Saturday, December 28, 2013

ඇත්තටම උපත් පාලන එන්නත විෂ වුනාද


දින 45ක දරුවෙකුත් ඉන්නවා

මේරි නිරෝෂණි සහ දිනේෂ් කුමාර අල්මේදා දෙමාපිය ආශිර්වාදය මැද අතිනත ගත්තේ මෙම වසරේ ජනවාරි මාසයේය. දුක සැප එකසේ බෙදාගෙන පවුල් ජීවිතය ගත කළ මේ පුංචි කැදැල්ලට සිඟිති දියණියක්‌ ලැබුණේ පසුගිය මාසයේදීය.

අලුත උපන් සිඟිති දියණිය සමග දිනේෂ් සහ මේරි සතුටුදායක පවුල් ජීවිතයක්‌ ගතකරමින් සිටියේය.

තම සිඟිති දියණියගේ කණ විඳීම සඳහා මේරි දිනයක්‌ නියම කරගෙන සිටියාය. එදින තම මව වන රීටා සෙල්වරාණි සමග ඇය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයට ගියේ තම සිඟිති දියණියගේ කණ විදීම සඳහාය. එම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගියේ කල්පිටිය දිසා රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසිනි.

සිඟිති දියණියගේ කන විදගත් නිරෝෂණි තම මව තුරුළට ළමයා දී නැවතත් දොස්‌තර මහතා වෙත ගියේ මාස තුනක්‌ යනකන් දරුවකු පිළිසිඳ ගැනීම වළක්‌වන පවුල් සැලසුම් එන්නතක්‌ විද ගැනීම සඳහාය.

නිරෝෂණි පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඇයට සුදුසු පවුල් සැලසුම් එන්නතක්‌ ශරීරගත කළේය. එය විදගෙන එළියට එනවාත් සමඟ නිරෝෂණිගේ ගතට අමුත්තක්‌ දැනුණි. තම මුළු ශරීරයම වෙව්ලා යන ගතියක්‌ ඇයට දැනුණාය. මේ බව තම මවට කියනවාත් සමඟ ඇය සිහිමුර්ඡා වී වැටුණාය.

මේ කිසිවක්‌ නොදත් මේරිගේ මව සෙල්වරාණි භීතියට පත්ව කෑමොර දුන්නාය. එම කෑගැසීම ඇසුණ වෛද්‍යවරයා ද ක්‍ෂණයෙන් එළියට පැමිණියේය.

ස්‌වල්ප මොහොතකට පෙර තමා විසින් බෙහෙත් එන්නත විදි කාන්තාව බිම වැටී සිටිනු දුටු වෛද්‍යවරයා ද තුෂ්ණිම්භූත විය. වහාම රෝගියා පරීක්‍ෂා කළ වෛද්‍යවරයාට තත්ත්වය එතරම් යහපත් නැති බව වැටහුණි. එම එන්නත ලබාගැනීමෙන් පසු කිසියම් අසාත්මිකතාවකට ඇය පත් වී රෝගී වී ඇති බව ඔහු අවබෝධ කරගත්තේය.

එම අවස්‌ථාවේදීම වෛද්‍යවරයා තම පුද්ගලික මෝටර් රථයේ රෝගියා දමාගෙන කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත්තේය. එහිදී දැඩි ලෙස අසාධ්‍ය වූ ඇය එසැණින්ම පුත්තලම මූලික රෝහලට මාරු කර යෑවීය. එදින රාත්‍රි එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අවසන් හුස්‌ම හෙළුවාය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය මෙම එක්‌ දරු තරුණ මවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ හලාවත දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ඉලංගරත්න බණ්‌ඩා මහතා සඳහන් කළේ මෙම මරණය පිළිබඳ විවෘත තීන්දුවක්‌ දෙමින් සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා තව දුරටත් පරීක්‍ෂා කර වාර්තාවක්‌ ලබා ගන්නා බවය.

මෙම මියගිය කාන්තාවට එන්නත් කළ පවුල් සැලසුම් එන්නත ගැන ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරියකුගෙන් විමසූවිට ඔහු මෙසේ පැවසීය.

රජයේ රෝහල්වල භාවිත කරන පවුල් සැලසුම් එන්නත් තහනම් කර නොමැති බවත් දැනට තහනම් කර ඇත්තේ පෞද්ගලික රෝහල්වල භාවිත කරන ඩිපොටෝන් නමැති එන්නත බවත්ය. පෞද්ගලික අංශයේ භාවිත කරන වෙනත් වෙළෙඳ නාම යටතේ පවතින පවුල් සැලසුම් එන්නත්වල කිසිදු ගැටලුවක්‌ නොමැති බවද ඔහු පැවසීය.

මෙම එන්නත තායිලන්තයේ නිෂ්පාදිත එකක්‌ වන අතර එම එන්නත පිළිබඳව මෙරට හා විදේශීය රසායනාගාර තුළ පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරගෙන ඇති බවටත් ඒ සඳහා යන මුදල් එම එන්නත නිෂ්පාදිත සමාගමෙන් ලබා ගැනීමටත් කටයුතු යොදා ඇති බවද ඔහු පැවසීය.

වැඩි දුරටත් අදහස්‌ දක්‌වමින් ඔහු ප්‍රකාශ කළේ මෙම එන්නත ලබාගන්නා මව්වරුන්ගෙන් මිලියන දෙකකින් එක්‌ අයකුට මෙවැනි තදබල අසාත්මිකතාවක්‌ ඇති විය හැකි බවය.

කොතනක හෝ සිදුවූ වරදකින් දැන් සැමියකුට දයාබර බිරිඳක්‌ ද කිරිකැටි බිලිඳියකට මවක්‌ ද නෑදැ හිත මිතුරන්ට දයාබර සොහොයුරියක ද අහිමි වී ඇත. යළි කා හටවත් ඇයට ජීවිතය ලබාදිය නොහැකිය. දැන් කළ හැක්‌කේ එකම දෙයකි. ඒ මෙම සිද්ධිය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා සුදුස්‌සාට නිසි දඬුවම් දීමය. එවිට නැවත මෙවැනි අවාසනාවන්ත සිද්ධි අපට අසන්නට නොලැබෙනු ඇත.

ගයාන් සමරසිංහ
 


බදුරලිය රෝහල ලෙඩ ගොඩක්‌ - ලෙඩ්ඩු පැත්තකට දමා රෝහලට ඉබි යතුරු දමයි


 මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළ පාර්ලි මේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, වලල් ලාවිට ප්‍රා. සභාවේ විපක්‍ෂ නායක දිලිප් පිටිගල


දහස්‌ ගණනක්‌ රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර කරනු ලබන රජයේ රෝහල් බොහෝ විට දිගු පිං බෙහෙත් පෝළිම්වලින් යුතු ජනතාවගෙන් පිරී පවතින අතර රෝහල් වාට්‌ටු තුළ නේවාසික රෝගීන් පමණටත් වඩා වැඩි පිරිසකගෙන් සමන්විත බැවින් ප්‍රතිකාර ලබා ගැනීමේදී කැසිකිළි වැසිකිළි පහසුකම් ලබා ගැනීමේදී පවා ඇත්තේ තරගකාරී බවකි.

පසුගිය 21 වැනිදා තුරුම රජයට අයිති දුප්පත් ග්‍රාමීය රෝහලක්‌ වූ බදුරලිය රෝහල ද ඉහත සඳහන් කළ ආකාරයේ සිරියක්‌ ඉසිලූ අතර හදිසියේම එම රෝහල සිල්ලර කඩයක්‌ වසනවා සේ ඉබි යතුරු දැමීමට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා හෙවත් ගම්මුන් පවසන ආකාරයට ලොකු දොස්‌තර මහත්තයා තීරණය කිරීමෙන් අනතුරුව 25 දා වන විටත් රෝහල තුළත්, ඉන් පිටතත් දක්‌නට ලැබුණේ පාළුවට ගිය ස්‌වභාවයකි.

වැඩ වර්ජන සඳහා කප් ගසා ඇති සෞඛ්‍ය සේවය මෙවර බදුරලියෙන් තමන්ගේ සුපුරුදු තර්ජනය වන වැඩ වර්ජනය ආරම්භ කරන්නේ අමුතුම ආකාරයකට වන අතර එහිදී ඔවුන් 'සිස්‌ටම්' එක වෙනස්‌ කර ගත්තේය. එනම් වර්ජනයට පෙර නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් කොටසක්‌ 'ටිකට්‌' කපා ගෙදර යවන අතර ඉතිරි රෝගීන් වෙනත් රෝහල් කරා මාරු කර යවන්නේය. ඉන් අනතුරුව රෝහල් භූමියට ඉබි යතුරු දමන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලය තම තමන්ගේ ගෙවල්වලට යන්නේය.

තමන්ට මරණ තර්ජන ඇති බැවින් 'හරය' නොනසා 'ක්‍රමය' පමණක්‌ වෙනස්‌ කොට ලොකු දොස්‌තර මහත්තයා ගත් මෙම තීරණය හේතුවෙන් පසුගිය 25 දා වන විට දින හතරක්‌ මුළුල්ලේ රෝහල් පරිපාලනය මුළුමනින් ම බිඳ වැටී ඇති අතර, ඒ වන විට රෝගීන්ගෙන් හිස්‌ව තිබූ රෝහල් බිමේ දක්‌නට ලැබුණේ රෝහලේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ තැන්තැන්වල සිටිනවා පමණි.

පහසුවෙන් විස¹ ගැනීමට හෝ එසේ නැතිනම් නීතිය ඉදිරියට ගොස්‌ හෝ විස¹ ගැනීමට හැකියාව තිබූ දෙපාර්ශ්වයක්‌ අතර හටගත් සිදුවීමක්‌ මේ වන විට අර්බුද රැසක්‌ බිහිකිරීමට සමත්ව ඇති අතර ඒ හේතුවෙන් 'බදුරලිය' පසුගියදා වන විට රටේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්ව තිබිණි.

විශේෂයෙන් බදුරලිය ඇතුළු අවට ජනතාවගේ සෞඛ්‍යයට මෙමගින් අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර මේ දුරුත්තේ පවතින අධික සීතල හේතුවෙන් බහුලව වැළඳෙන උණට හෙම්බිරිස්‌සාවට නොමිලේ බෙහෙත් ටිකක්‌ ගැනීමට තිබූ ගමේ ඉස්‌පිරිතාලය හදිසියේ වසා දැමීමට ලොකු දොස්‌තර මහත්තයා ගත් තීරණය ගැන හුඟදෙනෙක්‌ පසුවන්නේ දැඩි කනස්‌සලු සහගත සිතිනි.

රෝහලක්‌ නොව පශු වෛද්‍ය කාර්යාලයක්‌වත් හිතෙන හිතෙන වෙලාවට වසා දැමීමට එහි භාරකාරත්වයට 'අමුතු බලයක්‌' නැති වටපිටාවක බදුරලිය රෝහල වසා දැමීමේ කථාවේ ප්‍රධාන චරිත කිහිපයක්‌ හමුවන අතර එක්‌ චරිතයක්‌ වන්නේ විශ්‍රාමික රජයේ නිලධාරියකු වන බදුරලිය කඹුරාවල පදිංචිව සිටි 74 හැවිරිදි තිලක්‌ ප්‍රසාද් ජිනසේන හෙවත් ප්‍රදේශයේ කවුරුත් දන්නා පරිදි ධනපාල මහතාය.

පසුගිය 25 දා වන විට ඔහු මියගොස්‌ දින 07 ක්‌ ගත වී ඇති අතර සිදුවීම පෙළගැසෙන්නේ මේ ආකාරයටය.

පසුගිය 17 දා මැදියම් රැයට ආසන්නව පැවැති මොහොතක ධනපාල මහතාට තරමක හුස්‌ම ගැනීමේ අපහසුවක්‌ ඇති වන අතර, ඔහු තම පුත්‍රයා වන කෞෂල්‍ය රන්දිම සහ තවත් පුද්ගලයකු සමඟ නිවසට තරමක්‌ ආසන්නයේ ඇති බදුරලිය රෝහල වෙත පිටත්ව යන්නේ හැකි ඉක්‌මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවපත් වීමේ අටියෙනි. ඔහු කඩිනමින් රෝහල්ගත වන්නට ඇත්තේ රෝහලින් මෝචරියටත්, මෝචරියෙන් මල් ශාලාවටත්, එතැන් සිට වෙනත් පිරිසකගේ කර මතින් නැවත නිවසට පැමිණීමේ අසුබවාදී සිතුවිල්ලෙන් නොවන්නට පුළුවන. ගෙවෙමින් තිබුණේ ඔහුගේ ජීවිතයේ අවසාන හෝරා කීපය වුවද, ජීවිත ආශාව ඔහු තුළ ද තිබෙන්නට ඇත. එහෙත් ඒ වන විට රෝහලේ රාත්‍රි වැඩ මුරය අත්සන් කළ රෝහල් කාර්ය මණ්‌ඩලයේ කිසිවෙක්‌ දක්‌නට නොලැබී ඇති අතර පසුව පැමිණි රෝහල් සේවකයකුගෙන් ධනපාල මහතාගේ පුතා වන කෞෂල්‍ය රන්දිම තම තාත්තා පත්ව ඇති තත්ත්වය පිළිබඳ තවදුරටත් බලා

සිටිය නොහැකි තැන, විමසා ඇත්තේ කෝ දොස්‌තර මහත්වරු නැද්ද? යනුවෙන් ය. මහත්තයා බංගලාවේ බවත්, ඔහුව රැගෙන ඒමට තමන් පිටත්ව යන බවත් පවසා අති රෝහල් සේවකයා පිටව ගොස්‌ විනාඩි හතළිහකට පමණ පසුව වෛද්‍ය වරයා පැමිණ ඇති අතර එහිදී රන්දිම විමසා ඇත්තේ "තාත්තට අමාරුයි ඇයි මෙච්චර ප්‍රමාද?" යනුවෙනි.

එතැන් සිට කතාබහ තරමක්‌ දුරදිග ගොස්‌ ඇති අතර සිදුවීම සම්බන්ධව රන්දිම පවසා සිටියේ මෙබන්දකි.

"
ඒ වන විට තාත්තාට තරමක්‌ අමාරුයි. වෛද්‍යවරයා තාත්තට ප්‍රතිකාර කිරීම පැත්තකින් තියල මම කලබලකාරීව හැසුරුණා කියල පොලිසියෙන් ගෙන්නුවා. රාළහාමි කෙනෙක්‌ තාත්ත ඉදිරියෙම මට පාරක්‌ ගහල මාව පොලිසියට ගෙනිච්ච. ඒක තාත්තා දැක්‌ක. ටික වෙලාවකින් අරක්‌කු බීලද කියලා බලන්න ආපහු සැරයක්‌ රෝහලට රැගෙන ගියා. එහිදී කිසිම පරීක්‍ෂණයකින් තොරව මම බීමත්ව පසුවන බවට ගැටුමට සම්බන්ධ වෛද්‍යවරයා විසින් ම නිගමනය කළා. ආපහු පොලිසියට ගෙනාව. පහුවදා මගේ නෝන ඇවිත් ඇප තියල තමයි නිදහස්‌ කළේ.

එදා රෑ තාත්තට හොඳටම අමාරු වුණාට පස්‌සෙ නාගොඩට යවල තියෙනවා. පහුවදා නාගොඩදී තාත්ත නැති වුණා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තාත්තට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර බදුරලිය රෝහලෙන් ඉටු වුණේ නැහැ. එහෙම වුණා නම් තාත්තගේ මරණයවත් පොලිසියෙන් මට ගුටිකන්නවත්

සිද්ධ වෙන්නෙ නෑ. දැන් තාත්තා අපිට අහිමි වුණා. මට ගැටලුව තියෙන්නේ සමස්‌ත සෞඛ්‍ය සේවය එක්‌කවත්, පොලිසිය එක්‌කවත් නෙවෙයි. ගැටුමට අදාළ පුද්ගලයා සමඟ පමණයි. මම ඉල්ලන්නේ මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ කරල අවශ්‍ය තීන්දු ගන්න කියලා පමණයි.

තාත්තාගේ අවසන් කටයුතු කළේ පසුගිය 21 වැනිදා. අපි තාත්තාගේ මිනිය රෝහල ඉදිරිපිට තබාගෙන උද්ඝෝෂණය කළා කියල එක්‌තරා මාධ්‍යයක්‌ මගින් ප්‍රචාරය කළා. ඒක බොරුවක්‌. එදා අවසන් කටයුතුවලට පෙර වෛද්‍යවරයාට එරෙහිව බදුරලියේ විරෝධතාවක යෙදිල තියෙනවා. ඒක කරල තියෙන්නේ ගම්වාසීන් හා ඥාතීන්. අපි හිටියෙ නෑ. රෝහලේ මල් පැළයකටවත් කවුරුවත් හානි කරලා නෑ. බොරු චෝදනා නඟල තමයි රෝහල වහල තියෙන්නේ.

ඉහත දැක්‌වූ කාරණා ඉදිරිපත් කරන්නේ මරණයට පත් වූ රෝගියාගේ පාර්ශ්වයෙන් වන අතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ රෝහල් පාර්ශ්වය ද වෙනත් අදහසක්‌ දරනවා වන්නට ඇත. ඔවුන්ගේ අදහස්‌ දැන ගැනීම සඳහා පසුගිය 25 දා වන විටත් වගකිවයුතු නිලධාරියෙකු රෝහලේ නොසිටි අතර, එදින වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්‌ඩලය නැවත සේවයට වාර්තා කොට තිබූ අතර, සිදුවීම සම්බන්ධව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රකාශකයෙක්‌ කියා තිබුණේ රෝහලේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි පිළිතුරක්‌ ලබා දෙන තුරු වෛද්‍යවරු සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බවත් ය.

දින ගණනාවක්‌ තිස්‌සේ රෝහල වසා තැබීමට විරෝධය පා 25 දා උදැසන බදුරලිය නගර මධ්‍යයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විරෝධතාවක්‌ සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) පාලිත තෙවරප්පෙරුම මහතාද එක්‌ව සිටි අතර එහිදී මේ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ තෙවරප්පෙරුම මහතා,

මෙතැන කිsසිම දේශපාලනයක්‌ නෑ. මේ ප්‍රදේශයේ අහිංසක මිනිසුන්ගේ රෝහල හිතුවක්‌කාරි ලෙස වසා තිබීම බරපතළ වරදක්‌. පාපයක්‌. මෙයට අදාළ බලධාරීන් වහාම විසඳුම් ලබාදිය යුතුයි. වෙනත් කාර්ය මණ්‌ඩලයක්‌ යටතේ හෝ රෝහලේ රාජකාරි කළ යුතුයි. එසේ නොවුණොත් මන්ත්‍රීකම පැත්තක තියල මාරාන්තික උපවාසයක්‌ අරඹන්න මම ඇතුළු කීපදෙනෙක්‌ සූදානම්. අහිංසක ජනතාව වෙනුවෙන් මම ඒ දේ කරනවා.

ප්‍රදේශවාසියකු වන සුනිල් මහතා - මේ කරන්නේ මහා අපරාධයක්‌. මේක අපේ රෝහල. ගමේ රෝහල. මේ වෛද්‍යවරයාගේ හිතුවක්‌කාර තීරණවලින් පීඩා විඳින්නේ අපියි. මීට පෙරත් හය හත් වතාවක්‌ යම් යම් වැරදි සිදු කළ පුද්ගලයෙක්‌ මේ වෛද්‍යවරයා. ප්‍රදේශවාසීන් ඒක දන්නව. ඒ කිසි දෙයක්‌ ගැන මේ වනතුරුත් පරීක්‍ෂණ නෑ. ඒ හින්ද මේවට විසඳුම් ලබා දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් බදුරලිය රෝහල දින හතරක්‌ තිස්‌සේ වසා තැබීමට ආසන්නම හේතුව ලෙස 21 දා පැවැත්වූ විරෝධතාව ගෙන හැරපාන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සහ කාර්ය මණ්‌ඩලය සෞඛ්‍ය සේවාවේ උසස්‌ නිලධාරීන්ගේ උපදෙස්‌ ඇතුව හෝ නැතුව මේ රඟ දක්‌වමින් තිබෙන නාටකයෙන් නරක පූර්වාදර්ශ රැසක්‌ මේ වන විටත් සමාජයට මුදාහැර අවසන් ය. එයට විසඳුම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද කරමින් මේ වනතුරුත් පළාත් සෞඛ්‍ය බලධාරීන් නින්දේ ය.

දෙපාර්ශ්වයක්‌ අතර හටගත් බහින්බස්‌වීමත්, ඉන් දින කීපයකට පසුව සිදු කළ උද්ඝෝෂණයත්a රෝහලක්‌ වසා දැමීමට තරම් බරපතළ කාරණයක්‌ වන්නේ නම් එය ඉදිරියේදී රටේම සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක පෙර නිමිති වන්නට ද පුළුවන.

රෝගී තත්ත්වයට පත් කවරෙකු හෝ වේවා, හැකි ඉක්‌මනින් රෝහල්ගත කරනු ලබන්නේ ඔහුට හෝ ඇයට ශාන්ත සුන්දර මරණයක්‌ අත්කර දීම පිණිස නොවන බව සැබෑවක්‌ මුත් 'මරණය' යන වචනය ද සනාථන දහමකි. එය එදත් අදත් හෙටත් නොවෙනස්‌ව පවතින්නකි. වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්‌ඩලය පැය 24 පුරා ඇස්‌පිය නොගසා රෝහල්වලට වී රෝගීන් පැමිණෙන තුරු පෙරමඟ බලා සිටියත්,

රැගෙන ආ ආයුෂ හමාර වූ පසු 'නික්‌මයැම' සත්‍යයක්‌ බව අප දකින අදහන ආගම්වල පවා සඳහන්ව ඇත.

එය තවදුරටත් සැබෑවක්‌ බව පෙන්වීම පිණිස කුමන පහසුකම්, වෛද්‍යවරුන්ගෙන් සමන්විත රෝහලක වුවත් ඒ සෑම රෝහලකම අයිනකට වෙන්නට මෝචරියක්‌ ද ඉදිකොට ඇත.

එහෙත් ගැටලුව වන්නේ සුළු අසනීපයකට පවා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියකු වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදයෙන් හෝ පරිපාලනයේ පවතින වෙනත් ප්‍රමාදයකින් හෝ 'අකාලයේ' මෝචරියට යන්න වේ නම් ඒ සම්බන්ධවය.

පසුගියදා බදුරලියේ සිදුවීමත් ඉන් හට ගෙන ඇති අතුරු ප්‍රතිඵලයත් මේ දෙකින් කුමන ආකාරයේ මරණයක්‌ සම්බන්ධ හටගත් ගැටලුවක්‌ තුළින් මතුවූවක්‌ දැයි දැන ගැනීමට මේ වන විට රටම විමසිල්ලෙන් පසුවන අතර 'බදුරලිය සිදුවීම' බදුරලියෙන්ම අවසන් කොට වසා දමා ඇති රජයේ රෝහල නැවතත් ජනතාව වෙත විවෘත කර දීමේ උනන්දුව හැකි ඉක්‌මනින් අදාළ බලධාරීන් විසින් නොගන්නේ නම්, 25 දා බදුරලියේ සටන් පාඨවලින් කියෑවුණ රටේ සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම මෝචරියට යන දවස වැඩි ඈතක නොවනු ඇත.

රුවන් ජයවර්ධන