Monday, January 7, 2013

එදා ලක්බිම විභාග වංචා හෙළිකළේ මෙහෙමයි


අදත් වංචා සිදුවන්නේ වැළැක්වීමට අවශ්‍ය පියවර නොගත් නිසාය

විභාග වංචාව කොටියා දත් විළිස්සා නිය පෙන්වා යළි රට බියගන්වා සිටියේය. ගත වූ දෙසැම්බර් අ.‍පො.ස. (සා) විභාගයේ විද්‍යාව  ප්‍රශ්න පත්‍රවල සම්පූර්ණ පිටුවක්ම පිට කර තිබිම නිසාය. සොරාගත් හෝ ලබාගත් ප්‍රශ්න පත්‍ර පිටුව විකුණා ඇත්තේ ගම්පහ ටියුෂන් මාස්ටර් කෙනෙකුටය. ඔහු මුලින් පවසා ඇත්තේ තමා සිසුනට සැපයූ ප්‍රශ්න 19 තමාගේම නිර්මාණ බවය. දක්ෂ ගුරුවරයෙකුට රජයේ විභාග ප්‍රශ්න පත්‍රයක එතහැකි ප්‍රශ්න අනුමානකර සිසුනට සැපයිය හැකි බවය. එහෙත් දැන් අනාවරණයව ඇත්තේ, විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් 2012 අ.‍පො.ස. (සා) විද්‍යාව  ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 සහිත පිටුව, රුපියල් ලක්ෂ ගණනකට පිටට අලෙවි කර ඇති බවය. මුලින්ම මිලදී ගෙනැත්තේ කරණවෑමියෙකුය.
මින්පෙර වංචනිකව පිට කළ විභාග දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න නිවැරදිව තිබුණි. මෙවර පිටව ඇත්තේ බහුවරණ ප්‍රශ්න පත්‍රයකි.

අනුමානයක අපූරුව
ටියුෂන් මාස්ටර් සැපයූ ආදර්ශ පත්‍රයේ ප්‍රශ්න හා නිවැරදි පිළිතුර පමණක් නොව, වැරදි පිළිතුරුද ඒ ආකාරයෙන්ම (විභාග කොමසාරිස්ගේ ප්‍රශ්න පත්‍රයෙ ආකාරයෙන්ම) පැවතීමය.

විභාග කොටියා ආවෝ.....ආවෝ කියමින් , අද බොහෝ දෙනා කෑ ගසන....... එහෙත් වගේ වගක් නැති අධ්‍යාපන ඇමැත්ත නිදිකරන... අපේ රටේ විභාග වංචා සිදුවූයේ අද ඊයේ සිට නොවේ.
මෙරට සිදු කළ ජුගුප්සාජනක මහාම විභාග වංචාවක් අප හෙළි කළේ 2003.05.18 ඉරිදා ලක්බිම සංග්‍රහයෙනි. 2003.04.21 දා ඇරඹුණු අ.‍පො.ස. (උ.පෙ) විභාගයේ සිංහල  ප්‍රශ්න පත්‍රය, ඊට පෙර ගම්පහ උපකාරක පංතියක සිසුනට ලැබි තිබිම ගැනය.

විභාග ප්‍රශ්න පත්‍රයේ මෙන්ම   උපකාර ක පංති ප්‍රශ්න පත්‍රයේ ද ප්‍රශ්න 7 බැගින් විය. විභාග කොමසාරිස්ගේ නීත්‍යනුකූල ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හතෙන් හයක්ම උපකාරක පංති ප්‍රශ්න පත්‍රයේ ද විය.
උපකාරක පංති ගුරුවරයා එහිදී ද පවසා  තිබුණේ ප්‍රශ්න සමාන වූයේ සිය දක්ෂ ගුරු භූමිකාව නිසා බවය. ඒ අරභයා එවකට සිටි විභාග කොමසාරිස්ට එරෙහිව අප ඉරිදා ලක්බිම හරහා නැගූ චෝදනා තවමත් ජනතා අධිකරණය ඉදිරියේය.

දැන් රට සාකච්ඡා කරන්නේ 2012 අ‍පොස (සා) විභාග ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 19 පිටව තිබිම ගැනය.
2012. 5
වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ද පිට වූ බවට රටපුරා මහා හාහෝවක් පැතුරුණි. ඒ ගැන සෙවීම ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි.

2003
අප හෙළි කළ විභාග වංචාව ගැන සෙවීමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි.
වූ දෙයක් තවමත් දැනගන්නට නැත
 

පාසල් විභාග ප්‍රශ්න පත්‍ර පමණක් නොව, හෙදි විභාග ප්‍රශ්න පත්‍රද පිටවන බව, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හෙළි කලහ. මැල්ලවගම සෝමානන්ද හිමි ප්‍රමුඛ විශාල පිරිසක් අපේ චෝදනාවට ගොම ‍පොහොර ඉසූය. සිරස ගුවන් විදුලියේ සුළං ක‍පොල්ල හරහා අපේ හෙළිදරව්ව අගය කළ, ගුරු විදුහල්පති, ශිෂ්‍ය දෙමාපිය, විශාල පිරිසක් ...... අපරාධයක මහත  යැයි හීල්ලූහ.

2012
අ.‍පො.ස. (සා) විද්‍යාව  ප්‍රශ්න පත්‍රයේ පිටුවක් ඊට පෙර පිටව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ද පිළිගනී. වගකිව යුතු පිරිසක් අත්අඩංගුවේය. එහිද ප්‍රධාන චූදිත, ගම්පහ උපකාරක පංති ගුරුවරයෙකි.

2003
අ‍පොස (උ.පෙ.) සිංහල  ප්‍රශ්න ඊට පෙර පිටව හෝ පිටකර තිබිම ගැන මා චෝදනා කළේ , එවකට සිටි විභාග කොමසාරිස්ටය. ඔහු මුලදී ඒ ගැන හ්ම් කීවේ නැත. පියවරක් ගත්තේ නැත.
වත්මන් විභාග කොමසාරිස් නම්, සිද්ධිය වූ වහා පියවර ගත්තේය. අප අපේ 2003 පළමු හෙළිදරව්වෙන් (2003.06.10) පැහැදිලි කළේ, විභාග කොමසාරිස් විභාග දිනට පෙර ප්‍රශ්න පත්‍රය පිටට විකුණා ඇති බවය. නැතහොත් ගම්පහ ටියුෂන් මාස්ටර් කෙනෙකුගේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයෙන් උපුටා ගෙන , තම ප්‍රශ්න පත්‍රය සකසා ඇති බවය.

මේ හෙළිදරව්වෙන් ගැඹූරු සංවාදයක් රට පුරා ඇති වුණි. ඉරිදා ලක්බිමට අමතරව, විවිධ පුවත්පත් හා විද්‍යුත් නාලිකා හරහාය. බහුතරයකගේ මතය වූයේ , විභාග සොරකම් වැළැක්වීම සඳහා රජය වහා පියවර ගත යුතු බවය. අපරාධකරුවනට තරාතිරම නොබලා  දඬුවම් කළ යුතු බවය.

අදත් ප්‍රශ්න පත්‍ර සොරකම්  සිදුවන්නේ, පූර්ව අවස්ථාවල රජය අවශ්‍ය පියවර නොගත් නිසාය. දිග්ගැස්සුණු විවාදය නතරවීමෙන් පසු, මා හමුවීමට පැමිණි සේපාල් අමරසිංහ නමැත්තෙක්....... 2003 අ.‍පො.ස. (උ.පෙ.) සිංහල  ප්‍රශ්න පත්‍රය පිටවීම හෝ පිටකර ගැනීම අරභයා විමංශනාත්මක කෘතියක් පළ කිරීමට තමා අදහස් කරන බවත්, මගේ ලිපි පෙළ ඔහුට ලබාදෙන  ලෙසත් ඉල්ලීමක් කළේය.

ඔබේ අසීරු හෙළිදරව්ව රටේ සාකච්ඡාවට භාජනය වුණා මදි.... පිටරට නම්, මේ වගේ කාරණා ගැන ‍පොත් පිට ‍පොත් ලියවෙනවා....... අපි අලුත් පියවරක් ගනිමුයි  ඔහු යෝජනා කළේය.
ඒ මා ඔහු දුටු ප්‍රථම වතාවය.

ඔහුගේ යෝජනාවට සවන්දීගෙන සිටියදී මට එක්වරම සිහිවූයේ සුනන්ද මහේන්ද්‍ර මහතා හමු වූ විටෙක, ඒ මහතා මා හා පැවැසූ කරුණකි.

ඇයි අපරාධයට දඬුවම් ලැබෙන තුරු අරගලය නොකළේ ...... ලෝකයේ ගවේෂණාත්මක පත්‍රකරුවො සිද්ධි එළිදරව්  කරල මැද්දෙන් නතර වෙන්නෙ නෑ
මම , සේපාල් අමරසිංහට ඒ වගද පැවැසුවෙමි.

ඒක තමා අපි යළි අරගලය පටන් ගනිමු
මම ඔහුගේ කෘතිය සඳහා මගේ ලිපි පිටපත් ඔහුට දීමට එකඟ වුණෙමි.
සේපාල් අමරසිංහ කෘතියක් සම්පාදනය කළේය.
සන්නස්ගලගේ ප්‍රශ්න පත්‍ර හොරකම නමිනි.

මගේ හා උපුල් ශාන්ත සන්නස්ගලගේ වාද ලිපි ඊට ඇතුළත් කර තිබුණි. මගේ ප්‍රකාශයක්ද සමග සේපාල් අමරසිංහගේ නිගමන ද එහි විය.

සමාජ ප්‍රශ්න පැන නගින මුල් බිජය, දැනුමේ ප්‍රඥාව පිළිබඳ මිනිසුන් තුළ ඇති අවබෝධය බව, සිය කෘතියේ සඳහන් කරන සේපාල් අමරසිංහ , 2003, අ‍පොස (උ.පෙ.) විභාගයේ සිංහල  ප්‍රශ්න පත්‍රය පිළිබඳ පැන නැගුන තත්ත්වයේ පසුබිම ද එවැනිම බව පවසයි.

මගේ හා උපුල් ශාන්ත සන්නස්ගලගේ ලිපි අධ්‍යයනය කළ සේපාල් අමරසිංහ ගේ නිගමනය වන්නේ සන්නස්ගල ප්‍රශ්න පත්‍රය සොරකම් කර ඇති බවය. ඔහු ඒ බව සිය කෘතියේ පෙරවදනේ...... තද කළු අකුරින් සඳහන් කරයි.
ඒ සමග ඔහු මෙසේ ද සඳහන් කරයි.

එනයින් බලන කල සිරිල් එ¾ෙඩ්රමුල්ල ගුරු භවතා නගන චෝදනාව සාවද්‍ය නොවේ.
එසේ නිගමන දෙකක් දෙන සේපාල් අමරසිංහ අදටත් ඉතා වටිනා ප්‍රශ්නයක් මතු කරයි. එහෙත් ඔහු එකී සිංහල  ප්‍රශ්න පත්‍රය සොරකම් කළේ කෙසේදැයි කිසිවෙක් නොදනී
අදත් මතුව ඇති ප්‍රශ්නය එයය.

ආරම්භයේ සිටම අ.‍පො.ස. (උ.පෙ.) භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටව තිබේ. එය සකස් කළ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයාගේ බිරිඳ රජයේ පාසලක විද්‍යා ගුරුවරියක විය.
එහෙත් ඒ කිසිවිටෙක සොරකම් සිදු වූ ආකාරය සොයා ගෙන නැත. උ.පෙ, භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර සොරකම් ගැන පානදුරේ ගේ‍රගරි ප්‍රනාන්දු නම් ගුරුවරයෙකු නඩු පිට නඩු කීපයක් පවරා තිබේ.  නඩු තවමත් උසාවියේය. ඔහු මෑතක මිය ගියේය.

1980
සිට උ.පෙ. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය, විභාගයට පෙර පිට වූ බව ඔහු උසාවියට පෙන්වා දී ඇත. චූදිතයන්ගේ නම් ගම් ද සහිතවය. 1992 උ.පෙ. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි විභාගයක් පැවැත්වීමට ආතර් වෙදමුල්ල විභාග කොමසාරිස්ට සිදුවිය.

2003
අ‍පොස (උ.පෙ.) සිංහල  ප්‍රශ්න පත්‍ර සොරකම සෙවීම, අවසානයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි. ඒ විජිත හේරත් හා සුසිල්  ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරු පාර්ලිමේන්තු උපදේශක සභාවේ දී අපේ චෝදනා මතු කළ හෙයිනි.

මෙවරත් පැවරී ඇත්තේ ඔවුනටය.
වරක් විභාග වංචාවක වැරදිකරු වූයේ ස්කෑන් යන්ත්‍රයකි.  (අනුර එදිරිසිංහ යුගයේ)
2003
අප හෙළි කළ විභාග වංචාව උසාවි ගියේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවක් නිකුත් වූයේ ද නැත.

ඒ විභාග වංචාව ගැන නිරීක්ෂණය කළ සේපාල් අමරසිංහ සිය කෘතියේ මෙසේ සඳහන් කරයි.
සොරකම යනු නුදුන් දෙයක් ගැනීමකි. එහෙත් 2003 උ.පෙ. සිංහල  ප්‍රශ්න පත්‍ර සොරකම නුදුන් දෙයක් ගැනීමක් නොවේ. දුන් දෙයක් ප්‍රතික්ෂේප නොකිරීමකි.

කාලයක් තිස්සේ මේ රටේ ආණ්ඩුවේ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම නම් වූ ක්‍රියාවලිය සිදුවී ඇත්තේ  කෙසේදැයි කිසිවෙක් සොයා බලා නැත. එය ඉතාමත් ශීඝ්‍රගාමී මෙන්ම නිර්මාණශීලී නොවන්නක් බව සොයා බලන්නෙකුට නිසැකවම වැටහේ

ආණ්ඩුවේ විභාගවලට ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීම යනු, පසුගිය ප්‍රශ්න    පත්‍රවල අනුපිළිවෙළ අංක වෙනස් කිරීම යැයි ප්‍රශ්න පත්‍ර සකසන්නන් සිතයි. ඔවුන් අදත් ඒ අලස කාර්යය ඒ හැටියෙන්ම කරමින් සිටී.
සේපාල් අමරසිංහ  අපූරු නිගමනයක් කරයි.

ඒ ශ්‍රී ලංකාවේ ටියුෂන් ගුරුවරු යනු ආණ්ඩුවේ ඒ විකාරූපී අසාධ්‍ය අධ්‍යාපන ක්‍රියාදාමය තම වාසියට හරවා ගත් ව්‍යාපාරික පිරිසක් බවටය

ඔහු තවදුරටත් සිය කෘතියේ මෙසේ සඳහන් කරයි.

සන්නස්ගල ප්‍රශ්න පත්‍රය සොරකම් කර ඇති බව මේ සියලු කරුණු සලකා බැලීමේ දී මට හැඟෙයි. එහෙත් ඒ කරුණ මතෛක් අපරාධ විද්‍යානුකූලව ඔප්පු කර නැත. එහෙයින් සන්නස්ගල හොරෙකැයි නම් කිරීමට මට අයිතියක් නැත.

එවැනි විද්‍යානුකූල පරීක්ෂණයක් කිරීමට තරම් නොහැකි ශ්‍රී ලංකාවේ නීතිය ගැන ඔහු අවසානයේ දී හඬ නගා සිනාසෙයි.

ද සිරිල් එ¾ෙඩ්රමුල්ල