(වෘත්තීය සමිති සහ) මී කතුර
ලස්සන පුංචි කතාවක් කියනවා, අහන්නකො.
එක ගෙදරකට ඒ ගෙදර නිවැසියා (ගමරාළ) මී කතුරක් ගෙනාවලු. ඒක දැකල එක මීයෙක් හොඳටම බයවෙලා දුවල ගිහින් ගෙදර බල්ලට ඒ ගැන කිව්වලු. “අනේ රාළේ..... ඒක උඹේ ප්‍රශ්නයක්. උඹ ප්‍රවේසම් වෙයං...... මට මී කතුරු වලින් වැඩක් නෑ.... මට හොරුන් ගැන බලන්න තියෙනවා” කියල බල්ලා කිව්වලු.
මීයා මී කතුරේ ගැටලුව ගැන තාරාවුන්ට කිව්වලු. “ අනේ අපි මොනා කරන්නද..... අපි උඹ වෙනුවෙන් දෙවියන්ට යාඤා කරන්නං.... වෙන නං කරන්න දෙයක් නෑ.....” කියල තාරාවො කිව්වලු.
කුකුලනුටත් මී කතුර ගැන සැල කලාම “අනේ අපිට මේ හෝතඹුවන්ගෙන් තර්ඡන තියෙද්දි උඹ අපිට මේ මී කතුරු ගැන කියනවා....අනේ පලයං යන්න” කියල පිලිතුරු දුන්නලු.
මීයා ඊලඟට ගෙදර ගවයා ළඟට ගිහින් කිව්වලු මී කතුරේ අනතුරුදායක තර්ඡනය ගැන. ගවයා හිනාවුනාලු..... “ මී කතුර උඹට ලොකු වුණාට අපිට ඕක ගානක්වත් නෑ. ඕකට අහුවෙන්න අපි ගේ ඇතුළට යනවයැ...... ඇරත් හරකෙක්ව නවදද බං මී කතුරකින් ඇල්ලුවෙ.... මී කතුරු තියෙන්නෙ මීයො අල්ලන්න. හරක් අහුවෙන්නෙ නෑ..... ඒ හින්ද උඹ ප්‍රවේසම් වෙයං...... ඒක අපේ ප්‍රශ්නයක් නෙමේ....”
ගවයාගෙන් සමච්චල් පිළිතුරක් ලැබුණු මීයා බොහොම බයෙන් හිටියලු ගෙයි මුල්ලකට වෙලා. මී කතුර ගැන කියනවා ඇහුණු බළලා මීයා ළඟට ගිහින් මෙහෙම කිව්වලු.
“ මී රාළේ...... අපිව හතුරො විදියට හිතන්න ඕන නෑ...... තමන්ව ආරක්ෂා කරන්න මං පොරොන්දු වෙනවා. මී කතුර ගෙනාපු එක හොඳයි..... හොඳ කරවල චීස් වගේ දේවල් ලේසියෙන්ම කන්න පුළුවන්නෙ..... මම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.... බය නැතුව ගිහින් මී කතුරෙ තියෙන චීස් කරවල එහෙම කන්න......”කියල සමහර දේශපාලකයො වගේ බළල මීයාට කියල තියෙන්නෙ කපටිකමට. “මට මුන්ව අල්ලන්න පස්සෙන් දුවන්න ඕන නෑ.... මී කතුරට අහුවුනාම ලේසියෙන්ම ගොදුරක්නෙ....” බළලා යටි හිතින් හිතුවලු.
කොහොම හරි එදා රෑ මී කතුරට යමක් අහුවුණු සද්දෙ ඇහිල ගෙදර ගම හාමිනේ අන්ධකාරෙම මී කතුරට ළංවුණාලු. ඒකට අහුවෙලා තියෙන්නෙ මීයෙක් නෙමේ සර්පයෙක්. ඌ ඇයට දෂ්ට කරල.
ගමරාළ ගම මහගෙව ඉස්පිරිතාලෙට ගෙන ගිහින් දවස් කීපයක් ප්‍රතිකාර කළාලු. හොඳ පෝෂ්‍යදායී ආහාර දෙන්න කියලවෛද්‍යවරයා නියම කරල. ගමරාළ ගෙදර හිටපු කුකුල්ලු, තාරාවො එක එකා මරල ගම මහගෙට කෑමට දුන්නලු. ඒත් සුවවෙලා නැහැ. ඇය මිය ගිහින්. ඇගේ මළගම වෙනුවෙන් දීපු දානෙට ගමරාළ ගෙදර ගවයව මරල මස් කළාලු.
ගමරාළ ගෙදර බළලාව අල්ලල බැඳල ගහල මල්ලක දාගෙන අරගෙන ගිහින් ඈත කැලේකට දැම්මලු. “ තෝ මීයො අල්ලපු නැතිනිසා තමයි මී කතුරක් ගේන්න වුණේ” කියල ගමරාළ බළලට දෙස් තිබ්බලු.
මේ කතාවෙන් අපිට පණිවුඩයක් ලැබෙනවා. අනික් අයගෙ ප්‍රශ්න අපිට බලපාන්නේ නෑ කියල අපි නිදහස් වුණාට ඒක හැම විටම එහෙම වෙන්නෙ නෑ. සමාඡයෙ එක කොටසකට බලපාන ප්‍රශ්නයක් කවදහරි කැරකිලා අපිටත් තදබල විදියට බලපාන ලොකු ගැටලුවක් හිරිහැරයක් වෙන්න බැරි කමක් නෑ.
කතාව උපුටා ගැනීම -2011 ඔක්තෝබර් මස 09 ඉරිදා ලක්බිම 38 පිටුව අත්වැල- මයිකල් ආන්ඡලෝ
No comments:
Post a Comment