LAKBIMA 2012 ජනවාරි 19 වෙනි බ්‍රහස්පතින්දා, 23:39
මිහිරි ෆොන්සේකා
ලොව හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලංකාවේ ලලිතා පද්මිණී
සුදු හාමිනේ පොත් මිටිය තුරුළු කරගෙන ගෙදරින් එළියට බැස්සේ පාන්දර පහයි පනහේ බසය අල්ලා ගන්නටය. තුණුරුවන්ගේ සරණයි පරිස්සමින් යන්න පුතේ. මේ දවස්වල අලි රංචුවක් ගම වටේ කර ගහනවා” තාත්තා සුදු හාමිනේට කීවාය.
අලි හිටියත් කොටි හිටියත් සුදු හාමිනේ පහයි පනහේ බසය අල්ලන්නට පාරට යා යුතුය. එසේ නොවුණහොත් ඈට වෙන්නේ ඉස්කෝලේ නොගොස් ගෙදර නවතින්නටය.
“ඊයේ රෑත් තොප්පිගල පැත්තෙන් වෙඩි සද්ද ඇහුණා. කෝකටත් පාර දෙපැත්ත ගැන හොඳට ඇහැගහගෙන යන්න.” අතරමගදී හමු වූ අසල්වැසියකු සුදු හාමිනේට කීවේය.
තාත්තා ආදරයට සුදු හාමිනේ කියා කතා කළාට ඇගේ නම ලලිතා පද්මිණිය. ඈ පවුලේ ලොකු දෝණිය. අලි කොටි වළසුන් මැද ජීවත් වීමට පෙර ඈ හුන්නේ ගාල්ලේ, බද්දේගම, ඉහළ කීඹියේය. ලලිතාගේ මව කමලාවතීය. තාත්තා සැමීය. ලලිතා උපන්නේ එක් දහස් නවසිය හැට නවයේ මාර්තු විසි පස්වැනිදාය.
බද්දේගම ගත කළ කාලය, ගැන ඈට තිබුණේ ඡායා මතකයකි. සන්දරවල රතනසාර ඉස්කෝලේ බාලාංශ පන්තිවල අකුරු කළ වසර කීපය ලලිතාට යන්තමට මතකය. මහවැලියෙන් ගොඩින් මඩින් ඉඩම් ලැබුණු සැමී සිය දරු පවුල සමග දිඹුලාගල පදිංචියට ආවේ හැත්තෑව දශකයේ අග හරියේය.
දිඹුලාගල පදිංචියට පැමිණි මුල් කාලය ලලිතාට සිහිපත් වූවාය. හතර වටින් මහ වනයක ගිලාගත් දිඹුලාගල ගම්මුන්ට මැලේරියා වසංගතයෙන් ගැලවීමක් නොවීය. ගම්මු මැලේරියාවට කීවේ කැලෑ උණ කියාය. කැලෑ උණ හැදුණු ඈ කෙට්ටු වූයේ පරඬැලක් මෙනි. ලලිතාගේ පවුලේ සියල්ලන්ටම උණ හැදුණත් පූරුවේ කළ පිනකටදෝ සියල්ලෝගෙම දිවි බේරුණි.
එකල සුදු හාමිනේගේ තාත්තාට කාසි බොහෝ හිඟය. ගොවිතැන පටන්ගත්තා පමණි. මේ නයින් ඔවුන් හුන්නේ ගොම මැටි ගෑ පොල් අතු හෙවිළි කළ පැල්පතකය. වැහි කාලයට පැල්පත දෝරේ ගලන්නේය. දිරාගිය පොල් අතු අතරින් වැටෙන වැහි බිංදු ගේ බිමට වැටීම නතර කිරීමට ඈ කුස්සියේ හට්ටි මුට්ට් ගේ පුරා තියන්නීය. පාඩම් පොත් බේරා ගැනීමට ඉටිකොළවලින් වසන්නීය. වැස්ස තුරල් වූ විගස ඈ කුප්පි ලාම්පුව දල්වාගෙන පාඩම් කරන්නීය.
“සුදු හාමිනේ මම මැරෙන්න කලින් උඹ දොස්තර නෝනා කෙනෙක් වෙලා මට බෙහෙත් උගුරක් පොවන්න ඕනේ” ඒ වෙලාවට තාත්තා ඇගේ හිස පිරිමදිමින් කියන්නේය.
බද්දේගම සන්දරවල රතනසාර ඉස්කෝලෙන් අස්වී දිඹුලාගලට ආ ලලිතා මුලින්ම ගියේ අරලගංවිල ලීලාරතන විදුහලටය. ඉගෙන ගැනීමට හපන් ඈ පොළොන්නරුව රාජකීය විදුහලට ගියේ අට වැනි පන්තියේදීය. එවිට ඇගේ වයස අවුරුදු දා හතරකි. පොළොන්නරුවේ රාජකීය විදුහලට යාමට පටන් ගත්දා සිට සුදු මැණිකේ පාන්දර හතරට අවදි වන්නීය. ඒ පහයි පනහේ බසය අල්ලා ගන්නට ඕනෑ නිසාය. අත මිට කාසි හිඟ බැවින් ඈ ගියේ සීසන් එක පෙන්වා ලංගම බසයේය. ඒ බසය නැතිනම් පමණක් ඈ පෞද්ගලික බසයකට ගොඩ වන්නීය. බසය එනතුරු මග බලා හුන් සුදු මැණිකේට බොහෝ වේලාවට ගාල්ලේ ගත කළ ජීවිතය මතක් වෙයි.
දිඹුලාගල මෙන් නොවැ ගාල්ලේ ජීවිතය දුෂ්කර නැත. ඉස්කෝලේ යාමට බස් ඇත්තේය. ලෙඩට දුකට බෙහෙත් ගන්නට ඉස්පිරිතාල ඇත්තේය. බද්දේගම කැලෑ උණ නැත. අලි කොටි නැති නිසා හිතට බයක් නැත.
“මොන ප්‍රශ්න තිබුණත් මම ඉගෙන ගෙන තාත්තාගේ දොස්තර හීනය සැබෑ කරනවා.” සුදු හාමිනේ එවැනි අවස්ථාවලදී සිතුවාය.
දිඹුලාගල සිට කදුරුවෙලට (පොළොන්නරුව) යාමට බසයට පැය එක හමාරක් ගත වෙයි. ඇතැම් දිනවල බසය යන්නේ මනම්පිටිය දක්වා පමණි. ඊට හේතුව මහවැලි ගඟ දෙගොඩ තලා පොළොන්නරුව මඩකළපුව පාරේ ගමනාගමනයට බාධා කරන බැවිනි. එවැනි දවස්වලට පාසල් සිසුන් යන්නේ රේල් පාර දිගේය. එසේ යන වැඩිහිටි සිසුවෙකුගේ අතින් අල්ලා ගන්නා ලලිතා මහ ජල කඳට උඩින් වැටී ඇති රේල් පාර දිගේ එගොඩ වන්නීය.
“රේල් පාර දිගේ අපි එගොඩ යන්නෙත් හරිම බයෙන් සැඩපාර සැරයි. වැරදිලාවත් වතුර පාරට වැටුණොත් මතු වෙන්නේ තිරිකුණාමලයෙන් තමයි.” ලලිතා පද්මිණි පාසල් ගිය කාලය ගැන එසේ සිහිපත් කරන්නීය.
ගංවතුරට හසු වන දවස්වල ලලිතා ඉස්කෝලෙට යන විට උදේ නමයත් පහුවෙලාය. ලලිතාගේ දුෂ්කර ගමන නොදන්නා විදුහල්පතිවරයා ඈට සැර දමන්නේ ප්‍රමාද වී පැමිණි බව කියමිනි.
අලින්ගේ කොටින්ගේ තර්ජන ගංවතුර ඇතුළු කුමන බාධක පැමිණියත් ලලිතා පද්මිණි හොඳින් ඉගෙන ගත්තාය. පන්තියේ පළමුවැනියා වූවාය.
“සුදු මැණිකේ මගේ ආසාව උඹ දොස්තර නෝනා කෙනෙක් වෙනවා දකින්න.” තාත්තාගේ සිහිනය ඈට නිතර මතක් විය.
ඉස්කෝලේ ඇරී ඈ දිඹුලාගලට යන විට හවස හතර පහ වෙලාය. අම්මා උයා පියා ඇති මොනවා හරි බඩට දමා ගන්නා ඈ මහ රෑ වන තුරා පාඩම් කරන්නීය. ගොවිතැනෙන් තාත්තාගේ අත මිට සරු වන විට ඔහු වඩු මඩුවක්ද පටන් ගත්තේය. පොල් අතු සෙවිළි කළ පැල්පත වෙනුවට හුණු සිමෙන්තියෙන් කපරාරු කළ නිවසක් ඉදිවිය. පොල් අතු ගැලවී ගොස් වහලට උළු සෙවිළි විය. කුප්පි ලාම්පුව වෙනුවට විදුලි එළියෙන් මුළු ගෙදරම ඒකාලෝක විය. සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳින් සමත් වූ සුදු මැණිකේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට තේරුණාය.
සුදු මැණිකේ උසස් පෙළට තේරුණු සමයේ රටේ තරුණ තරුණියෝ මුහුණ දෙමින් හුන්නේ අපල කාලයකටය. පාසල් ගිය ලොකු දරුවෝ නැවත ගෙවල්වලට නොආහ. ඔවුන්ගේ සිරුරු මහ පාරේ ටයර් සෑයවල් මත දැවී අළුවිය.
“එක දවසක් මම ඉස්කෝලේ එනකොට තරුණයන් දහඅට දෙනකුගේ ඔළු පාරේ එල්ලලා තිබුණා. ඒ අයගේ සිරුරේ කොටස් බල්ලෝ ඇදගෙන යනවා. මේවා දැක්කාම මුළු දවසම එපා වෙනවා. උදේ ඉස්කෝලෙට ආපු වෙලාවේ පටන්ම කරන්නේ වමනේ දාන එක. මේ ප්‍රශ්න නිසා විභාගය හොඳින් කරන්න තරම් පරිසරයක් ඒ කාලේ මට තිබුණේ නෑ.” ලලිතා පද්මිණි කියන්නීය.
අවසානයේදී ඈ උසස් පෙළ පන්තියේ හුන්නා කාලයේ පොළොන්නරුවේ බෝඩිමක නතර වූවාය. පාසලෙන් ඉගෙන ගන්නා දෙයක් මිසක් අමතර පන්තියකට ගොස් වැඩියමක් දැන ගැනීමට ඇයට වත්කමක් නොවීය. ඇල්මෙන් අකුරු කරමින් විභාගය සමත් වුණිද ලලිතා පද්මිණීට වෛද්‍ය විද්‍යාලයට යාමට තරම් ලකුණු ප්‍රමාණවත් නොවීය. එවර ඇගේ යහළුවෝ අට දෙනෙක් වෛද්‍ය විද්‍යාලයට යාමට සුදුසුකම් ලැබූහ.
“ඒ වෙලාවේ මට දුක හිතුණ තාත්තාගේ දොස්තර සිහිනය සැබෑ කිරීමට නොහැකි වූ නිසා. මම දෙවැනි පාරටත් විභාගය කළා. එවරත් හරි ගියේ නෑ. ඊට පස්සේ මම කල්පනා කළා රැකියාවක් කරනවා කියලා.
මුලින්ම මම මහවැලි ආර්ථික ඒජන්සියේ පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. ඒ ඩිප්ලෝමා පාඨමාලාවෙන් වැඩිම ලකුණු ගත්තේ මමයි. මට මහවැලි ආර්ථික ඒජන්සියේම පරිගණක දත්ත සැකසුම්කරුවකු විදියට පත්වීම ලැබුණා. ලලිතා කියන්නීය.
මෙකල මහවැලි ආර්ථික ඒජන්සියේ සේවක සේවිකාවෝ සිරිපාදේ විනෝද චාරිකාවක් ගියෝය. මහගිරි දඹ නැගගන්නට නොහැකිව තරුණියන් හති දමන විට තරුණයෝ ඔවුන්ට අත දුන්හ. ලලිතාට අත දුන්නේ අජිත් කුමාරය. අවසානයේදී ඔහු ලලිතාගේ අත ගත්තේය. ඔවුන් දෙන්නාගේ කැදැල්‍ලේ දරුවන් ගණන තුන්දෙනකි.
මහවැලි ආර්ථික ඒජන්සියේ වැඩ කරමින් හුන් ලලිතා තෙල්දෙණියේ නෑයෙකුගේ ගෙදර ගියාය. ඒ ගෙදර හුන් ඥාති සොයුරියෝ ඈට පුවත්පතක තිබූ දැන්වීමක් පෙන්නූහ. උතුරු මැද පළාතට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවන බව ඒ දැන්වීමේ තිබුණි. දොස්තර සිහිනය සැබෑ නොවුණද පවුල් සෞඛ්‍ය සේවිකාවක ලෙස හෝ රටට වැඩක් කරන්නට ඈ ඉටා ගත්තාය.
ලලිතා තේරුණේ අනුරාධපුර හෙදි විදුහලටය. ඈ හෙදි විදුහලේදී ජීවිතයට ලොකු පාඩමක් ඉගෙන ගත්තේය. ඒ පාඩම ඉගැන්වූයේ චන්ද්‍රා මානවඩු මැඩම්ය. “කරතොත් හොඳට” ඈ හැමවිටම ශිෂ්‍යාවන්ට කීවාය. ලලිතා කරන වැඩ හොඳට කිරීමට ඉගෙන ගත්තේ මානවඩු මැඩම්ගෙනි. පාඩම් පොත් පිළිවෙළට තියා ගත්තේය. පිරිසිදුව වැඩ කළාය.
ලලිතාට සීමාවාසික පුහුණුව ලැබුණේ මහනුවර වරල්‍ලේගමටය. ඒ කාලයේ ඈ ගැබිණි මවුවරුන්ට ආදරයෙන් කරුණාවෙන් කතා කළාය. උදව් කළාය. සිමාවාසික පුහුණුවෙන් ඉක්බිතිව ලලිතාට පත්වීම ලැබුණේ දිඹුලාගල මැදගමටය. මෙකල එල්.ටී.ටී.ඊ. ය ගම්වලට පැන පවුල් පිටින් කපා කොටා මරා දමන කාලයයි. ලලිතාට වැඩ කිරීමට ලැබුණේ කොටින්ගේ නැගෙනහිර ප්‍රධාන කඳවුර වූ තොප්පිගල මායිමේ ගම්වලය. ඈ මුලින්ම ගමක් ගමක් පාසා ගියේ පාපැදියෙනි. අව් කාෂ්ඨකයේ බයිසිකල් පැදීම නිසාදෝ බලා සිටියදීම ඇගේ රුව වෙනස් විය. ඒ ගැන වැඩියෙන් දුක් වූවෝ ඈ සමග ඉස්කෝලේ ජීව විද්‍යා පන්තියේ එකට ඉගෙන ගෙන දොස්තරලා වූ ඇගේ මිතුරියෝය. ඔවුහු ඇයට මෙසේ කීවෝය.
“බලපන් උඹ ඇදිලා ගිහින්. ඔය රස්සාව අතහැරලා දාලා නර්ස් කෙනෙක් වෙයන්”
තවත් දිනක හිමිදිරියේ ඈ පාපැදියේ නැගී යන විට අතරමගදී හමු වූයේ මහ හ¾ඩින් විලාප දෙමින් දුවන කාන්තාවකි.
“උදේ පාන්දර කුඹුරේ වතුර හරවන්න ගිය මගේ මනුස්සයා කොටි කපල කොටලා මරා දමලා” ඈ ලලිතාට කීවාය.
“නංගී, අපි ගිහින් බලලා එනකම් ඔයා මේ පාරේ යන්න එපා කොටි දෙතුන් දෙනෙක් ඉස්සරහ හන්දියේ ඉන්නවා කියලා ආරංචි වුණා. ග්‍රාමාරක්ෂකයෝ ඇයට පැවසුවෝය.
මේ මොන බාධක කරදර ආවද ලලිතා රැකියාව අත නොහැරියාය. “මම මේ රස්සාවෙන් පුළුවන් තරම් උඩට යනවා” ඈ අදිටන් කර ගත්තාය.
මේ අතර දිඹුලාගලට අලුතෙන් ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියෙක් ආවේය. ඔහු පී.ඩී. ගුණරත්නය. ඔහුගේ වැඩ සෘජුය. නෑ... බෑ... යන වචන දෙක දොස්තර ගුණරත්නගේ ශබ්ද කෝෂයේ නොවීය. වැරැද්දට අවවාද කිරීමටත් හොඳ දේට ප්‍රශංසා කිරීමටත් ඔහු පැකිළුණේ නැත. ලලිතා පද්මිණිගේ වෘත්තීය ජීවිතයේ ලොකු වෙනසක් වෙන්නේ මෙකලය. ඈ වෛද්‍ය ගුණරත්නගෙන් බොහෝ දේ ඉගෙන ගත්තාය. වෛද්‍ය ගුණරත්නට පෙර දිඹුලාගලට පැමිණි ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරියා වූ සුමනවීර සර් ගෙන්ද ලලිතාගේ වෘත්තීය ජීවිතයට බොහෝ ගුරුහරුකම් ලැබුණි.
ලලිතා වැඩවලින් ඉදිරියට යන විට සමහරු ඈට මෙසේ කීවෝය. “එයා ඉතින් මුට්ටිය අල්ලනවානේ” ලලිතා ඒ කතාව අනුරාධපුර හෙද විදුහලේදීත් ඇසුවාය. එනමුත් ඒ කතාවලට ඈ කම්පා නොවීය. ගහන ගහන හැම ගලක්ම මලක් සේ පිළිගත්තාය. තැලෙන්න තැලෙන්න වානේ පන්නරය ලැබුවාය.
මුලින්ම ලලිතා දිඹුලාගල කලාපයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව බවට පත් වූවාය. ඊළඟට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස ජය ගත්තාය. ඉක්බිතිව උතුරු මැද පළාතේ හොඳම සෞඛ්‍ය සේවිකාව ලෙසද ලලිතා පද්මිණි තේරුණාය. දෙදහස් අට අවුරුද්දේ එන්නත් කිරීම පිළිබඳ දිවයිනේ හොඳම සායන මෙහෙයවන්නීය ද ඇය වූවාය. ලලිතා පද්මිණිගේ ගමන එතැනින් නතර වූයේ නැත.
දරුවන්ගේ බර පිළිබඳ මවුවරුන්ට පහසුවෙන් දැන ගැනීමේ විශේෂ වර්ණ සංයෝග ක්‍රමයක් සොයා ගත්තේද ලලිතා පද්මිණීය. ලංකාවේ සිවුකොණේ සායනවල රාජකාරි කරන පවුල් සෞඛ්‍ය සේවාවලදී යොදාගන්නේ ලලිතා සොයාගත් ක්‍රමවේදයයි.
“මම බොහෝ දුෂ්කර ජීවිතයක් ගත කරපු කාන්තාවක්. මම උනන්දුවෙන් හරියට වැඩ කළා මිසක් තනතුරු කීර්තිනාම වරප්‍රසාද බලාපොරොත්තුවෙන් රාජකාරිය කළේ නෑ. ඒත් මම දැන ගෙන හිටියා කවදාහරි මට හිමි තැන ලැබේවි කියලා.”
ලලිතා පද්මිණි කියන්නීය.
ලංකාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ ලලිතා පද්මිණි ගැන ලෝකයා මුල් වරට දැන ගත්තේ දෙදහස් දහයේදීය. ඒ අවුරුද්දේ ඉන්දියාවේ පැවැත්වූ ආසියා ශාන්තිකර කලාප සම්මේලනයේදී ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස ජය ගත්තේ ලලිතා පද්මිණීය.
දිඹුලාගල ලලිතා පද්මිණි රටේ ප්‍රකට චරිතයක් බවට පත් වූයේ මීට මාස කීපයකට ඉහතදීය. ලෝක පවුල් සෞඛ්‍ය බළකා සන්ධානය විසින් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වන ලද සමුළුවට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ ලලිතාය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් එකසිය හතරක් නියෝජනය කරමින් නියෝජිතයෝ එක් දහස් එකසියයක් සමුළුවට සහභාගි වූහ. ඒ පිරිස අතරින් දෙදහස් එකොළහ අවුරුද්දේ ලොව විශිෂ්ටතම පවුල් සෞඛ්‍ය සේවිකාවන් සිවුදෙනකු තේරුණි. ඒ සිවුදෙනාගෙන් එක් අයෙකු වූවේ ලලිතා පද්මිණිය.
දිඹුලාගල හාමුදුරුවෝ ලෙසින් ප්‍රකටව හුන් කිතලගම සීලාලංකාර නායක හාමුදුරුවන්ගෙන් පසු රට්ටු දිඹුලාගල ගැන කතා කරන්නට පටන් ගත්තේ ලලිතා පද්මිණිගේ ජයග්‍රහණයත් සමගය.
ලොවම දිනා ලංකාවට පැමිණි දිරිය දියණිය ගැන වැඩියෙන්ම සතුටු වූවේ ඇගේ තාත්තාය.
“සුදු හාමිනේ උඹ මුළු ලෝකයම ජය ගත්තා. දොස්තර කෙනෙක් වෙනවාට වඩා උඹ අද ඉන්න තැන ගැන මට හරිම සතුටුයි දුවේ” කියමින් තාත්තා ඈ තුරුළු කරගෙන සතුටු කඳුළු වැගුරුවේය.
ලලිතා පද්මිණි සමග පොළොන්නරුවේ රාජකීයේ අකුරු කර දොස්තරවරියන් බවට පත් වූ ඇගේ මිතුරියෝ මෙසේ කීවෝය.
“උඹ දොස්තර කෙනෙක් වුණා නම් රටේ අය උඹ ගැන දන්නේ නෑ. දැන් බලපං මුළු ලෝකයම උඹ ගැන දන්නවා. අපට හරිම සතුටුයි.”
“පුංචි කාලේ ඉඳලා මගේ ජීවිතයේ වීරයා වුණේ මමයි. මම ඉගෙන ගත්තේ වෛද්‍යවරියක් වෙන්න. නමුත් ඒක අත හැරුණා කියලා මම අධෛර්යයට පත් වුණේ නෑ. මම මේ තත්ත්වයට පත් වුණේ එක රැයකින් නොවේ. වින්ද දුක්වල කෙළවරක් නෑ. ඒත් ඒ හැම දුකක්ම විඳලා මම මගේ ඉලක්කයට ගියා. දිඹුලාගල දිරිය දියණිය ලලිතා පද්මිණි කියන්නීය.
ලලිතා පද්මිණිලාට පෙර ලොව ජයගත් ලංකාවේ කතුන් ගැන කතා අපි අනන්තවත් අසා ඇත්තෙමු. ලොව මුල්ම අගමැතිනිය ලංකාවෙන් බිහි වූවාය. අගමැතිවරුන් දෙදෙනකුගේ දියණියක් රටේ ජනාධිපති පුටුවේ වාඩි වූවාය. ලෝක විවාහක රූ රැජිනියක් ලංකාවෙන් බිහි වූවාය. මේ සියල්ලෝම රිදී හැන්ද මුවින් දරාගෙන ආ සුරකුමරියෝය.
එනමුත් දිඹුලාගල ලලිතා පද්මිණි සුරකුමරියක් නොවූවාය. ඈ ගිය මාවත් මලින් පිරී තිබුණේ නැත. ඈ ඇවිද ගියේ රළු බොරළු මාවත් දිගේය. පොල් අතු පැලක ඉපදී ස්ව උත්සාහයෙන් ලොව ජය ගත් ඇයගේ නම ලංකා කාන්තා වංශකතාවේ රන් අකුරින් ලියැවෙනු ඇත.
No comments:
Post a Comment