Saturday, October 1, 2011

පෞද්ගලික උපස්‌ථාන සේවාව හොර මගඩියක්‌ද..!



රජයේ රෝහල් අවට මෑතක සිට පෞද්ගලික උපස්‌ථායක සේවා මධ්‍යස්‌ථාන සුලභව දැකගත හැකිය. විශේෂයෙන් කොළඹ ජාතික රෝහල අවට මෙන්ම ශික්‍ෂණ රෝහල් මහ රෝහල් අවට මෙකී උපස්‌ථායක සේවා ආයතන බිහිවී ඇත්තේ හතු පිපෙන්නාක්‌ මෙනි. රෝහල්ගතව සිටින රෝගියකුට උපස්‌ථාන කිරීම සඳහා සේවා ආයතනයකට මුදල් ගෙවා එම සේවාව ලබා ගැනීමට වර්තමානයේ අපේ ඇත්තෝද පුරුදුව සිටිති.
විශේෂයෙන්ම මෙම පෞද්ගලික සාත්තු සේවා මධ්‍යස්‌ථාන බිහිවන්නේ අසාධ්‍ය හා දුබල වූ රෝගීන්ට උපස්‌ථාන කිරීමේ අරමුණින්ය. වර්තමානයේ මෙකී සේවා ආයතන මුදල් ඉපයීමේ ජාවාරමක්‌ බවට එම ආයතන හිමියන් විසින් පත්කරගෙන ඇත. සමාජයේ පවතින සංකීර්ණ හා කාර්යබහුලත්වය මෙන්ම විවිධ වූ ගැටලු නිසා මෙකී සේවා ආයතනවල පිහිට පැතීමට අපේ ඇත්තන්ටද සිදුවී තිබේ.
කල දුටු කළ වළ ඉහගන්නාක්‌ මෙන් ඇතැම් උපස්‌ථායක සේවා මධ්‍යස්‌ථාන වලින් අය කරන්නේ ගිනි ගණන්ය. නිශ්චිත ගාස්‌තුවක්‌ නොමැති අතර හිතූ හිතූ ආකාරයට එම ආයතන මුදල් අය කරති. වර්තමානයේ බොහෝ සේවාවන් කෙරෙන්නේ මුදලටය. ඒ පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙනි. සැබවින්ම වත්මන් සමාජයේ සෑම දෙයක්‌ම විකිණෙන්නේ මුදලටය. අද අසරණ වූ රෝගියකුට උවටැන් කිරීමද මුදලට විකිණී ඇත්තේය. ඇතැම් අවස්‌ථාවලදී තම ඥතියකු රෝහල් ගතව සිටින විටිදී ඔහුට උපස්‌ථාන කිරීමට පවුලේ අයට නොහැකිය. රෝගියා වෙනුවෙන් පැය විසිහතර පුරාම පවුලේ අයට කැපකිරීමට අපහසුය.
මේ නිසා අත මිට සරු ජන කොටස්‌වලට පමණක්‌ නොව සමාජයේ ආර්ථික වශයෙන් පීඩා විඳින අතිබහුතරයකටද අකමැත්තෙන් වුවද මෙකී පෞද්ගලික උපස්‌ථායක සේවා ආයතනවල සෙවණ සෙවීමට සිදුවී ඇත්තේය. සෞඛ්‍ය සේවයෙහි ඇති ඉල්ලුම වර්ධනය වීමත් සමඟ අවශ්‍ය සේවා පහසුකම් සැපයීමට රාජ්‍ය අංශයට පමණක්‌ නොහැකිවී ඇත. විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග සෞඛ්‍ය සේවාවේ රාජ්‍ය අංශයට පමණක්‌ පිරවිය නොහැකි එම හිඩැස නැතහොත් සැපයුම පිරවීමට සිදුව ඇත්තේ පෞද්ගලික අංශයටය.
මේ නිසා රෝහල්ගතව සිටින රෝගියකුට ඇතැම් අවස්‌ථාවලදී පිහිට පැතීමට සිදුවී ඇත්තේ පෞද්ගලික උපස්‌ථායක සේවා ආයතන වලින් පමණක්‌ නොවේ. අවශ්‍ය බෙහෙත් හේත් මෙන්ම විවිධ වූ පරීක්‍ෂණ මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් කරවා ගැනීමට සිදුවී තිබේ. ඒ අධික මුදලක්‌ ගෙවාය. එහෙත් අප මේ කියන්නට යන්නේ දිවයිනේ මහ රෝහල් ආශ්‍රිතව හතු පිපෙන්නාක්‌ මෙන් බිහිවී ඇති පුද්ගලික උපස්‌ථායක සේවා මධ්‍යස්‌ථාන ගැනය.
ගිලනුන්ට උපස්‌ථාන කිරීම අනාදිමත් කාලයක සිටම අපේ සංස්‌කෘතිය හා බැඳී පවතී. සැබවින්ම ගිලන් වූ අයකුට උපස්‌ථාන කිරීම මහඟු පින්කමකි. මෙම කාර්ය සඳහා අප සමාජය තුළද ඇත්තේ ඉහළ පිළිගැනීමකි. මේ මහඟු සත්කාරය අද වන විට පත්ව ඇත්තේ ඉතා ඛේදනීය තත්ත්වයකටය. විශේෂයෙන්ම රෝහල්ගතව සිටින රෝගීන්ට උපස්‌ථාන කිරීම සඳහා උපස්‌ථායකයෝ රෝහල්වල සිටිති. එහෙත් මෙම උපස්‌ථායකයින්ගෙන් තම සේවාව අසරණ රෝගීන් වෙනුවෙන් නිසි අයුරින් ඉටුවෙනවාද යන්න ගැටලු සහගතය.
මක්‌නිසාද යත් එම සේවා ඔවුන් නිසි අයුරින් ලබාදෙන්නේ නම් රෝගීන්ට උවටැන් කිරීම සඳහා පෞද්ගලික උපස්‌ථායක සේවා මධ්‍යස්‌ථානවල පිහිට පැතීමට රෝගීන්ගේ ඥතීන්ට සිදු නොවන බව ඇතැම්හු පවසති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණන් හිලව්වලට අනුව රජයේ රෝහල්වල සිටින උපස්‌ථායක සංඛ්‍යාව අටදහසකට අධිකය. රෝහල්ගතව නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාවද මෑත භාගයේ විශාල වශයෙන් වැඩිවී ඇත.
සැබවින්ම ජනගහනයේ වැඩිවීමට සරිලන පරිදි රෝහල්වල නේවාසික පහසුකම් වර්ධනය වී නොමැති අතර ක්‍රමයෙන් රෝහල්ගතවන සංඛ්‍යාව වැඩිවී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ Annual Health Bulletin 2007 වාර්තාවට අනුව රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව 43,073.772 කි. රජයට අයත් සකලවිද රෝහල්වල ඇති ඇඳන් සංඛ්‍යාව 69501 කි. ජනගහනයෙන් දහසකට හිමි ඇඳන් සංඛ්‍යාව 3.4 කි. දිනපතා රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවීම නිසා ඔවුන්ට උවටැන් කිරීමට සිටින උපස්‌ථායකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැව් පවසන්නේ රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ උපසභාපති එම්. එල්. බොරලැස්‌ස මහතාය.
ඇත්තටම රජයේ රෝහල්වල උපස්‌ථායකයින්ට පැවරිලා තියෙන වැඩ කොටස විශාලයි. නමුත් දැඩි සත්කාරවලදී ඔවුන්ගෙන් වන සේවාව නිසි අයුරින් ඉටුවෙනවා. මේ නිසා උපස්‌ථායකයින්ට වාට්‌ටුවල සිටින සියලුම රෝගීන්ට උවටැන් කිරිම අපහසුයි. මේ නිසා තමයි පෞද්ගලික උපස්‌ථායක සේවාවන්වල සේවාව ලබා ගැනීමට අපේ අයට සිදුවෙලා තියෙන්නේ. මෙම ආයතනවලින් යම් කිසි සේවාවක්‌ සිදුවෙනවා. නමුත් එම ආයතනවල තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. නිසි ප්‍රමිතියක්‌ නැහැ. මුදල් ඉපයීමේ ජාවාරමක්‌ විදියට තමයි සමහරක්‌ ආයතන පවත්වාගෙන යන්නේ. ඒ බොරලැස්‌ස මහතාගේ අදහසයි.
පෞද්ගලික උපස්‌ථායක සේවා මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේද නානා මාදිලියේ නම් වලිනි. ඇතැම් මධ්‍යස්‌ථාන සේවා සපයන ව්‍යාපාර ලෙස ලියාපදිංචි වී ඇත්තේය. විශේෂයෙන් මෙකී ආයතනවලින් රෝගියකුට උපස්‌ථාන කිරීම සඳහා දිනකට රුපියල් අටසීයයේ සිට එක්‌දහස්‌ දෙසීය දක්‌වා වූ මිල ගණන් අය කරති. නිශ්චිත ගාස්‌තුවක්‌ නොමැති අතර දින භාගයකට සේවය සඳහා දවසේ ගාස්‌තුව ගෙවිය යුතුය. අනිත් කාරණය වන්නේ රෝගියාට මේ සඳහා නීත්‍යනුකූල ලියවිල්ලක්‌ පවා මෙකී සේවා සපයන ආයතන වලිsන් ලබා නොදීමයි.
මෙකී සේවා මධ්‍යස්‌ථාන වලින් රෝගීන්ට උවටැන් කිරීම සඳහා යොදවා සිටින සේවකයන්ට නිසි පුහුණුවක්‌ නැත. ඇතැම් සේවකයන්ගෙන් හරිහැටි සේවාවන් ඉටුවන්නේද නැත. බොහෝ සේවකයන් තුළ පිරිසිදු බවක්‌ නැති අතර අඳින ඇඳුම් පැළඳුම් ද ඉතා අපිරිසිදුය. ඇතැම් සේවකයන් නොයෙකුත් ලෙඩ රෝගවලට ලක්‌වූ අයවලුන්ය. රෝගීන්ට උපස්‌ථාන කිරීම සඳහා යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයක්‌ ඔවුන් තුළ නැත.
අනිත් කාරණය වන්නේ මෙකී සේවකයන් වැඩි දෙනකු රෝගීන් රැකබලා ගැනීමට පැමිණෙන්නේ අධික ලෙස බීමත්වය. ඇතැමුන් මේ සඳහා රාත්‍රියට රෝහලට පැමිණෙන්නේ කාලේ බෝතලයක්‌ ඉනේ ගසාගෙනය. රෝගියා රැකබලා ගැනීම කෙසේ වෙතත් පදමට බීමත්ව රෝගියා සිටින ඇඳට හේත්තුවී හොඳින් නිදා ගැනීමට ඇතැම් සේවකයෝ පුරුදුව සිටිති. එමෙන්ම එක්‌ රෝගියකුට උපස්‌ථාන කිරීම සඳහා යොදවා සිටින සේවකයකු ඇතැම් අවස්‌ථාවලදී වාට්‌ටුවේදී හමුවන වෙනත් රෝගීන් ද බලා ගැනීමට කටයුතු කරන අතර ඒ තුළින් ද සිදුවන්නේ මුදල් ගරා ගැනීමයි. සැබවින්ම මෙම සේවකයන් තුළින් තමන්ගේ වගකීම හරි හැටි ඉටුවන්නේ නැත. සේවාවේ යෙදෙන්නේද කිසිම වගකීමකින් තොරවය.
අසාධ්‍ය රෝගීන්ට නින්ද ගිය පසු ඔවුන් බලා ගැනීමට සිටින පුද්ගලික සේවා ආයතන වල ඇතැම් උපස්‌ථායකයින් හිටි ගමන් වාට්‌ටුවෙන් අතුරුදන්වෙති. ඇතැම් අවස්‌ථාවලදී රෝගියාට ලබාදීමට ඇති බෙහෙත් වර්ගද මොවුන් නිසි පරිදි එම රෝගියාට ලබාදෙන්නේ නැත. අනිත් කාරණය වන්නේ මොවුන්
තුළින් වන නොයෙකුත් අපචාරයන්ය. සමාජ විරෝධී ක්‍රියාවන්ය. මෙකී සේවකයන් අතර ඇත්තේ අමුතුම තාලයේ දේවල්ය. මෙය වටා නිර්මාණය වී ඇත්තේ ද වෙනත් උපසංස්‌කෘතියකි.
රැකබලා ගන්නා රෝගීන්ගේ මෙන්ම වාට්‌ටුවේ ඇතැම් රෝගීන්ගේ දේපළ ඇඳුම් පැළඳුම් රන්භාණ්‌ඩ පවා සොරකම් කිරීමේ සිද්ධීන්ද ඕනෑතරම් වාර්තාවී ඇත. ඇතැම් උපස්‌ථායකයන් රෝගීන්ගේ ඇඳ ඇතිරිලි ජංගම දුරකථන, උණුවතුර බෝතල් හා රෝගියාගේ පිටි පැකට්‌ එක පවා සොරකම් කිරීමට පුරුදුව සිටිති. මිය ගිය රෝගීන්ගේ පවා භාණ්‌ඩ අතුරුදන්වීමේ සිද්ධීන්ද වාර්තාවී තිබේ. එමෙන්ම ඇතැම් උපස්‌ථායකයන් අතර පවතින අනියම් සම්බන්ධතා ද මෙහිදී දැකගත හැකිය. රෝගීන් ගේ ඥතීන් සමඟද ඇතැම් අවස්‌ථාවලදී එම සම්බන්ධතා ඇතිවී තිබේ. පෞද්ගලික සේවාවල ඇතැම් උපස්‌ථායකයන්ගෙන් වාට්‌ටුවේ කාර්යමණ්‌ඩලවලට පවා සිදුවන්නේ නොයෙකුත් හිරිහැරයන්ය.
ඇතැම් උපස්‌ථායක මධ්‍යස්‌ථානවල එකම පවුලේ මව, පියා, පුතා, දුව පවා සේවය කරති. කොටින්ම කිවහොත් බොහෝ පෞද්ගලික උපස්‌ථායක මධ්‍යස්‌ථානවල ඇරමුණ වන්නේ රෝගියා රැකබලා ගැනීමට වඩා කුමන ආකාරයකින් හෝ මුදල් ඉපැයීමයි.
ලලිත් චාමින්ද
ගාල්ල

No comments:

Post a Comment