Saturday, March 3, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 13 දා සිට අඛණ්‌ඩ වර්ජනයේ

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන රජයේ රෝහල්වල සේවය කරනු ලබන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් මෙම මස 13 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි. පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී.), භෞතවේද චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් මෙම අඛණ්‌ඩ වැඩවර්ජනයට සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

2001 වසරින් පසු වැඩි කර නොමැති පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ දීමනා වැඩි කිරීම ප්‍රමාද වෙමින් පවතින පළමුවැනි හා විශේෂ ශ්‍රේණිවල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ උසස්‌වීම් ක්‍රියාත්මක කිරීම, රැකියා විරහිත පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් 350 දෙනකු රජයේ සේවයට බඳවා ගැනීම ඇතුළු සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය. මෙම වර්ජනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම 8 වැනිදා පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ නියෝජිත සමුළුවක්‌ කොළඹදී පැවැත්වේ.

සිය සේවා ඉල්ලීම් සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ මෙන්ම මහා භාණ්‌ඩාගාරය හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම සමඟ ද පසුගිය කාලයේ සාකච්ඡා පැවතිය ද ඒවායින් ප්‍රතිඵල අත්නොවීම නිසා මෙම වර්ජනය කරා යොමුවන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Divaina 2012.03.03

No comments:

Post a Comment