. සෑම රෝගියෙක්‌ගේම හදවත ගැහෙන රිද්මය හෘද ස්‌පන්දන යන්ත්‍රයේ තිරයේ දිස්‌ වේ. දැන් දැන් මගේ හදගැස්‌ම ද වේගවත් වනවා සේ මට දැනේ. සිත භ්‍රාන්ත වූවා සේය. නළල් තලයේ උණුසුම් ඩා බිඳු කිහිපයක්‌ මතු වෙමින් තිබිණි. අපි එක තැන කරකැවෙමින් දසත විපරම් කළෙමු.

වෛද්‍යවරු සහ හෙදියෝ කිහිප දෙනෙක්‌ම ගිලන් යහනක්‌ වට කරගෙන එක්‌ රෝගියෙක්‌ පරීක්‍ෂා කරමින් මොනවාදෝ කතා කරමින් සිටිති. අප සමග කතාබහ කරමින් සිටි හෙදිය ද මොහොතකට අපට සමුදී ඔවුන් අතරට එකතු වූවාය. වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ට වට වූ රෝගියාව දැකබලාගැනීමට අපගේ දෙනෙත් නොඉවසිලිමත්ය. අප අතර කිසිම හඬක්‌ නොනැඟේ. ඈත් මෑත් වෙන හෙදියන් අතරින් යහනේ වැතිරී සිටින රෝගියා දෙසට අපගේ දෙනෙත් ඉගිලී යන්නට විය. අදහාගැනීමටවත් නොහැකිය. යෞවනයේ දොරකඩ සිටින තරුණයෙකි. ඔහුගේ සිහිසුන් ගත වයර් ගොඩකට සම්බන්ධ කර ඇත. ජීවිතයක්‌ ජීවත්කරවීමට වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද නොනිමි සටනකය. මොහොතක්‌ අපි ඒ දෙස බලා සිටියෙමු. මගේ දෙනෙත් කැවෙන්නට පටන් ගැනිණි. ගැහෙමින් තිබුණු හදවත නතර වූවා සේ දැනිණි. තවත් මොහොතක්‌වත් එහි රැඳීමට නොහැකිය. මරණය මොනතරම් අනපේක්‍ෂිත දෙයක්‌ද? පණැති සියලු මිනිසුන් පිටුපසින් මරණය හෙවණැල්ලක්‌ සේ ලුහුබඳිනා බව සැබෑය. එහෙත් මේ තරම් ඉක්‌මනින් අනපේක්‍ෂිත ලෙසින් තරුණ ජීවිත පසු පස මරණය හඹා එන්නේ ඇයිද? සිතමින් අපි කාමරයෙන් එළියට ගමන් කළෙමු.




අප මේ සිටින්නේ කොහේද? දෙලොවක්‌ අතරද? නැත... කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයකය. දැඩිසත්කාර ඒකකයන්හිදී රෝගීන්ට සිදුවෙන සත්කාරයන් මෙන්ම එහි නොපෙනෙන පැතිකඩයන් සමාජයට විවර කිරීමේ අදහසින් අපි පසුගිය දිනක කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයන් කිහිපයකට ගියෙමු.

නැවත අපගේ දෙනෙත් වීදුරු කවුළුවෙන් ඇතුළත විපරම් කරන්නට විය.

"ඔයාලගෙ කවුරුහරි ඉන්නවද?" අප එසේ බලා සිටිනු දැක විශ්වාසභංගත්වයෙන් මෙන් එහෙට මෙහෙට ගමන් කරමින්, මොහොතින් මොහොත වීදුරු කවුළුවෙන් එබී බලමින් සිටි පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ අපගෙන් එසේ විමසූහ.

"නැහැ... අපි දැඩිසත්කාර ඒකකය ගැන තොරතුරු ටිකක්‌ දැනගන්නයි ආවේ..." උපාලි අයියා එසේ පිළිවදන් දුන්නේය.

"අපේ සාජන්ට්‌ මහත්තයෙක්‌ වාහනේක හප්පගෙන ගිහින් ගොඩක්‌ අමාරුයි. එයාව දැඩිසත්කාර ඒකකයට දාලා තියෙනවා. අපි ආවේ එයා බලන්න." පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසුවේය.

කාලය ගෙවී ගියේය. අපට තවත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් අපි සමග කතා බහ කරමින් සිටි හෙදිය පැමිණෙන තුරු බලා සිටියෙමු. පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ද ඔවුන්ගේ මිත්‍රයා ගැන තොරතුරක්‌ ලැබෙන තෙක්‌ නොඉවසිලිමත්ය.

දැඩිසත්කාර ඒකකයේ දොර විවර විය. කොළ පැහැති කබා ඇඳගත් වෛද්‍යවරයෙක්‌ මුඛ ආවරණය ඉවත් කරමින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනා ඇමතීය.

"අනතුර වෙච්ච වෙලාවෙ ඉඳලම ලෙඩා හුස්‌ම ගන්න ට්‍රයි කරලාම නැහැ. ඒ නිසා මොළයට ඔක්‌සිජන් ලැබිලා නැහැ. හාට්‌ එක වැඩ කරන්නෙත් නැහැ. අපි උපරිම උත්සාහ කරමු."

වෛද්‍යවරයාගේ මුවින් ගලා ගිය වචනවලින් පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගේ මුහුණු තව තවත් අඳුරු වළා පටලයකින් වැසී ගියේය. දෙදෙනාම ඔළුවට අත ගසා ගත්හ. "පුංචි දරුවෙක්‌ ඉන්නෙ." එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ අප දෙසට හැරුණේය.

"දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් ඒ මනුෂ්‍යයාට මොකුත් කරදරයක්‌ වෙන එකක්‌ නැහැ." මම සිතින් එසේ මිමිනුවෙමි.

දැඩිසත්කාර ඒකකයක්‌ යනු අසාධ්‍ය රෝගීන්ව දැඩි ලෙස නිරීක්‍ෂණය කිරීම සඳහා වෙන් කර තිබෙන විශේෂ ස්‌ථානයකි. ශ්‍රී ලංකාවේ පළමු වරට දැඩිසත්කාර ඒකකයක්‌ ආරම්භ කළේ කොළඹ ජාතික රෝහලේය. ඒ මීට දශක පහකට පමණ පෙර බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් කාරියවසම් මහතා අපට පැවසීය.

සාමාන්‍ය රෝහල් වාට්‌ටුවක රෝගීන් දස දෙනකු සඳහා සත්කාරක සේවයේ යෙදී සිටින්නේ එක්‌ හෙදියක්‌ පමණි. එහෙත් දැඩිසත්කාර ඒකකයකදී එක්‌ රෝගියකුට එක්‌ හෙදියක්‌ බැගින් සේවයේ යොදවා සිටිති. රෝගියා බාර හෙදිය පැය විසිහතර පුරාම අදාළ රෝගියා පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. රෝගියාගේ හද ගැස්‌ම, රුධිර පීඩනය පිළිබඳ නිරන්තරයෙන්ම නිරීක්‍ෂණය කරමින් යම් වෙනසක්‌ ඇති වේ නම් වහාම වෛද්‍යවරයා දැනුවත් කිරීම හෙදියගේ ප්‍රධාන කාර්යභාරයකි. එමෙන්ම සාමාන්‍ය වාට්‌ටුවල නොමැති උපකරණ රැසකින් දැඩිසත්කාර ඒකක පොහොසත් බව ද කිව යුතුමය.

හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ නම් සියලුම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු සිටිති. නමුදු අනෙකුත් දැඩිසත්කාර ඒකකයන් තුළ සිටින්නේ අදාළ රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පමණි. එමෙන්ම දැඩි සත්කාර ඒකකයක වැඩි වගකීම පැවරී ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරයාටය. රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්‌පන්දනය, හුස්‌ම ගැනීමේ හැකියාව ඇතුළුව රෝගියා බාහිර උපකරණවලින් තොරව පියවි සිහියට පැමිණෙන තෙක්‌ අවශ්‍ය තොරතුරු ලබාදෙන්නේ නිර්වින්දන වෛද්‍යවරයා ය.

එක්‌ රෝගියෙක්‌ වට කරගෙන පරීක්‍ෂා කරමින් සිටි වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද මුහුණු ප්‍රසන්න සිනාවකින් හැඩ කරගෙන දැන් දැන් ඈත් මෑත් වෙන අයුරු වීදුරු කවුළුවෙන් අපට පෙනිණි. එහෙයින්ම ඒ රෝගියා තවත් ජීවත් වීමට වාසනාවන්ත වී ඇතැයි අපට සිතේ. දැඩිසත්කාර ඒකකය තුළදී අප සමග කතා බහ කරමින් සිටි දිල්රුක්‌ෂි හෙද සොහොයුරිය නැවත අප අතරට එක්‌ වූහ. ඇය හදිසි අනතුරු දැඩිසත්කාර ඒකකයේ සහ හදිසි අනතුරු දැඩි නිරීක්‍ෂණ ඒකකයේ සේවය කරන්නීය. 2005 වසරේ සිට මිනිස්‌ ජීවිත ජීවත් කරවීමට ජීවන අරගලයක යෙදී සිටින ඇය අත්දැකීම් පොදියක්‌ තුරුළු කරගෙන සිටින හෙද සොයුරියකි.

"පසුගිය යුද්දෙ කාලේ බරපතළ ලෙස තුවාල වුණු සෙබළුන් වගේම, බෝම්බවලට පිච්චුණු සාමාන්‍ය මිනිස්‌සු දිනපතාම වාගේ රෝහලට ගෙනාවා. ඒ ජීවිත බේරාගන්න අපි හැමෝම එකා වගේ, එක දිගට පැය 36-42 සේවය කරලා තියෙනවා. මට අර වැඩේ තියෙනවා අද අනිවාර්යෙන්ම යන්න ඕනෑ කියලා කවුරුවත් කිව්වේ නැහැ. කෑම බීම, ගෙවල් දොරවල්, දරුවන් ගැනවත් එදා අපි හිතුවේ නැහැ. ඒ ජීවිත ජීවත් කරවීමට වෙහෙසුණා."

"යුද්දෙ කාලේ විතරක්‌ නෙමෙයි, අපි හිතමු අද මට තියෙන්නෙ පැය හයේ වැඩ මුරය කියලා. එහෙමයි කියලා පැය හය ගෙවිලා ගිය ගමන් අපිට ගෙදර දුවන්න බැහැ. රෝගියාගේ සියලුම දේ කරලා ඉවර වෙලා තමයි අපි යන්න ඕනෑ. ඒ වැඩ ටික ඉවර වෙනකොට කීය වෙනවද කියන්න බැහැ. වෙන රැකියා කරන අයට එහෙම නෙමෙයිනේ. අද බැරි නම් හෙට ඇවිත් කරන්න පුළුවන් කියලා හිතාගෙන යන්න පුළුවන්. අපේ රැකියාව ඒ විදිහ එකක්‌ නෙමෙයි. අපිට එහෙම බැහැ. දැන් කළ යුතු දේ දැන්ම කරන්න ඕනෑ. කාලයට ප්‍රමුඛත්වය දෙන්න බැහැ. රෝගියාටයි මුල් තැන දෙන්න ඕනෑ."

"රෝගියාගේ සමාජ තරාතිරම මොකක්‌ වුණත් අපිට මෙතැනදී වැඩක්‌ නැහැ. දැඩිසත්කාර ඒකකයට ඇතුළු කරන සෑම රෝගියෙක්‌ම අපට එක සමානයි. අඩු වැඩි මෙතැනට වලංගු නැහැ. හැම ජීවිතයක්‌ම අපිට වටිනවා. කිසිම ජීවිතයකට මිලක්‌ දෙන්න බැහැනේ. ඒ නිසා කිසිම රෝගියකුට විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. හැම කෙනාටම එකම විදිහට සත්කාරක සේවය ලබා දෙනවා. අපේ එකම අරමුණ කෙසේ හෝ රෝගියාව ජීවත් කරවීමයි. ජීවිතයත් මරණයත් අතර සිටින මේ රෝගීන්ව සුවපත් වෙලා සාමාන්‍ය වාට්‌ටුවකට අරගෙන යන කොට දැනෙන සතුට ගැන කියන්න වචන නැහැ."

"අසාධ්‍ය රෝගීන් විදිහට මෙතැනට ඇවිත් ප්‍රතිකාර ගෙන පියවි සිහියට ආවට පස්‌සෙ සාමාන්‍ය වාට්‌ටුවකත් මාස ගණන් ප්‍රතිකාර ලබාගෙන ගෙවල්වලට යන රෝගීන් නැවත අපිව බලන්න එනවා. එහෙම ඇවිත් අපිට පිං දීලා ගිය අවස්‌ථා මෙපමණයි කියන්න බැරි තරම්. ඒ වගේ සිද්ධිවලින් අපි සතුටට පත් වෙනවා විතරක්‌ නෙමෙයි, අපි තව තවත් දිරිමත් වෙනවා. මෙතැන ප්‍රතිකාර ගත්ත පුංචි දරුවෙක්‌ ඊයෙත් අපිව බලන්න ආවා. ඇවිත් මාව දැක්‌ක විතරයි "මම ඔයාව අඳුරනවා. දැන් මට සනීපයි." කියලා හිනා වුණා. ඒ වචන ටික ඇහුණාම නම් මගේ ඇස්‌වලට කඳුළු ආවා. පුංචි දරුවෙක්‌. එයාව මෙතැනට ගෙනාවේ වාහනේක හැප්පිලා. එදා නම් අපිටත් එයා ගැන විශ්වාසයක්‌ තිබුණේ නැහැ. සාමාන්‍ය තත්ත්වයට හැරුණු ගමන් අපි වාට්‌ටුවට දැම්මා. බලන්න සිහිසුන්ව මෙතැනට ආපු ඒ පුංචි දරුවටත් අපිව හොඳට මතකය තිබුණු හැටි. ඒ වගේ සිද්ධි නම් ජීවිතයට අමතක වෙන්නේ නැහැ."

"දැඩි සත්කාර ඒකකයට රැගෙන එන බොහෝ රෝගීන්ගේ පියවි සිහිය දුර්වලයි. රෝගියෙක්‌ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට, එහෙම නැත්නම් පියවි සිහියට හැරෙනකොට තමයි රෝගියාට තෙරෙන්නෙ එයා ඉන්නේ කොහේද කියලා." දිල්රුක්‌ෂි හෙද සොහොයුරිය ඇයගේ වෘත්තිය ජීවිතය එසේ වචනවලට ගොනු කරමින් සිටියාය.

දැඩිසත්කාර ඒකකයන්හිදී අපි කතාබස්‌ කළ වෛද්‍යවරුන් මෙන්ම හෙදියන් ද ප්‍රසන්න පෙනුමැති ශාන්ත කටහඬකින් යුක්‌ත අය වූහ. එහෙයින්ම ඔවුන්ව විශේෂ තෝරාගැනීමකින් පසු දැඩිසත්කාර ඒකකයන්වලට සම්බන්ධ කරගන්නේ දැයි මට සිතිණි. එය ඔවුන්ගෙන්ම දැනගැනීම අදහසින් අපි මෙවැනි ප්‍රශ්නයක්‌ යොමු කළෙමු.

"දැඩි සත්කාර ඒකකයේ සේවය කිරීමකට විශේෂ සුදුසුකමක්‌ තිබිය යුතුද?"

"හෙද සොහොයුරියක්‌ වෙන්න හෙද විද්‍යාලයක අවුරුදු තුනක පුහුණුවක්‌ ලබාදෙනවා. ඊට අමතරව දැඩිසත්කාර ඒකකයේ සේවය කරන්න මාස හයක විශේෂ පුහුණුවක්‌ ලබාදෙනවා." සිනාමුසු මුහුණින් දිල්රුක්‌ෂි හෙද සොහොයුරියගෙන් කෙටි පිළිතුරකි.

"ජීවිතයත් මරණයත් අතර සිටින රෝගීන් සමග නිතර කාලය ගත කරන්නට සිදුව ඇති ඔබට ජීවිතය ගැන හැඟෙන්නෙ කුමන ආකාරයකින්ද?"

"අපි හෙද වෘත්තියට යොමුවීමේදී ලැබෙන පුහුණුවෙන් රෝගීන් පිළිබඳ යම් අවබෝධයක්‌ ලබාගන්නවා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අපි හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ. අපගේ එකම බලාපොරොත්තුව අප වෙතට එන රෝගීන් කෙසේ හෝ ජීවත් කරවන්නයි. අප ප්‍රතිකාර කරන රෝගීයෙක්‌ මිය ගියහොත් අපටත් එය දරාගන්න බැහැ. අපේ සිත සතුටින් පිරී යන්නේ රෝගියෙක්‌ ප්‍රතිකාර ලබා සුවපත් වෙලා රෝහලෙන් පිටව යන විටයි.

"නිතරම ලේ දකින, තුවාල සහිත සිහිසුන් රෝගීන් දකින ඔබට ඒ රෝගීන් පිළිබඳ පිළිකුලක්‌ ඇති වෙන්නෙ නැද්ද?" අපි නැවත එසේ පැනයක්‌ යොමු කළෙමු.

"හෙද පුහුණුවේදීම අපේ මනස හදනවා. පිළිකුල, අප්පිරියාව, අපෙන් ඈත් වෙලයි තියෙන්නෙ. එහෙම තිබුණා නම් අපිට මේ වැඩ ටික කරන්න බැරි වෙනවා. අපේ සිත මූලිකත්වය දෙන්නෙ ජීවිත බේරාගන්න විතරයි. බාහිර සමාජයත් එක්‌ක බැලුවොත් රෝහල් සේවකයන්ට කිසිම කෙනෙකුට ඔය කියන පිළිකුල, අප්පිරියාව ඇති වෙන්නෙ නැහැ."

දැඩිසත්කාර ඒකකයකින් කෙරෙන කාර්යභාරය සුළු පටු නැති බව දැන් ඔබට තේරෙනවා ඇති. රෝගීන්ගේ සියලු වගකීම පැටවී ඇත්තේ ඒකකය භාරව සිටින වෛද්‍යවරුන්ට මෙන්ම හෙදියන්ටය. එහි ප්‍රතිකාර ලබන්නේද අසාධ්‍යම රෝගීන්ය. ඔවුන් ගතින්, සිතින් සියලු තැන්හි දුර්වල හෙයින් ඔවුන්ගේ සිරුරුවලට විෂබීජ ඇතුළුවීමට වැඩි ඉඩක්‌ ඇත. එහෙයින්ම දැඩිසත්කාර ඒකකය අධි ආරක්‍ෂිත කලාපයක්‌ කරමින්, එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට අවස්‌ථාව ලබා දී ඇත්තේ සීමිත ඥාතීන් පිරිසකට පමණි.

"ඇයි අපේ ලෙඩාව බලන්න ඇතුළට යන්න දෙන්නෙ නැත්තේ. මේ මගේ තාත්තා. මේ මගේ අයියා. අර ඉන්නේ මගේ මල්ලි. මට දැන් එයාව බලන්න ඕනා. මට දැම්ම ඇතුළට යන්න ඕනා. මෙතැනට ඇවිල්ලා එහෙම ආවේගයෙන් කතා කරන අය ඕන තරම් ඉන්නවා. ඒ අයට තෙරෙන්නෙ නැහැ අපි හැමදේම කරන්නේ ඔවුන්ගේ ලෙඩාව ආරක්‍ෂා කරන්න බව. දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ගන්න රෝගීන්ව නිතරම බලන්න එක එක පුද්ගලයන් ආවොත් අපිට ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබාදෙන්න බැරි වෙනවා. අනිත් එක තමයි බාහිරින් පැමිණෙන පුද්ගලයන්ගේ සිරුරේ, ඇඳුම් පැළඳුම්වල ඇති විෂබීජ රෝගියාට ඇතුළු වෙනවා. දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියකුගේ ඇඳ ඇතිරිල්ල පවා ලබා දෙන්නේ රෝහලෙන්. ඒවා නිසියාකාරව විෂබීජ නාශක යොදලා පිරිසිදු කරලා තියෙන්නෙ. මේ හැම දේම කරන්නේ රෝගියාව සුවපත් කර ගැනීම සඳහායි." රෝගීන් බැලීමට එන ඔවුන්ගේ ඥතීන්ගෙන් ඉඳහිට හෝ එසේ තර්ජන ගර්ජන එල්ලවන බවද දිල්රුක්‌ෂි හෙද සොහොයුරිය එසේ පැවසුවාය.

ඔබගේ ඥතීන්, යහළු මිත්‍රාදීන් අනපේක්‍ෂිත ලෙස හදිසි අනතුරුවලට ලක්‌ව රෝහල්ගත කළ විට ඔබගේ සිත තුළ ඇති වන කම්පනය අපිත් අත්විඳ ඇත්තෙමු. එසේ යෑයි කියා සිතේ ඇති වන ආවේගයට ඔබ පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. ඔබ විසින් සිතේ ඇති වෙන ආවේගය පාලනය කළ යුතුය. රෝහල්වල වෛද්‍යවරුන් මෙන්ම හෙද හෙදියන් ද වෙහෙසෙන්නෙ ඔබගේ රෝගියා ජීවත් කරවීමටයි. රෝහල යනු මනුෂ්‍යත්වයේ මහිමය උපරිමයෙන් කුළුගැන්වෙන තැනකි. එවැනි තැන්වලදීත් හික්‌මීමක්‌ නැති අමනයන් ලෙස හැසිරෙන්නේ නම් මිනිසුන් නොව අමනුෂ්‍යයන් යෑයි කියමින් අපි කොළඹ ජාතික රෝහලට සමු දුන්නෙමු.


උපාලි ද සේරම්
තරංග රත්නවීර
ඡායාරූප - නිශාන් එස්. ප්‍රියන්ත

Divaina 2012. 04. 22

Monday, April 23, 2012

හෙදියන් සම්බන්ධයෙන් ලොව පුරා විදෙස් රැකියා වෙළෙඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක්

කොළඹ, ලංකාපුවත්) හෙදියන් සම්බන්ධයෙන් ලොව පුරා විදෙස් රැකියා වෙළෙඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවත් පිළිබඳ අවධානය යොමු කර ඉදිරියේ දී කටයුතු කිරීම සූදානම් බවත් විදේශ රැකියා ප්රවර්ධන හා සුබසාධන අමාත් ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්යවරයා කියා සිටියේ හෙදියන් සම්බන්ධයෙන් ලොව පුරා විශාල පුරප්පාඩු සංඛ්යාවක් පවතින බවයි.
එබැවින් විදේශ රැකියා ප්රවර්ධන හා සුබසාධන අමාත්යාංශය, සෞඛ් අමාත්යාංශය සමඟ එක්ව මේ පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරනු ලබන බව අමාත් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය. හෙදියන් ශ්රී ලංකාව තුළ පුහුණු කර ලොව පුරා ඉල්ලුමක් ඇති හෙද ක්ෂේත්රයේ පුරප්පාඩු සඳහා එම පිරිස් යොමු කිරීමේ වැඩපිළිවෙලක් යටතේ ක්රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.

2012-04-15

Sunday, April 22, 2012

EB circular












බෝනොවන රෝගවලින් දිනකට 37ක් මියයති

2012 අප්‍රේල් 20 වෙනි සිකුරාදා, 02:50 කමණි හෙට්ටිආරචිචි • හේතුව ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොලැබිම බෝ නොවන රෝගවලින් දිනකට මෙරට වැසියන් 37 දෙනෙකු පමණ මිය යන බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, වැඩබලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිසි පරිදි සිදු නොවීම නිසා මෙම මරණවලට හේතුව බවට සොයාගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය. එබැවින් මාධ්‍ය හරහා සුවදායක වැඩසටහන් ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කරන්නැයි වැඩබලන කැබිනට් ප්‍රකාශකවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකචිඡාවේදී මාධ්‍යවේදීන් ඉල්ලීමක් කළේය. මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් සිව් දෙනෙකු විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබූ නමුත් එයට කැබිනට් පත්‍රිකා අවශ්‍ය නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත. එමෙන්ම කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකචිඡාවේදී මේ පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය. Lakbima

කරාපිටිය රෝහලේ සිරින්ජර් හිඟයක්‌

ඒමන්ති මාරඹේ කරාපිටිය ශික්‌ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ හා වාට්‌ටුවල මෙම දිනවල සිරින්ජර් හිඟව පවතින බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම සිරින්ජර් හිඟය හේතුවෙන් එන්නත් ලබා දීමට අවශ්‍ය රෝගීන්ට සිරින්ජර් පෞද්ගලික වෛද්‍ය අංශයෙන් මිලදී ගෙන එන ලෙස නියම කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ. Divaina 2012.04.20

කරාපිටිය බාහිර රෝගී අංශයේ ඊයේ පැය 3 1/2 ක වෛද්‍ය වර්ජනයක්‌

ඒමන්ති මාරඹේ රෝහල් පාලනාධිකාරයට කිසිදු දැනුම් දීමකින් තොරව කරාපිටිය ශික්‍ෂණ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් විසින් ඊයේ (19දා) උදෑසන වැඩ වර්ජනයක්‌ පවත්වා ඇත. මේ හේතුවෙන් පැය තුනහමාරක පමණ කාලයක්‌ සාමාන්‍ය රෝගීන් වාට්‌ටුවලට ඇතුළු කිරීමටද සෙසු බාහිර රෝගී අංශ කටයුතු ද අඩාලව පැවැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයට පැමිණි රෝගීහු විශාල පිරිසක්‌ අසීරුතාවයට පත්වූහ. කරාපිටිය ශික්‍ෂණ රෝහල් බාහිර රෝගී අංශයේ ස්‌ථාන භාර වෛද්‍ය නිලධාරීයා හා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් අතර පැවැති ගැටුමක්‌ මුල් කර ගෙන බාහිර රෝගී අංශයේ සේවය කරන වෛද්‍යවරුන් ඊයේ උදෑසන 9.30 සිට දහවල් 1 දක්‌වා මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබිණි. ගැටුමට මුල් වූ ස්‌ථාන භාර වෛද්‍ය නිලධාරීයා වෙනුවට වෙනත් අයකු බාහිර රෝගී අංශයට තාවකාලිකව පත් කිරීමට රෝහල් පාලනාධිකාරය පියවර ගැනීමත් සමගම දහවල් 1 ට පමණ වර්ජනය අවසන් කිරීමට එම වෛද්‍යවරු පියවර ගත්හ. මෙම වර්ජනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත් වීමකින් තොරව ක්‍රියාත්මක වූ බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය. Divaina 2012.04.20

බෝ නොවන රෝගවලින් දිනකට 37 දෙනෙක්‌ මිය යති

රනිල් ධර්මසේන බෝ නොවන රෝගවලින් දිනකට පුද්ගලයන් 37 දෙනකු මිය යන බවට අනාවරණයවී තිබේ. මෙම බෝ නොවන රෝගවලට ගොදුරුවීමට ප්‍රධානතම හේතූන් වනුයේ ශරීරයට නිසි ව්‍යායාම නොලැබීම වැරදි ආහාර රටාවන් හා රෝග පිළිබඳව ඇති අනවබෝධය බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. මෙලෙස බෝ නොවන රෝගවලට ගොදුරුවීම වැළැක්‌වීම සඳහා ජනතාව දැනුවත් කිරීමට දිනපතා සුළු වේලාවක්‌ හෝ ඉඩක්‌ වෙන් කරන ලෙස ඇමැති මණ්‌ඩලයේ උපදෙස්‌ මත වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඉල්ලීමක්‌ කළේය. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හෝ ව්‍යායාම වැඩසටහන්වලට දිනකට විනාඩි දෙකක්‌ හෝ වෙන් කරන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටියේය. Divaina 2012.04.20

මාලබේ පෞද්ගලික රෝහල ගැන ආයතනය කරුණු පැහැදිලි කරයි

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ඉදිකෙරෙන රෝහල සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇතැයි දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය පවසයි. එම ආයතනය මේ බව පවසන්නේ එම වෛද්‍ය විද්‍යාලයේ රෝහල ඉදිකිරීම සම්බන්ධයෙන් "දිවයින" පුවත්පතේ පෙරේදා (18 වැනිදා) පළ වූ පුවත පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි. ආයතන ලේකම් හේමන්ත තෙන්නකෝන් මහතා විසින් එවන ලද එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේද සඳහන් වේ. උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා විසින් අංක 1721/19-2011 අගෝස්‌තු 30 දින අති විශේෂ ගැසට්‌ පත්‍රය මගින් නියෝග කර ඇත්තේ දකුණු ආසියානු තාක්‍ෂණ හා වෛද්‍ය (පුද්ගලික) සමාගම (SAෂඔඵ) උපාධි පිරිනැමීම සඳහා යම් යම් කොන්දේසිවලට යටත්ව පිළිගන්නා බවය. එම කොන්දේසි අතර SAෂඔඵ ආයතනය විසින් ඒ වන විටත් ලංකා බැංකුවෙන් ව්‍යාපාරික ණයක්‌ වශයෙන් අනුමත කර තිබූ රු. මිලියන 600 ට අදාළ පිරිනැමීමේ ලිපිය ඉදිරිපත් කිරීම එක්‌ කොන්දේසියක්‌ වේ. එසේ නොමැතිව ඔබ පුවත් පතේ සඳහන් කර ඇති පරිදි ලංකා බැංකුවෙන් රු. මිලියන 600 ක ණය මුදලක්‌ නිකුත් කිරීමට ගැසට්‌ නිවේදනය මගින් එකඟතාවක්‌ පළකර නොමැත. රෝහලේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයෙන්ද අවසර ගැනීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පරමාණු බලශක්‌ති අධිකාරිය යන ආයතනවල අනුමැතිය දැනටමත් ලබාගෙන ඇත. මීට අමතරව අප ආයතනයෙන් මෙම රටේ පොදු මහජනතාව උදෙසා පහත සඳහන් මහඟු සේවයන් ඉටුවන බවද සතුටින් මතක්‌ කර දෙමි. ශ්‍රී ලාංකික දූ දරුවන්ට තම රට තුළම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබීම හා මෙම රටේ විදේශ විනිමය ගලායාම වළක්‌වා ගත හැකි වීම. ශ්‍රී ලාංකික දූ දරුවන්ට විදේශ රටවල්වලදී මුහුණ පෑමට සිදුවන දේශගුණික සංකුලතා සංස්‌කෘතික සංකුලතා, භාෂා පිළිබඳ ගැටලු සහ බුද්ධි ගලනය ඇතුළු මුහුණ පෑමට සිදුවන අනෙකුත් අසීරුතාවලින් වැළකී සිටීමට හැකි වීම. විදේශ දූ දරුවන් මෙම රට තුළට ඒම තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගත හැකි වීම සහ එමනිසා රජයේ ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන කේන්ද්‍රස්‌ථානයක්‌ වශයෙන් ශ්‍රී ලංකාව දියුණු වීම. ආර්ථික අපහසුතා ඇති දූ දුරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම. මෙතෙක්‌ පැවති සාම්ප්‍රදායික ක්‍රමය වූ උගත් ආචාර්යවරුන් රට හැර යැම වැළකී අපගේ දූ දරුවන්ට ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට හැකිවීම එමගින් රටේ බුද්ධි ගලනය අවම වීම. අඩු ආදායම්ලාභීන්ට නොමිලේ රෝහල් පහසුකම් ලබා දීම. තවද රෝහලේ රසායනික සහ රෝගීන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා රු. මිලියන 6 ක වියදමින් ඒවා අධිතාක්‍ෂණිකව පුළුස්‌සා බැහැර කිරීමට යන්ත්‍රොaපකරණයන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද සතුටින් මතක්‌ කර දෙමි. මේ අනුව නීති විරෝධීව කිසිදු ඉදිකිරීමක්‌ කර නොමැති බවත් යම් කෙනකුට මේ පිළිබඳව යම් සොයා බැලීමක්‌ කිරීමට අවශ්‍ය නම් අප ආයතනය ඊට සුහද ඇරයුමක්‌ කරමි. පසු සටහන අප විසින් පළකරන ලද පුවතට පාදක වූයේ එම රෝහල ඉදිකිරීම නීති විරෝධී බවට රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් පනස්‌දෙනකු විසින් පොලිස්‌පතිවරයාට කරන ලද පැමිණිල්ල සහ රෝහල ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරය ලබා නොමැති බවට එහි පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය කළ ප්‍රකාශය බව සඳහන් කරමු. Divaina 2012.04.20