ඇමැතිගේ පොරොන්දුව ගැන විමසිල්ලෙන්
ඒමන්ති මාරඹේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අමතර සාමාජිකයන් දෙදෙනකු පත්කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් පියවර ගැනීම සම්බන්ධව විරෝධය පාමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (20 දා) උදෑසන 8 ට කොළඹ ජාතික රෝහලේ දියත් කළ සංකේත වෛද්‍ය වැඩ වර්ජනය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ හා සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ගේ උණුසුම් වචන හුවමාරු මධ්‍යයේ උදෑසන 10.30 ට පමණ තාවකාලිකව අත්හිටවනු ලැබීය.
වෛද්‍ය සභාවට පත්කරනු ලැබූ අමතර සාමාජිකයන් දෙදෙනාගෙන්, මතභේදයට තුඩු දී තිබූ සාමාජිකයාගේ පත්වීම අවලංගු කරන බවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබාදුන් ලිඛිත පොරොන්දුව මත වර්ජනය ඇරැඹීමටත් පෙර එය නිමවූ බවට සංගමයේ ඇතැමුන් ජනමාධ්‍යයන්ට ප්‍රකාශ කිරීම සම්බන්ධව උරණ වූ ජාතික රෝහලේ වෛද්‍යවරුන් එම පොරොන්දුව පිළිබඳව සංගමයේ සාමාජිකත්වය සමග සාකච්ඡා නොකර තීරණ ගැනීම පිළිබඳ විධායක කමිටු සාමාජිකයන්ට ඊයේ උදෑසන පැවැති රැස්වීමකදී දෝෂාරෝපණය කර ඇතැයි ජාතික රෝහල් ආරංචි මාර්ග පැවසීය.
කෙසේ වුවද උණුසුම් වාද විවාද මධ්‍යයේ පැවැති මෙම රැස්වීම අවසානයේ දී ජාතික රෝහල් වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය ලබන බදාදා (25 දා) දහවල් 12 තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරිණි. සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ලබාදී තිබූ පොරොන්දුව ලබන බදාදා වන විට ඉටු කරන්නේද යන්න පිළිබඳව විමසා බලා එහි ප්‍රතිඵලය මත නැවත වර්ජනය ඇරැඹීම පිළිබඳව තීරණයක් ගන්නා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ ප්‍රකාශකයෙක් "දිවයින" ට පැවසීය.
Divaina 2012.01.21
No comments:
Post a Comment