- සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන
පසුගිය සතිය අවසන් වන විට රජයට එරෙහිව නැඟුණු විශාලම විරෝධය වූයේ පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනත ගෙන ඒම සම්බන්ධයෙන් පැනනැඟුණු උණුසුම් තත්ත්වයයි. මෙහිදී රජයේ පනත වැඩි බහුතරයකින් සම්මත කරගන්නට සමත් විය. මෙහිදී නැඟුණු දේශපාලනික උණුසුම තවමත් පහව ගොස් නැති අතර ඒ පිළිබඳව හා තවත් දේශපාලනික කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන සංවාදගත වූ අයුරු.
ප්‍රශ්නය - ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් සහ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත හෙවත් පාඩු ලබන හා අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණයට විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ චෝදනා එල්ල වී තිබෙනවා. මෙම චෝදනා ඔබ දකින්නේ කොයි ආකාරයට ද?
පිළිතුර - පළමුවෙන්ම සඳහන් කළ යුතුයි මෙම පනත පිළිබඳව විපක්‌ෂය සහ මෙම පනතට අදාළ ව්‍යාපාරිකයන් විසින් වැරදි ප්‍රචාරයන් ගෙන යන බව. මෙම පනතේ සඳහන් කරල තිබෙනවා, මෙම පනත යටතේ පවරා ගනු ලබන ආයතන මොනවාද කියලා. මෙම ආයතන සියල්ලම මීට ප්‍රථම රජයට අයත්ව තිබූ ආයතන. එම ආයතන පෞද්ගලික අංශයට ලබාදීමේදී ජයගත යුතු ඉලක්‌ක පිළිබඳව එම ආයතන පවරා දුන් අවස්‌ථාවේදී අත්සන් තබන ලද ගිවිසුම් වල සඳහන් වී තිබෙනවා. ඉඩමක් නම් එම ඉඩම පවරාදීමේදී එය සංවර්ධනය කළ යුතුය යන කොන්දේසිය යටතේ තමයි ලබාදෙන්නේ. කර්මාන්ත ශාලාවක් නම් නිෂ්පාදනය වැඩි කළ යුතුය යන කොන්දේසිය යටතේ තමයි ලබා දී තිබෙන්නේ. සේවකයන් පිළිබඳව නම් ඔවුනගේ අයිතිවාසිකම් පිළිබඳව සඳහන් වනවා.
මෙම පනත කියවන සෑම කෙනකුම තේරුම් ගනීවි එය අදාළ වන්නේ කාටද කියන එක. එම පනතේ ඉතා පැහැදිලිව පවරා ගන්නා ආයතන සඳහන් වී තිබෙනවා. මෙම පනත අදාළ වන්නේ එම ආයතන වලට පමණයි. මෙම පනත යටතේ වෙනත් ආයතනයක් හෝ කෙනකුගේ පෞද්ගලික දේපලක් පවරා ගැනීමේ හැකියාවක් නැහැ.
මෙම පනත සම්පූර්ණයෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව තමයි සකසා තිබෙන්නේ. එම නිසා තමයි ඒ සඳහා ශ්‍රෝෂ්ඨාධිකරණයේ අනුමැතිය පවා ලැබී තිබෙන්නේ. ආණ්‌ඩුව වේවා වෙන කවුරුන් හෝ වේවා යම් කටයුත්තක් අලුතින් ආරම්භ කරන කොට විවිධ විවේචන මෙන්ම විවිධ බාධාවන්ද එල්ල වනවා. එම නිසා ඒ පිළිබඳව කලබල විය යුතු වන්නේ නැහැ.
ප්‍රශ්නය - පෞද්ගලික අංශයට පවරා දුන් පාඩු ලබන ආයතන පමණක් රජයට පවරා ගන්නා බව සඳහන් කළත් හිඟුරාන සීනි සමාගම වැනි ලාභ ලබන ආයතන පවා පවරා ගැනීමට කටයුතු යොදා තිබෙන බවට චෝදනා තිබෙනවා නේද?
පිළිතුර - හිඟුරාන සීනි සමාගම ලබාදීමේදීත් බොහෝ අවිධිමත් ක්‍රියා සිදුවී තිබෙනවා. එම සමාගමට ලබාදුන් මුදලක් එම අවස්‌ථාවේදී එම ආයතනයට අයත්ව තිබූ ස්‌ථාවර තැම්පතුත් ඒ වගේම සීනි සහ මද්‍යසාරවල වටිනාකම සමාගමට වෙනත් ආයතන වලින් අයවිය යුතුව තිබූ මුදල් ආදී මේ සියල්ල ගෙන බැලූ කල බරපතළ අක්‍රමිකතාවක් සිදුවී ඇති බව පෙනෙන්න තිබෙනවා. එක්‌සත් ජාතික පක්‌ෂ පාලන කාලයේදී කිසිදු වගකිSමකින් තොරව ඊට අදාළ වගන්ති පැහැර හැරල ඔවුන්ගේ හිතවත් කම් මත ආයතන ලබාදීම සිදු කර තිබෙනවා.
හිඟුරාන සීනි සමාගම පිළිබඳව කතා කරනවා නම් සමාගම පවරා දීමේදී අත්සන් කරන ලද ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම් රාශියක් සිදුවී තිබෙනවා. එම කොන්දේසි කඩ කිරීමත් එබඳු ආයතනයන් යළි පවරා ගැනීම සඳහා අදාළ වනවා. මෙම ආයතන ලබාදීමේදීත් සින්නක්‌කරවම ලබාදීමත් සිදු කරන්නේ නැහැ. නමුත් ඉතා උපක්‍රමශීලී ලෙස ඇතැම් ආයතන තමන්ගේ පෞද්ගලික දේපළ බවට පත් කරගෙන තිබෙනවා. ඇතැම් දේශපාලන සහ රාජ්‍ය නිලධාරින් එකතු වී තමයි මෙබඳු කටයුතු සිදුකර තිබෙන්නේ. මෙය රටේ නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ දෙයක්. ඒ තුළ තමයිs මෙම කටයුත්ත සිද්ධ වෙන්නේ.
ප්‍රශ්නය - හිටපු අග්‍රවිනිශ්චයකාර සරත්. එන්. සිල්වා මහතාගේ කාල සීමාවේදී සිදුවූ බව සඳහන් අකටයුතු පිළිබඳව සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබෙනවා.
එහෙත් හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා සඳහන් කර තිබෙනවා. එතුමා විශ්‍රාම ගිය අවස්‌ථාවේදී ජනාධිපතිතුමා ඔහුගේ සේවය අගය කළ බවත් ඔහුට හොඳ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කළ බවත්. හිටපු අග්‍රවිනිශ්චයකාරතුමාගේ ප්‍රකාශයන් පිළිබඳව ආණ්‌ඩුවේ ස්‌ථාවරය කුමක්‌ද?
පිළිතුර- මෙය නීතිමය පසුබිමක් තුළ වාද විවාද කාරණයක්. මම නීතිය පිළිබඳව විශාරදයෙක් නොවෙයි. එම නිසා ඔය ප්‍රශ්නය නීති විශාරදයන් විසින් තමයි විග්‍රහ කළ යුතු වන්නේ.
තේරීම් කාරක සභාවක් පත් කිරීමේදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල අනුව එය සිදුකර තිබෙනවා. තේරීම් කාරක සභාව තුළින් ඉදිරියේදී සිදුවන ක්‍රියාවලිය හරහා කවුද හරි කියල ඉදිරියේදී දැක ගැනීමට පුළුවන් වේවි.
ප්‍රශ්නය - පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව ආණ්‌ඩුවට ජය ගැනීමට නොහැකි වූ නිසා එම මහ නගර සභාව අධිකාරියක් යටතට පත් කිරීමට ආණ්‌ඩුව කටයුතු කරගෙන යන චෝදනාව එල්ල වෙමින් පවතිනවා. මෙම චෝදනා පිළිබඳව ආණ්‌ඩුවේ ස්‌ථාවරය කුමක්‌ද?
පිළිතුර- කෝට්‌ටේ ජයවර්ධනපුර, කඩුවෙල, කොළොන්නාව, මහරගම, දෙහිවල, රත්මලාන යන මෙම ප්‍රදේශ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වනවා. පළාත් පාලන ආයතන වශයෙන් ගත්තම ඒ වායේ බලතල තිබෙනවා. නමුත් අප පමණක් නොවෙයි මීට පෙර බලයේ සිටිය ආණ්‌ඩුත් මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. අගනුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙළ සහ පොදු ආයතනයක අවශ්‍යතාවය. පළාත් පාලන ආයතන 23 ක් සඳහා පසුගිය කාලය තුළ පැවැති මැතිවරණ ව්‍යාපාර තුළත් විපක්‌ෂ නායකවරයාගෙනුත් මේ පිළිබඳව ප්‍රකාශයක් කෙරුණා.
අගනුවර ඇතුළු මෙම ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී තාක්‌ෂණික ඥනය නාගරික සැලසුම්කරණය වැනි මෙම විෂය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙන විශේෂඥ කණ්‌ඩායමකගේ සේවය අවශ්‍ය වනවා. ඒ සඳහා යම් ආයතනයක් අවශ්‍ය වනවා. එබඳු ආයතනයක් ඇති කිරීම මගින් තිබෙන පළාත් පාලන ආයතනවල තිබෙන බලතල පැහැර ගැනීමක් සිදුවන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ මෙම ප්‍රදේශයට අයත් සියලුම ආයතන සමහර කරුණු වලදී කළමනාකරණය කිරීමක් තමයි. මේ පිළිබඳව යම් අයෙක් විරුද්ධව යම් කාරණයක් ප්‍රකාශ කරනවා නම් එම ආයතන පිහිටුවූ දවසක තේරුම් යාවි මෙම කටයුත්ත යහපත් දෙයක් බව.
ප්‍රශ්නය - කොළඹ මහනගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වී සිටින මුසම්මිල් මහතා ප්‍රකාශ කර තිබෙනවා ආණ්‌ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව. ඊට ආණ්‌ඩුවේ ප්‍රතිචාරය කුමක්‌ද?
පිළිතුර- කොළඹ මහ නගර සභාවට රජයේ සහයෝගය නැතිව කටයුතු කිරීමට බැහැ. එම නිසා තමයි ඔහු එහෙම ප්‍රකාශ කරලා තිබෙන්නේ. රේ‚ය අමාත්‍යාංශ, පළාත් සභාව විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්‌ථාව, ආයෝජන මණ්‌ඩලය, යන ආයතන පාලනය වන්නේ රජය යටතේ තමයි. එම ආයතන වල සහයෝගය නැතිව කවදාවත් කොළඹ මහ නගර සභාව දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. රජය සමග සහයෝගයෙන් කටයුතු කරනවා කියන එක සිදුවිය යුතු දෙයක්. අපිත් කටයුතු කිරීමේදී මේ අය යු.එන්. පී. ද ඡේ.වී.පී.ද කියල බලන්නේ නැහැ.
ප්‍රශ්නය - පළාත් පාලන ආයතන 23 ක් සඳහා මැතිවරණ පැවැත්වූ පසුගිය ඔක්‌තෝබර් 08 වැනි දින ඇති වූ ගැටුමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක් වී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා බව ප්‍රකාශ කරමින් විදේශ රටකට රැගෙන ගොස් තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවනවා යන චෝදනාව එල්ල වී තිබෙනවා නේද?
පිළිතුර - පළමුවන කාරණය තමයි දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ ඥතීන් විසින් වන බව. එය රජය විසින් සිදුකළ කටයුත්තක් නොවෙයි. ඒ වගේම දුමින්ද සිල්වා මහතාගේ ඥතීන්ට අයිතිය තිබෙනවා ඔහු සුවපත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට.
ඒ වගේම මෙම ප්‍රශ්නය දැන් අධිකරණය තුළ විභාග වෙමින් පවතින බරපතළ ප්‍රශ්නයක්. එම නිසා ඊට අදාළ ප්‍රකාශයන් කිරීම සුදුසු වන්නේ නැහැ. නමුත් මම දැඩිව විශ්වාස කරනවා මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඇතුළු රජය ඉතා අපක්‌ෂපාතීව කටයුතු කරන බව.
ප්‍රශ්නය - ඖෂධ සම්බන්ධයෙන් පාලන මිලක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා. එබඳු තීරණයක් ගැනීම සඳහා බලපෑ හේතු සාධකයන් මොනවාද?
පිළිතුර- අප භාවිතයට ගන්න බටහිර ඖෂධ වලින් 80% ක් පමණ ආනයනය කරන්නේ ඉන්දියාවෙන්. ඉතිරි 20% වෙනත් රටවල්වලින් ආනයනය කරනු ලබනවා. අප විසින් බටහිර ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් ඖෂධ 46 ක් පමණ නිෂ්පාදනය කරනු ලබනවා. පෞද්ගලික ආයතන විසින් තවත් ඖෂධ 30 ක් පමණ නිෂ්පාදනය කරනු ලබනවා. ඒ අනුව බැලුවහම අපට සහ පෞද්ගලික අංශයට තවම බටහිර ඖෂධ 100 ක් වත් නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබෙනවා.
මේ නිසා ආනයනය කරනු ලබන සමහර ඖෂධ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනු ලබනවා. පැරසිටමෝල් පෙත්තක් ගෙන බැලුවත් ඖෂධ අලෙවි සල් 10 ක තිබෙන්නේ මිල 10 ක්. ඒ වගේම තමයි මිල අධික ඖෂධ වර්ග නියමිත මිලට වඩා අධික මිල ගණන් වලට විකුණා රෝගීන් ගසාකමින් අධික ලාභලබමින් සිටිනවා.
අප දන්නවා ලෝකයේ ඖෂධ ජාවාරමක් තිබෙන බව. මේ රටේත් ව්‍යාපාර ක්‍ෂේත්‍රය තුළ මෙම ජාවාරම ක්‍රියාත්මක වනවා. එම නිසා රටේ ජනතාවගේ යහපත සලකා අපි තීන්දුවක් ගෙන තිබෙනවා ජනවාරි මාසයේ සිට ඖෂධ මිල පාලනයත් ඇති කිරීමට.
මේ පිළිබඳව වූ ගැසට් නිවේදනයේ වගකීම තිබෙන්නේ වෙළෙඳ ඇමැතිවරයා සතුවයි. 2002 වසරේදී මිල පාලනය සඳහා පැවැති නීතිය අහෝසි කර තිබෙනවා. එම නිසා ඖෂධ මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එම නිසා මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සෞඛ්‍ය සහ වෙළෙඳ යන අමාත්‍යාංශ දෙකම ඒකාබද්ධව ඖෂධ සඳහා පාලන මිලක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය වටපිටාව අප විසින් සකස් කරනු ලබනවා.
සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය
divaina 2011.11.13
No comments:
Post a Comment