අනුර බාලසූරිය
හෙද සේවයට ලොව විශාල ඉල්ලුමක් තිබෙන බැවින් ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ටද එහි වාසිය ලබාගැනීමට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
හෙද පුහුණුවට අලුතින් 2,500 ක් බඳවා ගැනීම නිමිත්තෙන් ඊයේ (22දා) අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
ජනාධිපතිවරයා මෙසේද කීවේය.
හෙද විදුහල්වලට අද දිනයේ 2,500 ක් ඇතුලත් වෙනවා. ඔබ හෙද පුහුණුවට ඇතුලත් වෙනවා කියන්නේ කෙළින්ම රාජ්‍ය සේවයට ඇතුළත් වුණා කියන එකයි. ඒ අනුව මේ වසරේ රාජ්‍ය සේවයට ඇතුලත් කරගන්නා පළමු කණ්ඩායම ඔබයි. ඔබ සැමට මා සුබ පතනවා.
ඔබෙන් වියයුතු යුතුකම් වගකීම් ඇමැතිතුමාත්, අපේ හාමුදුරුවොත් පැහැදිලි කර දුන්නා. අද හෙද විදුහල්වල පුහුණුවට ඇතුලත් වන ඔබ තව වසර තුනකින් හෙද සේවයට එක්වෙනවා. හෙද සේවය වෙනත් රැකියාවකට, වෘත්තියකට වඩා ගෞරවාන්විත උතුම් සමාජ සේවාවක් ලෙස අප දකිනවා.
හෙද සේවයේ යෙදෙන ඔබගේ කරුණාව වගෙම් මුවගේ සිනහව රෝගියෙකුට නිරෝගී වෙන්න විශාල ශක්තියක් වෙනවා. ඒ නිසා ඔබ නිතර සිනාමුසු මුහුණින් තමන්ගේ වෘත්තියේ යෙදෙනවානම් ඉන් බොහෝ ගැටළු වලට විසඳුම් ලැබෙනවා. හෙද සේවයට එක්වන ඔබ තමන්ගේ දෙමවුපියන්, සහෝදර සහෝදරියන් හා ඥතීන් කියා සිතාගෙන රෝගීන්ට තමන්ගෙන් වියයුතු යුතුකම් කොටස ඉටුකරන්න.
වසර තුනක් හෙද විදුහල්වල සිටින විට ඔබට විවිධ ගැටළුවලට මුහුණදෙන්න සිදුවෙයි. කොටසකට නවාතැන් පහසුකම් ලැබෙයි. තවත් පිරිසකට ඒ පහසුකම් නැතිවෙයි. ඒ නිසා ගෙදරින් ඈත්වෙලා පුහුණුව ලබන මේ කාලය සමහරවිට ඔබට මහදුකක් කියලා හිතෙයි. දෙමවුපිය සහෝදර සහෝදරියන් සහ නිවසේ එකට සිට ගෙදරින් ඈත්වෙලා ගතකරන ජීවිතයටත් ඔබ හුරුවිය යුතුයි. ගෙදර සිටියදී දෙමවුපියන් කරදුන් වැඩ කොටස දැන් තමන්ටම කරගන්න වෙනවා. මෙතන ඉන්න වැඩිදෙනා 18, 19, 22 වයස්වල අය. මෙය ඔබේ ජීවිතයේ අලුත් අත්දැකීමක් වෙයි.
පත්වීම් දුන්නම සමහරු ඒ ස්ථානවලට යන්නේ නැහැ. උතුරු නැගෙනහිර වේවා හම්බන්තොට වේවා තමන් පත්වීම් ලබන ප්‍රදේශවලට යා යුතුයි. පහසුකම් නෑ කියලා හුඟක් අය කොළඹ රැකියාව බලාපොරොත්තු වෙනවා. දුෂ්කර පළාත්වලට යන්න අකමැතියි. දුෂ්කරයි කියන මේ පළාත්වල අද සංවර්ධනය වනවිට කොළඹට සමාන වෙයි.
උතුරද, නැගෙනහිරද, දකුණද කියා බේදයක් නැතිව මේ සියලු ප්‍රදේශ එක හා සමානව සංවර්ධනය වෙනවා.
පැය කීපයක් ඇතුලත රටේ ඕනෑම ප්‍රදේශයකට යාහැකි තත්ත්වයට අද පත්වෙලා. මාර්ග පද්ධතිය සංවර්ධනය වෙලා අධිවේගී මාර්ග ඉදිවෙනවා. අද ගාල්ලේ සිට කොළඹට විනාඩි 55 කින් එන්න පුළුවන්. තවටික දිනකින් හම්බන්තොට සිට කොළඹට පැය එකහමාරකින් දෙකකින් එන්න පුළුවන් වෙයි. එදා මට ගමේ ඉඳල කොළඹට එන්න පැය පහක පමණ කාලයක් ගතවුණා. කාපට් පාරක් දකින්න ලැබෙන්නෙ කොළඹ කිට්ටුවට ආවමයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. රටට සාමය උදාවෙලා රට තුළ වේගවත් සංවර්ධනයක් සිදුවෙනවා. අපි දැන් අනාගතය පිළිබඳ සිතා කටයුතු කළයුතුයි. 2020 වනවිට අද තියන හෙද සේවය නොවෙයි. සමහරවිට වෙනස් වෙයි. ඒ නිසා ඔබට දැනුම අත්‍යවශ්‍යයි. අද තියන රාජකාරි වලට වඩා වෙනත් රාජකාරි බවට පත්වෙයි.
හෙද සේවය සඳහා ලෝකයේ රටවලින් විශාල ඉල්ලුමක් තියෙනවා. ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරට මා ගිය වෙලාවේ එහි නගරාධිපතිවරයා මට කිව්වේ පුළුවන් තරම් හෙද සේවයට එවන්න කියලයි. ඇµaගනිස්ථානයෙන් වෛද්‍ය, ඉංජිනේරු හෙද සහ ඉංග්‍රීසි ගුරු වෘත්තීන්වලට ඉල්ලුමක් තිබෙනවා. සමහර රටවල්වල ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්න ලංකාවට එවන්න කැමතියි කියනවා. අනෙක් අසල්වැසි රටවලට යවන්න කැමැති නෑ කියනවා. ඒ රටවල් සමඟ ප්‍රශ්න තියෙන නිසා අපේ රටට එවන්න අවස්ථාව දෙන්න කියලයි ඔවුන් කියන්නේ.
අපි රටක් ලෙස ඉදිරියට යනවිට අප රටට මේවගේ ඉල්ලුමක් තිබෙනවා. ඒ ඉල්ලුමට සරිලන අයුරින් අප කටයුතු කළ යුතුයි. එදා හිතපු විදිහට අද හිතන්න බෑ. නවීන ලෝකයත් සමඟ ඉදිරියට යන්න අප සූදානම් විය යුතුයි. මාතෘ භූමිය පිළිබඳව තිබෙන ආදරය, ඔබ ඉපදුණු රට කියන හැඟීම කොයිම මොහොතකවත් අමතක නොකළ යුතුයි.
අපේ දෙමවුපියන් අපට අමතක කරන්න බෑ. වයස්ගත ප්‍රමාණය අද වැඩියි. කෙනෙකුගේ ආයුකාලය අවුරුදු 75 ක් 80 ක් පමණ වෙනවා. ආයුකාලය වැඩිවෙලා. මේ නිසා හෙද හෙදියන්ගේ අවශ්‍යතාවය වැඩිවෙයි. සමහරු දරුවෝ දෙමවුපියන් පන්සල් ළඟ තැන් තැන්වල දාල යනවා. එදා පවුලේ තිබූ බැඳීම අද ක්‍රමානුකූලව නැතිවී යනවා. මේවා ගැන අප මීට වඩා සිතිය යුතුයි. ඔබේ දෙමවුපියන් රැකගන්නා සේ ඔබේ පිහිටට එන රෝගීන්ට සලකමින් රැකගත යුතුයි.
අපි හෙද සේවයට පහසුකම් දුන්නා. හෙද සේවයට බැඳෙන අයගෙන් සියයට 95 ක් කාන්තාවෝ. අධ්‍යාපන ක්ෂේත්රයෙත් එහෙමයි. ගුරු පත්වීම් දෙනවිට ඒ අයගෙන් වැඩිපිරිසක් සියයට 90 ක් පමණ කාන්තාවෝ. ක්‍රමානුකූලව රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්රයකටම කාන්තාවන් ඇතුළත් වන ප්‍රමාණය වැඩිවෙලා. තව ටික කලක් යනවිට මේ රට කාන්තාවන්ගෙන් පාලනය වන රටක් වෙයි. ඔබ හෙද සේවයේ ගෞරවය රැකගෙන මේ අධ්‍යාපනය ලබන කාලය තුළ කටයුතු කරන්න.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා
නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය තවත් ශක්තිමත් කිරීමට හෙද පුහුණුවට 2500 ක පිරිසක් ඇතුලත්වෙන දිනයක්. හෙද සේවයට තිබෙන්නේ දීර්ඝතම ඉතිහාසයක්. හෙද සේවයට ජනතාවගෙ,a සමාජය තුළ ගෞරවය ප්‍රසාදය ලැබෙන්නේ කරන්නාවූ කැපවීම හා සාර්ථකත්වය මතයි.
ඔබ මුළු මහත් රට වෙනුවෙන් සේවය කරන්නෙ. විවිධ සමාජ බලවේග දේශපාලන සුළි සුළං මේවා තේරුම්ගෙන ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට ඔබේ කැපවීම අධිෂ්ඨානය වැදගත්.
පුහුණුව ලබන ඔබ ඔබේ වගකීම් යුතුකම් ඉටු කරන්න යුක්ති සහගත සධාරණ මානවවාදී ලෙස කටයුතු කිරීම ඔබේ වගකීමයි. ඔබ ලබන අත්දැකීම් තුළ අවබෝධය වඩාත් වැදගත් වෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරයාගේ සිට රෝහල් සුළු සේවකයා දක්වා සියලු දෙනා තුළ ආදරය කරුණාව සෙනෙහස යන මානවවාදී ගති පැවැතුම් තිබිය යුතුයි. හෙද සේවයට ඇතුලත් වූ පසු ඔබට විශාල වගකීමක් පැවරෙනවා. සෞඛ්‍ය ක්ෂේත්රය තුළ 80,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරනවා. මෙවැනි දීප ව්‍යාප්ත සේවයක් කිරීමේදී මේ අපේ රට, අපේ ජනතාව, සහෝදර සහෝදරියන් යන හැඟීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා.
අද රටතුළ සාමය ස්ථාපිත වෙලා. අපට යුද්ධයක් ගැන අද කතා කරන්න බෑ. අද එක විදියට පළාත් නවයම සංවර්ධනය වෙනවා. ප්‍රධාන වශයෙන් අප කළ කළයුතු කාර්යභාරය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි.
තම සේවය මගේ රට, මගේ ජනතාව වෙනුවෙන් අවංකව සැබෑ ලෙස ඉටුකරනවා කියන හැඟීම ඔබට තිබිය යුතුයි. හැම කෙනෙක්ම ගෙදර ඉඳන් ගිහින් කරන්න පුළුවන් රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් අපට රටක් දියුණු කරන්න බෑ. 2500 වැනි මෙතරම් විශාල ප්‍රමාණයක් බඳවා ගන්නේ දීප ව්‍යාප්ත සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමටයි.
යුද්ධයෙන් විනාශ වූ උතුරු නැගෙනහිර සියලු සංවර්ධන කටයුතු අද වේගවත්ව සිදු කෙරෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාද අප ඉටුකළ යුතුයි. දුෂ්කරයි කියා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, ලිපිකරුවන්, හෙද හෙදියන් යන මේ සියලු දෙනා යන්න බෑ කියනවානම් රටක් විදියට කොහොමද සංවර්ධනය කරන්නේ. මේ සියලු ප්‍රදේශ එකම රටක තියෙන්නේ. රෝහල් සේවය ශක්තිමත් කිරීමේදී ඔබේ සේවය සාධාරන ලෙස සියලු ප්‍රදේශවලට බෙදීයැම ඉතා අත්‍යවශ්‍යයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණෝ
හෙද සේවයේ පවතින ඌනතාවය සපුරන්නට 2,500 ක පිරිසක් පුහුණුවට බඳවා ගැනීමට ජනාධිපතිතුමා ඇමැතිතුමා සමඟ ගත් පියවර අප කාගේත් අමන්දානන්දයට හේතුවක්. ඔබ සියලු දෙනා රාජ්‍ය සේවයට පිවිසෙන නවක පිරිසක්. රාජ්‍ය සේවයේ ඔබ කරන්නේ මිල කළ නොහැකි වටිනා සේවාවක්. ඔබ සෑම දෙනාම දිනපතාම බුදුන් වහන්සේ දකින පිරිසක් බව අමතක කරන්න එපා. ගිලනුන්ට උපස්ථාන කිරීම උන්වහන්සේ පෙන්වාදී තිබෙනවා. මිනිසකු ලස්සන වෙන්න තිබිය යුතු මූලික ලක්ෂණය වන්නේ හොඳ විනය ගරුකවීමයි. අනෙක් ස්ථානවලට වඩා රෝහල තුළ විනය තිබිය යුතුයි. ඔබ වැඩකරන්නේ අහිංසක රෝගීන් සමගයි.
අපගේ දර්ශනය වියයුත්තේ අනුන්ට උපකාර කිරීමයි. ඔබෙන් අහිංසක රෝගීන් බලාපොරොත්තුවන්නේ සිනහවයි. සමහර හෙදියන්, රෝගීන්ට කතා කරන්න දන්නේ නෑ. හොඳ මිහිරි වචනවලින් රෝගීන්ට කතා කරන්න. ඔබේ වගකීම පැහැර හරින්න එපා. ඔබට පැවරෙන කාර්යභාරය මැනවින් ඉටුකරන්න. යහපත් සේවයක් සැලසීමට ඔබ අදිටන් කරගන්න. ඔබෙන් වියයුතු යුතුකම් කොටස හරියට ඉටුකළොත් පමණයි අනෙක් දේවල් ලබාගත හැක්කේ.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා මෙහිදී අදහස් දැක්වූ අතර මෙම අවස්ථාවට නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක සෞඛ්‍ය ලේකම් රවීන්ද්‍ර රුබේරු යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීවූහ.
divaina 2012.01.23
No comments:
Post a Comment