Monday, January 9, 2012
මේ රටේ තවමත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සුදුසු තත්වයක් නිර්මාණය වී නැහැ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර
ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් අනවශ්‍යයැයි ඔබ සිතනවාද?
අධ්‍යාපනය කියන දේ සාකච්ඡුා කළ යුත්තේ රටක ප‍්‍රතිපත්ති සමඟ. ප‍්‍රතිපත්ති පිළිබඳ කතාකරනකොට ඒවාට අදාළව විද්වත් ආයතන තිබෙනවා. එම ආයතන සමඟ සාකච්ඡුා නොකර ගත්තු හැම තීරණයක්ම අවසන් වෙලා තිබෙන්නේ ගැටුම්වලින්. මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමත් ඒ වගේ දෙයක්. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කරනවා නම් ඒ පිළිබඳ සාකච්ඡුා කළ යුත්තේ කුමන ආයතන සමගද කියන දේ විශේෂයි. වෙනත් අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර වගේ නෙමෙයි ලෝකය පුරාම වෛද්‍ය අධ්‍යාපනයට විශේෂ තැනක් හිමි වෙන්නේ මේකෙන් බිහිවෙන්නේ වෛද්‍යවරුන් නිසා අපි මොවුන්ට භාර දෙන්නේ ජනතාවගේ ජීවිත. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය හා බටහිර වෛද්‍ය කර්මය පාලනය කරන්නේ හා ඒවායේ ප‍්‍රමිතිය ආරක්‍ෂා කරන්නේ වෛද්‍ය සභාව මගින්. ඒ වගේම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, නියෝජනය කරන ආයතන 38 ක් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෛද්‍ය අධ්‍යාපන සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. මේ අයත් එක්ක කතා කරන්නේ නැතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරනවාද නැද්ද කියන එක තීරණය කරන්න බැහැ. මේ අවස්ථාවේ මූලික වශයෙන් තීරණය කරන්නට ඕන ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අවශ්‍යද කියන එක. අපි අතීතයට ගියොත් 1980 ගණන්වල රාගම පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් ආරම්භ කළා. අවසාන වශයෙන් මේ රටට නරක ඉතිහාසයක් අත්කර දීලා තමයි ඒ ආයතනය වැහෙන්නේ. මිනිස්සු මැරුණා. ඒ වගේ බරපතළ තත්ත්වයන් සිදුවුණා ඒ තුළ. ඊට පස්සෙ නැවත එවන් තත්ත්වයක් ඇති නොවෙන්න කමිටුවක් පත් කළා. ඒක මහාචාර්යවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වැනි පිරිසක් අනියුක්ත කරනු ලැබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කමිටුවක්. එම කමිටුව ඉදිරිපත් කළ අවසන් වාර්තාවෙන් නිර්දේශ කළා ඒ අවස්ථාවේ එනම් 1999 වන විට රජයේ වෛද්‍ය පීඨ හයෙන් පිටවන වෛද්‍යවරුන් 900 දෙනා හොඳටම ප‍්‍රමාණවත් කියලා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ පිහිටුවීමට හෝ අවසරදීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් එම කමිටුව නිර්දේශ කළා. අපි කියන්නේ නැහැ මින් ඉදිරියට ඒ නිර්දේශ ඒ විදිහටම තිබිය යුතුයි කියලා. හැමදාම ඒ නිර්දේශ ඒ විදිහටම තිබිය යුතුයි කියලා. නමුත් අද වන විට එම කමිටුවේ නිර්දේශවලට එහා ගිහින් රජයේ වෛද්‍ය පීඨ දෙකක් පිහිටුවලා තිබෙනවා. එකක් රජරට වෛද්‍යපීඨය. අනෙක නැගෙනහිර වෛද්‍ය පීඨය. නමුත් අද වන තෙක් වසර 8ක් තිස්සේ රජරට වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් පිහිටුවන්න බැරිව තිබෙනවා. ශිෂ්‍යයන් කතා නොකළත් නැනෙහිර වෛද්‍ය පීඨයේ තත්ත්වය ඊටත් දරුණුයි. එතකොට රජයක් හැටියට අපි අපොහොසත් වෙලා තිබෙනවා නියමිත කාලවකවානුව තුළදී එම වෛද්‍ය පීඨ දෙක සාර්ථකව ක‍්‍රියාත්මක කරන්න. එහෙනම් අපට පුළුවන්ද මේ තත්ත්වයන් එක්ක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කොළඹ, පේරාදෙණිය, ජ’පුර, රුහුණ කියන විශ්වවිද්‍යාලවල අචාර්යවරුන් තමයි උගන්වන්නේ. අද තිබෙන වැටුප් තල මත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අචාර්යවරු යොමුවීම හරහා රජරට වැසී යාමේ අවධානමක් තිබෙනවා. තව එකක් පටන්ගත්තොත් තවත් වෛද්‍ය පීඨයක් වැසේවි.
නියම විදිහට ලකුණු ගත්තු සිසුන් සිටින රජරට හා නැගෙනහිර වෛද්‍යපීඨ වසා දමලා එක ළකුණක් අඩුවෙන් ගත්තු ළමයි වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් අරිනවාද කියන එක මේ රටේ ජනතාව තීරණය කළ යුත්තක්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අපි දකින්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කළ යුතු තත්ත්වයක් තවමත් රටේ නිර්මාණය වෙලා නැහැ. ඒකට හේතුව තමයි බී ඕඅයි එක දන්නේ නැහැ මේකට අනුමැතිය ගන්න ඕන සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ද කියලා. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම දන්නෙනැහැ මේකට අනුමැතිය ගන්නේ වෛද්‍ය සභාවෙන්ද කියලා. වෛද්‍ය පීඨයත් ඇරඹීමට මොකක්ද තිබිය යුතු නීතිය කියලා කවුරුත් දන්නේ නැහැ. ඒකට නීති සම්පාදනය වෙලත් නැහැ. එවන් අවස්ථාවක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය ඇරඹීම විනාශයකට මුලපිරීමක් කියලයි අපි හිතන්නේ.
නොමිලේ ලබා දෙන සෞඛ්‍ය සේවාවක් ලංකාව තුළ පැවතියත් අද වන විට ජනතාවට සෞඛ්‍ය සේවාව දැනෙන්නේ නැහැ. ඒකට හේතුව?
ලංකාව දියුණුවෙමින් පවතින රටක්. ඒ දියුණුවෙමින් පවතින රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් හා නිදහස් අධ්‍යාපනයක් අපි ජනතාවට ලබා දෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තුළ අපි ළඟා කරගත් බොහෝ දේ තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය අපි සසඳන්නේ ඉන්දියාව, පකිස්තානය, හෝ බංගලාදේශය සමඟ නෙමෙයි. එංගලන්තය හා ඇමෙරිකාව එක්ක. වෛද්‍යවරුන්ගේ හා අනෙක් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීමත් එක්ක අපි ලෝකේ ඉතාමත් ඉහළ මට්ටමේ අවම මාතෘ හා ළදරු මරණ අනුපාතිකයක් ලබාගෙන තිබෙනවා. ආයු අපේක්‍ෂාව අවුරුදු 70 කට වැඩියි.
අපේ නිවාරණ සෞඛ්‍ය ගත්තොත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දරුවෙක් ලැබෙන්නට සිටින මවක් ඉන්න සෑම නිවසකටම යනවා. හාම 75000 කටම මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයක් පිහිටුවලා තිබෙනවා. විනාඩි කිහිපයක් ඇතුළතදී ළඟා විය හැකි රෝහලක් ඕනම ප‍්‍රදේශයක තිබෙනවා. ඒ හැම රෝහලකම සුදුසුකම්ලත් වෛද්‍යවරු සිටිනවා. යුද්දෙ පවතිද්දි පවා යාපනය, කිලිනොච්චි, වව්නියා හා මඩකලපු ප‍්‍රදේශවලට පවා උසස් සෞඛ්‍ය සේවයක් අපි ලබා දුන්නා.
ජනතාවට මේක දැනෙන්නේ නැති කාරණාවක් තිබෙනවා. ඒක තමයි පරිපාලනයේ දුර්වලතා. රටේ සිටින වෛද්‍යවරු ප‍්‍රමාණය දන්නෙ නැහැ. මේ අයගේ බෙදීම කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. වෛද්‍යවරු 16000ක් ඉන්නවා. ඒත් මොවුන්ගේ දත්ත ගබඩා කරලා නැහැ.
රෝහලට ගියහම බෙහෙත් නැහැ කියලා හරවලා එවනවා. සමහර පරීක්‍ෂණ පිටින් කරගෙන එන්න කියනවා. මිනිස්සුන්ට තමන්ට සෞඛ්‍ය සේවාව ලැබෙන්නේ නැහැ කියන එක ඇඟට දැනෙන්නේ ඒකයි.
ටෙන්ඩර් පටිපාටියේ තිබෙන දූෂණ වගේම සේනක බිබිලේ මැතිතුමා ඉපදුණු රටවුණාට නිසි ඖෂධ ප‍්‍රතිපත්තියක් නීතිගත නොවී තිබීම කියන මේ සියලූ කාරණා තමයි මිනිස්සුන්ට සෞඛ්‍ය සේවය නොදැනෙන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපි ඖෂධ ප‍්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට අපේ වෛද්‍යවරු දායක වෙලා තිබෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට එය ලබා දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළම අධ්‍යක්‍ෂ තනතුරු කිහිපයක් ඇතුළු පරිපාලන තනතුරු පුරප්පාඩු වී තිබීමත් ගැටලූ සහගතයි.
ජනතාවට ප‍්‍රතිකාර ලබාගැනීමට තරම් ප‍්‍රමාණවත් විශේෂඥ වෛද්‍යවරු රටේ නැහැ. හිඟයක් පවතිනවා. උරස් ශල්‍ය වෛද්‍යවරු සිටින්නේ ලංකාවටම දෙන්නයි. ස්නායු ශල්‍ය වෛද්‍යවරු සිටින්නේ දහයකටත් අඩු ප‍්‍රමාණයක්.
ඒකට ප‍්‍රධාන හේතුව තමයි රටේ විශේෂඥ වෛද්‍යවරු බිහිවන එක සීමා කර තිබීම. දක්‍ෂ වෛද්‍යවරු ඉන්නවා අවස්ථාවක් ලැබෙන්නේ නැතිව. විශ්වවිද්‍යාල 8 ටම එක පශ්චාත් උපාධි ආයතනයයි තියෙන්නේ. අපි උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා තවත් වෛද්‍යපීඨයකට අනුබද්ධව පශ්චාත් උපාධි ආයතනයක් පිහිටුවන්න කියලා. අවුරුදු 10 ක සැලැස්මක් මේ සඳහා අවශ්‍යයි. විශේෂඥවෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 7ක් 8ක් ගත වෙනවා. දැන් සිටම මේ සඳහා සැලැස්මක් සෑදිය යුතුයි.
සුළු රෝගී තත්ත්වයකදී පවා මිනිසුන් අද යොමුවන්නේ පෞද්ගලික වෛද්‍ය සේවාවන් වෙතයි. නමුත් තවමත් එය නියාමනය කිරීමට ව්‍යුහයක් සකස් වී නැහැ. පෞද්ගලික වෛද්‍ය සේවාවන් නියාමනය වියයුතු නැත්ද?
මේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවය අනිවාර්යයෙන්ම නියාමනය විය යුතුයි. අපි කොච්චර කැපවීමකින් රජයේ රෝහල්වල සේවය කළත් බොහෝ විට අපට දෝෂාරෝපණ විවේචන එල්ල වෙන්නේ පෞද්ගලික වෛද්‍ය සේවය හරහායි. ඒ නිසා මෙය නියාමනය විය යුතුමයි කියා අපි සිතනවා.
2006 දී පෞද්ගලික වෛද්‍ය ආයතන පනත ගෙනාවා. අපි මේ ආයතනය සඳහා අපේ සංශෝධන ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. රටේ උසස් ගණයේ පෞද්ගලික වෛද්‍ය සේවාවක් පවත්වාගෙනයාම අපේක්‍ෂාවෙන් මේ සංශෝධන ඉදිරිපත් කරලා දැනට අවුරුදු 4ක් වෙනවා. මේ ආයතනය නාමික ආයතනයක් වශයෙන් පමණයි පවතින්නේ. මේ වන තෙක් සංශෝධන සහිතව නීති මගින් ස්ථාපිත වෙලා නැහැ.
ඒ වගේම තමයි අද කැස්ස හෙම්බිරිස්සාවටත් විශේෂඥ වෛද්‍යවරුන් ළඟට රෝගීන් අරන් යනවා. එවිට ඔහුට බලන්න සිදුවන රෝගීන් ප‍්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. විශේෂඥවරයාගේ අවධානයට ලක්විය යුතු රෝගියාට අවශ්‍ය අවධානය එවිට ලැබෙන්නේ නැහැ. එංගලන්තය ඇතුළු දියුණු රටවල සාමාන්‍ය වෛද්‍යවරයෙක් විසින් ලබා දෙන ලිපියක් හරහා පමණයි විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත රෝගියෙක් යොමු කරන්නේ. ඒ වගේම සමහර රෝගීන් දන්නෙ නැහැ තමන්ට තියෙන ලෙඬේට බෙහෙත් ගන්න ඕන මොන වෛද්‍යවරයාගෙන්ද කියලා. සමහර වෙලාවට මිගේ‍්‍රන්වලටත් අංශභාගයටත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට යනවා. මේ තත්ත්වය නියාමනය විය යුතුයි අනිවාර්යෙන්ම. සෞඛ්‍ය අමාත්‍යාංශයක්, රජයක් තිබෙන්නේ මේකට තමයි.
මේ වන විට ලංකාව තුළ හොර වෛද්‍යවරු 30000 ක් සිටිනවා. යාග හෝමවලින් පිළිකා හොඳ කරන, ඉන්දියානු ක‍්‍රමේට, චීන ක‍්‍රමේට කියමින් ලෙඩ හොඳකරන පුද්ගලයන් පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. මේ ආකාරයෙන් රටක වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. මුලින්ම මේ හොරු ප‍්‍රමාණය අල්ලගන්න ඕන.
මා පෞද්ගලිකව විශ්වාසකරන දේ තමයි දියුණු රටවල වගේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ අනුමැතිය සහිතව විශේෂඥවෛද්‍යවරයෙකු වෙත යොමුවන ක‍්‍රමයක් ලංකාවේත් නිර්මාණය කළ යුතු බව. එතකොට තමයි රෝගීන්ට අපහසුවකින් තොරව සෞඛ්‍ය සේවාව ලබා ගන්න පුළුවන්.
ඇක්ට් 16 විභාගය අසමත්ව සිටින විදේශ වෛද්‍ය උපාධිධාරීන් ගේ සේවය ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට ලබා ගැනීමේ කිසියම් හෝ ක‍්‍රමවේදයක් තිබෙනවාද?
වෛද්‍යවරුන් හදනවා කියන එකට විකල්ප මාර්ග නැහැ. වෛද්‍ය සභාව සිදුකරන්නේ වෛද්‍යවරුන්ව ආරක්‍ෂා කිරීම නොවෙයි. මිලියන 20 ක් ජනතාවට ආරක්‍ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීම තමයි වෛද්‍ය සභාව සිදුකරන්නේ. වෛද්‍ය සභාව සහ අපි බලන්නේ රෝගියෙකුගේ ජීවිතය නැතිකරන්නේ නැතුව බේරන්න පුළුවන් ක‍්‍රමවේදයක් ගැන. ඇක්ට් 16 පාස් වෙලා එන වෛද්‍යවරයෙකුට සමහරවිට කිලිනොච්චිය වගේ ප‍්‍රදේශවල තනියම පවා වැඩ කරන්න වෙනවා. ඉතින් ඔහුට රෝගියෙකුගේ ජීවිතය බේරෙගන්න බැරිනම් ඇතිවන තත්ත්වය මොකක්ද? එක්කෙනෙක්ට වෛද්‍යවරයෙක් වීමට අනුමැතිය දීම තුළ තවත් පුද්ගලයෙකුගේ ජීවිතය බිලිගන්න ඉඩදෙන්න පුළුවන්ද? එතැනදීයි වෛද්‍ය සභාව දැඩි තීරණයක ඉන්නේ. ඒ නීතිවලට පිටින් මානුෂික හේතු මත වෛද්‍යවරු බිහිකරන්න බැහැ.
වෛද්‍යවරයෙකුට අවශ්‍ය මූලික දැනුම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඇක්ට් 16 විභාගයේ සමත් වීමේ ලකුණු ප‍්‍රමාණය 45 දක්වා පහත දැමීම ගැන අපි වෛද්‍ය සභාව සමඟ එකඟ නැහැ.
එංගලන්තයේ අපි දකිනවා ඒ රටට පිටින් පැමිණෙන හෝ ඒ රටේ වෛද්‍යවරුන්ට උපාධියේ තත්ත්වය හැකිතාක් උසස් කොට පවත්වාගැනීම සඳහා විභාග තව තවත් අමාරු කරනවා.
අපිත් කළ යුත්තේ සමත් කරන ළකුණු ප‍්‍රමාණය 45 දක්වා අඩු කිරීම නෙමෙයි. ඔවුන්ට සමත් වීමට තරම් දැනුමක් නැත්තම් දැනුම ලබා දීලා මේ අය විභාගය සමත් වෙන ක‍්‍රමයක් හොයාගන්න එකයි.
ඉන්දියාවේ මූලික සුදුසුකම් සපුරා නැති අයට වෛද්‍ය උපාධි හදාරන්න විදේශ රටවලට යන්න දෙන්නේ නැහැ. මේ රටේ විභාග අසමත් වුණු අයත් පිටරට ගිහින් උපාධි අරන් එනවා. ඒ අයට ඇක්ට් 16 පාස් වෙන්න බැහැ. රටේ ජනතාවගේ පැත්තෙන් හිතනවානම් අපි කළ යුත්තේ කොහොම හරි පාස් කරන එක නෙමෙයි. වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒක පහළට දාන්න බැහැ.
ඇක්ට් 16 විභාගෙදී විශේෂඥ දැනුමක් බලන්නේ නැහැ. ළමා රෝග, මාතෘ රෝග, කායික විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව හා මානසික විද්‍යාව කියන දේවල මූලික දැනුම පමණයි බලන්නේ. ඒ දැනුම නැතුව වෛද්‍යවරයෙක් වෙන්න බැහැ.
වෛද්‍ය අධ්‍යාපනය කර්මාන්තයක් හැටියට හොඳටම කරන්නේ එංගලන්තයයි ඕස්ටේ‍්‍රලියාවයි. ඒවායේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් හෝ දෙකක් පමණයි. ඒවාට මුදල් එන්නේ රාජ්‍ය ආයතන හරහා.
ඉතින් අපිට බැරිද කොළඹ වෛද්‍ය පීඨය පුළුල් කරලා පිටරට සිසුන් 100 දෙනෙක් වසරකට ගෙන්න ගන්න. ඉතා විශාල රෝහලක් අපිට තිබෙනවා. ඒ හරහා විශාල විදේශ විනිමයක් රටට ලැබෙනවා. බංග්ලාදේශය, මාලදිවයින වගේ රටවල දැන් විශාල මධ්‍යම පන්තියක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඔවුන් ගුණාත්මක වෛද්‍ය අධ්‍යාපනයක් වෙමින් ලබන්න තැන් සොයමින් සිටිනවා. අපෙන් විදේශ විනිමය ගිලිහෙනවානම් ඒ සඳහා හොඳ වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍ය අනිවාර්යයෙන්ම ප‍්‍රමිතිය කියන එකයි.
මේ රටේ රූපලාවන්‍යාගාරවල ප‍්‍රමිතිය නැහැ කියලා අල්ලනවා නම් ඊට වඩා වැදගත් නැත්ද වෛද්‍යවරයෙකුගේ ප‍්‍රමිතිය ඊට වඩා වැදගත් නැත්ද වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය.
රෝගීන් සඳහා ලබාදෙන ඖෂධවල ප‍්‍රමිතිය පසුගිය කාලය පුරාම ප‍්‍රශ්න සහගත වුණා. ගුණාත්මක ඖෂධ ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව කෙසේ සකස් විය යුතුද?
මේකට ප‍්‍රධාන හේතුව ඖෂධ ප‍්‍රතිපත්තියක් නැති කම හා නීතිමය තත්ත්වයක් නොමැතිකම. ඖෂධ සැපයීමේ මූලික සිද්ධාන්තයක් තමයි ජීවිතාරක්‍ෂක ඖෂධ නොකඩවා සැපයිය යුතුයි කියන එක. අනෙක් කාරණය තමයි වෛද්‍ය නාමයෙන් ඖෂධ දෙන්න ඕන. අවසන් කරුණ හොඳ ප‍්‍රමිතියකින් අඩු වියදම් බෙහෙත් දෙන්න ඕන. අද වෙන කොට ඇමොක්සලින් වර්ග 100 ක් විතර තියෙනවා කිසිම ප‍්‍රමිතියක් නැහැ.
ඖෂධ සැපයීමේදී ටෙන්ඩර් පටිපාටියේ වංචා දූෂණ රාශියක් තිබෙනවා. සමහර නිලධාරීන් උවමනාවෙන්ම ඖෂධ හිඟයක් මවනවා. හදවත් ශල්‍ය අංශයෙන් 2010 දී ඉල්ලපු බෙහෙත් අද වෙනකම් ලැබිලා නැහැ. අපි මේ ඉන්නේ 2011 අවුරුද්දේ අන්තිම කාලේ. ඖෂධ නැති වුණාම අපි කරන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු ප‍්‍රමිතියකින් තිබෙන බෙහෙත් විශාල මිලකට ලබා ගන්නවා. ඒවට වගකිවයුතු නිලධාරීන්ට කිසිදු දඬුවමක් නැහැ. ඒ වගකිවයුතු නිලධාරියාව සමහර අවස්ථාවලදී රටයනවා බෙහෙත් හිඟයි අරන් එන්න කියලා. මහා භාණ්ඩගාරේ ලේකම්තුමා කිව්වා ඖෂධ සඳහා තවත් මුදලක් ලබාදෙන්න පුළුවන් කියලා. නමුත් ඔහුටත් අවශ්‍ය ඒ මුදල් නිසි තැන්වලට යොමුවන එකයි. නිසි ඖෂධ ප‍්‍රතිපත්තියක් යටතේ ඖෂධ ගෙන්වනවා නම් රජයට හැකියාව තිබෙනවා වසරකට බෙහෙත්වලට යොදවන බිලියන 16 ක මුදලින් වසර එකහමාරක අවශ්‍යතරම් ගුණාත්මක ඖෂධ ගෙන්නන්න.
http://ravayanews.wordpress.com/2011/10/28/209/
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment