Sunday, November 17, 2013

අපම බෙහෙත් හදා අපේ ලෙඩ සුව කරගන්නා අපේම ක්රෙමයක්‌ - සෞඛ්යප සේවා අධ්යකක්ෂh ජනරාල් විශේෂඥ වෛද්යය පාලිත මහීපාල

ඖෂධ යනු ආහාර තරමටම අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. නමුත් අහස උසට නැග ඇති ඖෂධවල මිලත් ඇතැම් ඖෂධ ගුණාත්මක බවින් හීනවීමත් අත්‍යවශ්‍ය ඇතැම් ඖෂධ පවා වෙළෙඳ පළේ හිඟ වීමත් නිසා රෝගීහු බොහෝ දෙනෙක්‌ අද බරපතළ ගැටලු රැසකට මුහුණ පා සිටිති.

මෙම ගැටලු විසඳීමට යෝජිත නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ බැරෑරුම් වගකීම දරන එක්‌ නියමුවෙකු වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. ඖෂධවල මිල පාලනයක්‌ ඇති කිරීම සහ ගුණාත්මක ඖෂධ ලබා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.

නිදහස්‌ සෞඛ්‍ය සේවාව අද බරපතළ ලෙස කතා බහට ලක්‌ වූ මාතෘකාවක්‌?

නිදහස්‌ සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කරන විට එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස්‌ කියන කාරණය අර්ථ ගැන්වෙන්නේ ඖෂධ නොමිලේ මහජනතාවට ලබා දීමෙනුයි. මේ සඳහා රජය වාර්ෂිකව අති විශාල මුදලක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙනවා. මේ වර්ෂයට ඒ සඳහා බිලියන 38 ක මුදලක්‌ ලබා දුන්නා. 2012 වසරේ ලබාදුන් මුදල බිලියන 25 යි. වසරින් වසර මේ ලබා දෙන මුදලත් වැඩිකර තිබෙනවා. මේ මුදල් යොදා ගැනෙන්නේ මහජනතාවට අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවා ගුණාත්මක භාවයෙන් සහ අඩු මිලට ලබා දීමටයි.

මේ කාරණය සංකීර්ණ ක්‍රියාවලියක්‌. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලැයිස්‌තු සකස්‌ කිරීමේ කමිටු තුළින් අවශ්‍ය ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගන්නවා. එසේම රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා රසායනාගාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්‌තුවක්‌ ලබා ගන්නවා. මේවා සාමාන්‍යයෙන් ඒකක නැතහොත් අයිටම් වශයෙන් ගත්තොත් 13000 ක්‌ පමණ වෙනවා. මේ වර්ෂයකට අවශ්‍ය ප්‍රමාණය. ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමට ආයතන 2 ක්‌ සම්බන්ධයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයත් රාජ්‍ය ඖෂධ සංස්‌ථාවත් ටෙන්ඩර් පටිපාටියකට අනුවයි මේ ක්‍රියාදාමය සිදු කරන්නේ.

ජනතාවට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා වර්තමානයේ අනුගමනය කරන ක්‍රමවේදය කුමක්‌ද?

1971
වසරේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ආරම්භ කළ අවස්‌ථාවේදීත් ඖෂධ ගෙන්වා ගත්තේ දේශීය නියෝජිතයින් හරහායි. නමුත් ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳෙව්වොත් ඊට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි සහ අඩු මිලට ඖෂධ ගෙන්වා ගැනීමට පුළුවන් කියන මතයක්‌ පසු කාලයේ ඇති වුණා. ඒ වැඩපිළිවළත් සේනක බිබිලේ මහාචාර්යතුමාම ආරම්භ කළා. අදත් ඖෂධ ගෙන්වන්නෙ ඒ ප්‍රතිපත්තිය මතමයි. ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවල විද්වත් කමිටුවක්‌ හරහා ඒ ටෙන්ඩර් පිළිබඳ තාක්‍ෂණික ඇගයීමක්‌ කරල එහි නිගමන අනුවයි ඖෂධ මිලදී ගැනීම තීරණය වෙන්නෙ.

දැන් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ඖෂධ ප්‍රතිපත්තිය තුළින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ දැන් පවතින ක්‍රියාදාමය වඩාත් විධිමත් හා කාර්යක්‍ෂම කිරීම සහ එහි පලදායිතාව වැඩිකිරීමයි නව ඖෂධ ප්‍රතිපත්තියේ අරමුණ. අදත් ඇතැම් අවස්‌ථාවලදී ඖෂධ ගෙන්වීමේදී යම් යම් ප්‍රමාද වීම් සිදු වෙනවා. විවිධ අවස්‌ථාවලදී ඖෂධ හිඟවීම් ඇති වී තිබෙනවා. ඒ තත්ත්වයන් තවදුරටත් අවම කිරීමට මේ නව ඖෂධ ප්‍රතිපත්තිය තුළින් බලාපොරොත්තු වෙනවා.

නව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළේ වර්තමාන තත්ත්වය කුමක්‌ද?

මේ ප්‍රතිපත්තිය නීති කෙටුම්පත් අංශයට යවල ඒ කාර්යාවලිය දැන් අවසන්. නීති කෙටුම්පත් අංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සම්බන්ධ කර ගෙන මේ වන විට සාකච්ඡා වට කිහිපයක්‌ම පවත්වා තිබෙනවා. දැන් එහි අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඉන් පසු අමාත්‍ය මණ්‌ඩලයේ අවසරය සහ පාර්ලිමේන්තු අවසරය ලබාගෙන එය ක්‍රියාත්මක කළ හැකියි.

නමුත් මේ නව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දිනෙන් දින කල් යන බවට චෝදනාවක්‌ තියෙනවා?

සාමාන්‍යයෙන් කාලය ගත වෙන්නෙ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරගන්න, ප්‍රතිපත්තිය අනුව පනත සකස්‌ කරන්න. අවශ්‍යතාවලට ගැලපෙන ලෙස සහ නෛතික වශයෙන් අවශ්‍ය ප්‍රතිපාදන සකස්‌ කරන්න වැනි කාරණාවලටයි. මෙහි ඒ කාර්යාවලිය දැන් අවසන්. ගරු අමාත්‍යතුමාත් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරල තියෙනවා. මම හිතනවා ඉතා ඉක්‌මනින් මේ නව ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකි වෙයි කියලා.

ඇතැම් ඖෂධ දැන් අපේ රටේම නිෂ්පාදනය කරන්න පියවර අරගෙන තිබෙනවා නේද? ඒ වැඩපිළිවෙළ පුළුල් කරන්න ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද?

මේ වන විට ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව අපේ රටට අවශ්‍ය ඖෂධ යම් ප්‍රමාණයක්‌ නිෂ්පාදනය කරනවා. එම වැඩ පිළිවෙළ පුළුල් කිරීම සඳහා ක්‍රියාදාමයක්‌ ආරම්භ කරල තියෙනවා. ඒ සඳහා ජපානය විශාල වශයෙන් ආධාර ලබාදී තිබෙනවා. මේ අනුව ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව නිෂ්පාදනය කරන ඖෂධවල ධාරිතාව වැඩි කිරීමට හැකිවේවි. ඒ වගේම ඖෂධ නිෂ්පාදනය කරන දේශීය නිෂ්පාදන සමාගම් දිරිමත් කිරීමටත් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාදාමයන් දෙක තුළින්ම වඩාත් ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධ පිළිබඳ විශ්වාසවන්ත භාවයකුත් අපට ඇති කරගන්න පුළුවන්. අපේම සමාගමක්‌ ඖෂධ නිෂ්පාදනය කරන විට විදේශ සමාගමකට වඩා අප සමග තිබෙන විශ්වාසය හා බැඳීමත් වගකීමත් වැඩියි.

ගුණාත්මක ඖෂධ පහසු මිලට ලබා ගැනීම සඳහා රටවල් කිහිපයක්‌ සමග මේ වන විට සාකච්ඡා ආරම්භ කරල තියෙනවා. අමාත්‍යතුමාගේද සහභාගිත්වයෙන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ බංගලාදේශය සමග මේ ක්‍රියාදාමය ආරම්භ කළා. ඉදිරි දින කිහිපය තුළ බංගලාදේශය සමග ගිවිසුමක්‌ අත්සන් කිරීමටත් නියමිතයි. මේ ගිවිසුම ඇති කරගත්තේ බංගලාදේශ රජය හා ශ්‍රී ලංකා රජය අතරෙයි. මේ අනුව අපට අවශ්‍ය වන ඖෂධ ගුණාත්මක භාවයෙන් සහ අඩු මිලට ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ රාශියක්‌ දැන් ආරම්භ වෙලා තිබෙනවා. මේ ගිවිසුම් ක්‍රියාත්මක වෙන්නෙ රාජ්‍යයන් අතර නිසා විශ්වාසවන්ත භාවය වඩාත් හොඳින් තහවුරු වෙනවා. මේ නිසා ඖෂධ මිලදී ගැනීමේ

අලුත් වෙනසක්‌ නුදුරු අනාගතයේ දීම සිදුවේවි.

අද මුළු ලෝකෙටම ඖෂධ නිපදවන්නේ බහු ජාතික සමාගම්. ඒ තුළින් ඔවුන් ඒකාධිකාරියක්‌ ගොඩනගාගෙන එය මාµsයාවක්‌ ලෙස ක්‍රියාත්මක වන බව අද කවුරුත් දන්නවා. බහු ජාතික ඖෂධ සමාගම් ඇති කර තිබෙන ඖෂධ මාµsයාවට මුහුණ දීම සඳහා ගෙන ඇති පියවර මොනවාද?

දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයට සහ මිලදී ගැනීමට වැඩි දායකත්වයක්‌ ඇති කිරීම එක ක්‍රියාදාමයක්‌. ඖෂධයේ ගුණාත්මක භාවයට සහ මිල පිළිබඳ ඒ තුළින් අපට ලොකු බලපෑමක්‌ කරන්න පුළුවන්. විදේශවලින් ඖෂධ ගෙන්වීමේදී රාජ්‍යයන් අතර ගිවිසුම් ඇති කර ගැනීමට ගත් තීරණය තවත් ක්‍රියාදාමයක්‌. ඒ රටවල කිසිදු සමාගමක්‌ සමග අපි ගනුදෙනු කරන්නේ නෑ. අපි ගිවිසුම් ඇති කර ගන්නේ රටක රාජ්‍යය සමගයි. ඒ අනුව වගකීම සහ වගවීම යන කාරණා දෙකම ඉහළ මට්‌ටමක තියා ගන්න පුළුවන්. තෙවැනි ක්‍රියාදාමය අපට අවශ්‍ය ඖෂධ හැකිතාක්‌ අපේ රට තුළම නිෂ්පාදනය කර ගැනීමයි. මා හිතන්නේ වැදගත්ම සහ සාර්ථකම වැඩපිළිවෙළ මෙයයි. ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාව මේ සඳහා විශාල කාර්යභාරයක්‌ ඉටු කරමින් සිටිනවා. පසුගිය වසර කිහිපය තුළ ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ක්‍රමයෙන් වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. මෙයට අමතරව ඖෂධ නිෂ්පාදනය කරන කලාප ඇති කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. මේ සියලු ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කරන අතරේ වෙළෙඳ අමාත්‍යාංශය සමග එක්‌ව අද වෙළෙඳ පළේ තිබෙන ඖෂධ සඳහා මිල පාලනයක්‌ ඇති කරන්නටත් පියවර රාශියක්‌ ගෙන තිබෙනවා. මේ සඳහා වෙළෙඳ අමාත්‍යාංශයත් පාරිභෝගික සේවා අධිකාරියත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා තිබෙනවා. ඉතාමත් කෙටි කාලයක්‌ තුළ ඖෂධවලට මිල පාලනයක්‌ ඇති කරනවා. ඖෂධවලින් දැවැන්ත ලෙස මුදල් උපයන මාµsයා ක්‍රමය අපි නැති කරනවා.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ වෙනුවෙන් පෙනී සිටි සේනක බිබිලේ මහාචාර්යතුමාට රට හැරයැමට සිදුවුණා පමණක්‌ නොවෙයි විදේශයකදී ඔහුට ජීවිතයෙන් සමුගන්නටත් සිදු වුණා. බහු ජාතික සමාගම්වල ඖෂධ මාµsයාව පමණක්‌ නොවෙයි අද ඒ මාµsයාවට උදව් දෙන මුදලට යට වූ දූෂිත නිලධාරීන් පිරිසකුත් ඉන්නවා නේද?

ඕනෑම රටක සත්කාරක සේවාවක්‌ ආරම්භ කරන්න ලේසි නෑ. සත්‍යවාදී වීම පහසු නෑ. ගඟක්‌ දිගේ පහළට යන එක ලේසියි. උඩුගං බලා පිහිනීම දුෂ්කරයි. නමුත් මානව සමාජයේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු කාර්යයකදී ඒ වෙනුවෙන් කැපවීම මා දකින්නේ යුතුකමක්‌ හා වගකීමක්‌ හැටියටයි. මා හිතන්නේ ජනාධිපතිතුමාගේ දර්ශනයත් මෙයයි. සෞඛ්‍ය අමාත්‍යතුමාත් මේ කාරණයට මුල පුරල තියෙනවා. කවර අභියෝග බාධක මැද වුවත් ඒ සඳහා මමත් කැප වී සිටිනවා.

*
සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2013/11/17/feature17.html