Saturday, January 28, 2012
එහෙත් ප්‍රධාන හෙදි නිලධාරිනිය දිගින් දිගටම කළ ඉල්ලීම මත රෝගියා දැඩිසත්කාර ඒකකයට යවන්නට වෛද්‍යවරයා එකඟ වූයේය.
ඔහු සදාකාලික රෝගියෙකු වූයේ කාගේ නොසැලකිල්ලෙන්ද...
එක් සත්‍ය කතාවක් කතාන්දර තීරය තුළින් මා පසුගිය වතාවේ ඉදිරිපත් කළේ දක්‍ෂිණ ලංකාවේ අගනගරය වූ ගාල්ලේදී මීට මාස කිහිපයකට පෙර සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ කතා පුවතකි. එක් නරුම වෛද්‍යවරයෙකුගෙන් සේවාව ලබන්නට පැමිණි මාතර ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක් මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීමක් ඇසුරින් ගොඩනැඟුණු ඒ කතාන්දරයෙන් පසු අප වෙත ලැබුණු ප්‍රේක්‍ෂක පාඨක ප්‍රතිචාර අති මහත්ය. ඒ අතර එවන් කතා පුවත් රාශියක්‌ද ලැබී තිබිණි. මේ සතියේ ඔබ හමුවේත් දිග හැරෙන්නේ අප සෞඛ්‍ය සේවාවට අදාළ එවැනිම තවත් අමිහිරි කතා පුවතකි.
මේ කතාවේ කතා නායකයාට අපි සමරනායක යෑයි කියමු. සමරනායක විවාහකයෙකි. බිරිඳ හා කුඩා දියණියන් දෙදෙනකු සමග ඔහු ජීවත් වූයේ වයඹ පළාතේ නාරම්මල නම් ප්‍රදේශයේ සුළු ගොවිතැන් හා ව්‍යාපාරික කටයුතුවලට පින්සිද්ධ වන්නටය.
මීට වසර කිහිපයකට පෙර ඔහුට මුහුණ දෙන්නට සිදුවූ, අප මේ කියන අවාසනාවන්ත සිදුවීම් මාලාවේ ආරම්භය වන්නේ උණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන්නට ප්‍රදේශයේ සාමාන්‍ය පෞද්ගලික වෛද්‍යවරයෙකු හමුවීමට ගිය අවස්‌ථාවකි.
එම වෛද්‍යවරයාගේ ප්‍රතිකාර අනුව සාමාන්‍ය පරිදි උණ රෝගය සුවපත් වුවත් ඊට දින දෙකකට පමණ පසු අලුයම් යාමයක දී ඔහු තවත් අකරතැබ්බයකට මුහුණ පෑවේය. උදරයේ දකුණු පසින් නැගී ආ අසාමාන්‍ය වේදනාවක් උග්‍ර අතට හැරීම නිසා නිවසේ උදවිය ඔහුව ළඟම පිහිටි රජයේ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේය. එවකට එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරියගේ දැඩි පරීක්‍ෂාවකින් පසුව වේදනා නාශක ලබාදී ඇතත් සමරනායකට ඉන් කිසිදු සුවයක් නොවීය.
ඉන් අනතුරුව සමරනායකව ප්‍රදේශයේ ප්‍රධාන රෝහල වෙත යවන්නට ප්‍රධාන වෛද්‍යවරිය තීරණය කළ අතර ඒ අනුව ප්‍රධාන රෝහලේ 24 වන වාට්‌ටුව වෙත ඇතුළත් කරනු ලැබුවේය.
එදින රාත්‍රියත් ඔහු සුපුරුදු වේදනාවෙන්ම නිදි වර්ජිතව ගෙවා දැමු අතර පසුදා උදයෙන්ම මුත්‍රා පරීක්‍ෂණයකින් පසු පරීක්‍ෂණ කිරීම ආරම්භ කෙරිණි.
මුත්‍රා සමග රුධිරය පිටවීමක් ඇති බව නිගමනය කළ වෛද්‍යවරු සමරනායකට තව තවත් ස්‌කෑන් පරීක්‍ෂණ කිහිපයක් කළේය.
ඔයාගේ මුත්‍රාශයේ ගලක් තියෙනවා. අපි ඒක ඔපරේෂන් එකකින් ඉවත් කරනවා. ඊට පස්‌සේ ඔයාට සනීප වේවි. දැනට මේ කොළයට අත්සනක් දෙන්න. මේක අත්සන් කරන්නේ ඔපරේෂන් එකට ඔයා එකඟයි කියලයි.
වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත සමරනායක යම් ලියවිල්ලකට අත්සන් තැබීය. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ මේ වේදනාවෙන් මිදීමට බැවින් ලිපියකට නොව ලිපි ගණනාවකට වුව අත්සන් තැබීම පිළිබඳ ඔහුට කුකුසක් නොවීය.
සමරනායකව සැත්කම සඳහා ශල්‍යාගාරයට ගැණින. කාලය ගෙවී ගියේය. ශල්‍යකර්මය නිමවූ සෙයකි. රෝගියා නැවත ශල්‍යාගාරයෙන් ඉවත්කර 29 වාට්‌ටුවට යොමු කරන විට ඔහුට පියවි සිහිය ලැබී නොතිබිණි.
පසුදා පියවි සිහිය සමරනායක වෙත එළඹෙන විට ඔහුට දැනුණු වේදනාවෙහි කෙළවරක් නොවීය. අවසිහියෙන් මෙන් දඟලමින් කෑ ගසමින් සිටි සමරනායක වෙතින් අසාමාන්‍ය තත්ත්වයක් ප්‍රකට වූ නිසා වාට්‌ටුවේ කාර්ය මණ්‌ඩලය වඩ වඩාත් කලබල වූහ.
වාට්‌ටුව බාරව සිටි ප්‍රධාන හෙදි නිලධාරිනිය බුද්ධිමත් කාන්තාවකි. ඕ සමරනායකගේ ඇඳෙහි රෝග විනිශ්චය ලිපි ගොනුව හා වත්මන් තත්ත්වය අඩංගු ලිය කියවිලි හොඳින් කියවා බලා සමරනායක සමග ඉතා කරුණාවන්තව කතාකළාය. උදරයේ වේදනාව පැමිණි ස්‌ථානය හා ඒ වන විට සමරනායකගේ ශරීරයේ තැන තැන මතුපිටින් මතුව තිබූ ලේ පැහැති පැල්ලම් ඇයගේ දැඩි අවධානයට ලක්‌විණි.
අනතුරුව ඕ අනෙකුත් හෙදියන් හා සාකච්ඡා කළාය. "මට පේන හැටියට නම් මේ පේෂන්ට දැන් තියෙන්නේ ඩෙංගු ලක්‍ෂණ. ඒත් වෙන දේකට ලොකු ඔපරේෂන් එකක් කරලා. දැන් තියෙන තත්ත්වයේ හැටියට අයි.සී.යූ. එකට නොදැම්මොත් මෙයාගේ තත්ත්වය නරක් වෙන්න බැරි නැහැ... අපි ලොකු ඩොක්‌ට ට කියමු."
වාට්‌ටුව භාර වෛද්‍යවරයා ඒ අනුව පැමිණියේ හෙදියන්ගේ බලවත් ඉල්ලීම පරිදිය. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව ඔහු අසාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බව ඔහු නිගමනය කළේය. එහෙත් ප්‍රධාන හෙදි නිලධාරිනිය දිගින් දිගටම කළ ඉල්ලීම මත රෝගියා දැඩිසත්කාර ඒකකයට යවන්නට වෛද්‍යවරයා එකඟ වූයේය.
ඒ වන විට දැඩි වේදනාවෙන් පීඩිතව අවසිහියෙන් සිටි සමරනායක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. එහි දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් දින කිහිපයක් ප්‍රතිකාර ලබා පියවි තත්ත්වයට පිවිසි ඔහු අද ජීවත් වන්නේ පූරුවේ කළ පින් මහිමයක් අනුව ඉහතකී ප්‍රධාන හෙදි නිලධාරිනිය ඇතුළු තවත් පිරිසකගේ නිසි අවධානය ඔහු වෙත යොමුවූ නිසාය.
සමරනායකට සියල්ල හෙළිදරව් වූයේ පසුවය. මුලදී ඔහුට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගයයි. ඒ බැව් වරදවා වටහා ගෙන ඔහුට ප්‍රතිකාර කර ඇත්තේද ශල්‍ය කර්මයකට ලක්‌කර ඇත්තේද ඇපැන්ඩිස්‌ට් නම් රෝගී තත්ත්වයටය. ශල්‍යාගාරය තුළදී මේ පිළිබඳව ඇතිවූ සැකයක් නිසා කරමින් සිටි ශල්‍යකර්මය නවතා නැවත තුවාලය වසා දමා ආපසු වාට්‌ටුවට එවන්නට තරම් වෛද්‍යවරු කලබලවී ඇත. එහෙත් ඔවුන් සියළු දෙනාම ඉන්පසුව හැසිරී ඇත්තේ එවන් කිසිවක් නොවූ පරිදිය.
දැඩිසත්කාර ඒකකයේදී ඔහුට ඩෙංගු රෝගය සඳහා නිසි ප්‍රතිකාර ලැබිණි. සිදුවූ වරද පිළිබඳ කිසිවෙකු කතා නොකළහ. අතීතය අමතක කර රෝගයට නිසි ප්‍රතිකාර ගෙන රෝගී තත්ත්වය මග හරවා ගත් සමරනායක ගෙදර යන්නට උත්සාහ කළේය.
සමරනායකගේ ළඟ ඥතියෙකු වන තවත් වෛද්‍යවරයෙක් කොළඹ සිට සමරනායක ගැන මැදිහත් වූයේය. සිදුවූ සියල්ල සක් සුදක් සේ දැන ගත්තේ ඔහුය. ඔහුත් වෛද්‍යවරයෙක් වූ බැවින් වෛද්‍යවරුන් අතින් වී ඇති අත් වැරැද්ද ප්‍රසිද්ධ කිරීමට ඔහු ගියේද නැත. අවශ්‍ය වන්නේ රෝගියා අවදානමින් ගලවා ගැනීමය. ඔහු එය කළේය. ඒ වන විට ඩෙංගු රෝගයට ලබාදුන් මිල අධික ඖෂධවලට සමරනායකගේ බිරිඳට විශාල මුදලක්‌ද වැයවී තිබිණි. සියල්ල අමතක කර අලුතින් ජීවිතය පටන් ගන්නට සමරනායක බිරිඳ සමග කතා කර ගත්තේය. ඩෙංගු සුව විය. එහෙත් අනවශ්‍ය ශල්‍යකර්මය නිසා ඇතිවූ තුවාලය සුව නොවීය. තවත් මාස එක හමාරක් රෝහලේම නතරවී ප්‍රතිකාර ගත් සමරනායකට උවැටන් කරන්නට සිය බිරිඳ සමදරා දරු දෙදෙනා හා කළ යුද්ධය සුළු පටු නොවීය. ඕ ජීවිතයෙන් හොඳටෝම හෙම්බත්ව සිටියාය.
අනවශ්‍ය ශල්‍යකර්මය නිසා ඇතිවූ තුවාලය සුව නොවූවේ තුවාලයෙන් වතුර වැනි යමක් නිතර නිකුත් වන්නට පටන් ගත් නිසාය. මේ පිළිබඳ තුවාලයට බෙහෙත් කරන සාමාන්‍ය හෙදියන් හා උපස්‌ථානයකයන් කොතරම් කලබල වූවත් වාට්‌ටුව භාර වෛද්‍යවරයා කීවේ කලබල විය යුතු නැති බවය.
හමට යටින් එකතු වුණ දියර තුවාලයෙන් එළියට එනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඔයා හොඳට ඇවිදින්න. නැගිටින්න. නැතුව තුවාල සනීප වෙන්නේ නැහැ.
වෛද්‍ය උපදෙස් අනුව නැගිට අපහසුවෙන් ඇවිද්දත් තුවාලය නිසා ආ අධික වේදනාව සමරනායකට දරාගත නොහැකි විය. ප්‍රශ්නයට විසඳුමක්‌ද නොවීය. තුවාලයද සනීප නොවීය. ඉන් එන දුඟඳ හමන දියරය ද නතර නොවීය.
"කරන්න දෙයක් නැහැ. මේක අපේ නරක කාලයක්. මට බැහැ ඔයාලට තව තවත් දුක් දෙන්න. අපි ටිකට් කපන් ගෙදර යමු. දැන් තියෙන්නේ තුවාලයනේ. ඕක කල් ගිහින් සනීප වේවි. ඇරත් බෙහෙත් දානවා ඇර වෙන විසඳුමක් නැහැනේ මෙයාලට..."
සමරනායක හා සමදරා කතා කර ගත්තේය. ඒ අනුව ටිකට් කපාගෙන ගෙදර යන්නට තීරණය කළහ. සමරනායකගේ හෙවනැල්ල මෙන් මේ දිනවල ළඟින් සිටි හෙදි නිලධාරිනියට මුව නොසෑහෙන ලෙස ස්‌තුති කළ සමරනායක දිගු කලකට පසු නැවත නිවසේ වහළ යටට ගියේය.
ටික දිනක් ගතව ගියේය. සමරනායකගේ උදරයට පහළ වූ තුවාලය සුව නැත. ඉන් පිටතට එන දියරය ඔහුට මහත් වදයකි. විශේෂයෙන්ම තමන් නිසා ගෙදර උදවිය විඳින වද වේදනාව සමරනායකට මහත් හිසරදයක් වී තිබිණි. ඔහු දහ අතේ කල්පනා කරන්නට පටන් ගත්තේය. නැවත වරක් හිතවත් වෛද්‍යවරයෙකුගේ පිහිට ඔහුට ලැබෙන්නේ ඔය අතරතුරය. ඒ අනුව ගම්පහ ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළුවන්නට සමරනායකට ඉඩ කඩ ලැබෙයි. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ ඉතා කාරුණික වෛද්‍යවරු යටතේ හොඳ පරීක්‍ෂණයකට ලක් වන්නේ ඔය අතරතුරය.
තුවාලය සුව නොවන්නටත් ඉන් යම් දියරයක් පිටතට ගලා එන්නටත් හේතුව අනෙකක් නොව කලින් කළ ශල්‍යකර්මය නිසා එක් වකුගඩුවක සිට මුත්‍රාශයට ගමන් ගන්නා නාලය යම් සිදුරුවීමක් නිසා බව වෛද්‍යවරු දැන ගත්හ. මේ වරද නිවැරදි කිරීමට නම් කොළඹ ජාතික රෝහලට ඇතුළත් විය යුතු බව සමරනායකට වෛද්‍යවරු කීහ.
දුක් විඳීමේ හා වේදනා විඳීමේ කෙළවරක් නැත. සමරනායකත් බිරිඳත් යළිත් සියලු අඩුම කුඩුම කරගහගෙන බැරි බැරිගාතේ කොළඹ ආහ. නිවැරදි පරීක්‍ෂණ හා රෝග පරීක්‍ෂාවකින් පසුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු සමරනායකට නිසි සැත්කමකට බඳුන්කර ශරීරයේ දකුණු වකුගඩුවේ සිට මුත්‍රාශයට ගමන් ගන්නා නාලය යථා තත්ත්වයට පත් කළේය.
"ඔයාගේ ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේක වෙලා මාස 4 ක් විතර ගත වෙලා තියෙන නිසා වකුගඩුවගැන විශ්වාසයක් තියන්න බැහැ. දකුණු වකුගඩුවට විෂ බීජයක් ගිහින් වගෙයි පේන්නේ. ඒක හොඳටම ඉදිමිලා. සමහර විට ජීවිතය බේර ගන්න ඒක අයින් කරන්න වේවිද දන්නේ නැහැ. අපි බලමුකෝ..."
සමරනායකගේ ඇඟ හරහා විදුලියක් ගමන් කළාක් මෙන් විය. යම් කෙනෙකුගේ අත්වැරැද්දකින් සිදුවූ විපත්තිය කෙතරම් භයානකද... තමන් ඒ වෙනුවෙන් ගෙවා ඇත්තේ කොතරම් වන්දියක්‌ද... ඒත් ඒ වන්දිය තවම ඉවර නැත්තේ කාගේ නම් පවකින්ද...
සමරනායක මේ සියල්ල එක සුසුමක කැටි කළ සිතුවිල්ලක් ලෙස වාතලයට මුසුකර හිත හදා ගත්තේය. ඔහුට දරාගත නොහැකි වූයේ සිය ප්‍රිය බිරිඳ සමදරා විඳින වද වේදනාවය. අපි එන දුක් කරදරයකට එකට මුහුණ දෙමු. සමදරා සමරනායකගේ හිස අතගාමින් කීවාය. ඔහු කඳුළු සඟවාගෙන සිනාවෙන්නට උත්සාහ කළේය. නැවත නිවසට ගිය සමරනායක සුපුරුදු සාමාන්‍ය ජීවිතයට හුරු වන්නට පටන් ගත්තේය. මාස 5 ක් පමණ කාලයක් කිසිදු රැකියාවක් නොකර එක දිගට වියදම් පමණක් කිරීම හේතුවෙන් අග හිඟකම් මෙන්ම ණය තුරුස් වල කෙළවරක් නොවීය. බිරිඳගේ කණකර හා වටිනා දේ සියල්ල උකස් කඩ වලය. නැතිනම් විකුණා දමාය. යළිත් ජීවිතය අලුතින් පටන් ගත යුතුය. එහෙත් කරදරවල කෙළවරක් නැත.
දිගින් දිගටම සහභාගි වූ සායනවලදී කළ ස්‌කෑන් පරීක්‍ෂණවලට අනුව සමරනායකගේ දකුණු වකුගඩුව හොඳටම අක්‍රිය වී නරක් වී ඇති බව පෙනිණි. වෛද්‍යවරු කීවේ එය ඉතා ඉක්‌මනින් ඉවත් කළ යුතු බවකි. එහෙත් එම දිනවල රජයේ රෝහල්වල පැවැති බෙහෙත් හිඟය, වෛද්‍ය අරගල හා ශල්‍යාගාර පෝලිම් දිග් ගැස්‌සීම වැනි ප්‍රශ්න නිසා ශල්‍යකර්මය තව තවත් කල් යන බව පෙනිණි. මේ හේතුවෙන් සමරනායක ඊළඟට පිහිට පැතුවේ පෞද්ගලික අංශයේය.
දන්නා කියන වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් මහනුවර පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවූ සමරනායක ශල්‍යකර්මය ගැන කතා කර ගත්තේය. ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය ලොකු මුදල සොයාගත් ඔහු මහනුවරදී එම ශල්‍යකර්මය සිදුකරවා ගත්තේය. ගිය අධික මුදල ප්‍රශ්නයක් වුවද ඒ කරදරය එතනින් නිම කර ගත හැකි වීම ඔහුට මහත් අස්‌වැසිල්ලක් විය.
අද වන විට සමරනායක ජීවත් වන්නේ වම් වකුගඩුවේ හා බේත් හේත්වල ආනුභාවයෙනි. සමරනායකත් සමදරාත් සිඟිති දියණියන් දෙදෙනාත් දැන් නාරම්මල ප්‍රදේශයේ ජීවත් වෙති. සුපුරුදු ජීවිකාවන් කරමින් මේ දෙදෙනා නැවත ජීවිතය අලුතින් පටන්ගෙන තිබේ. එහෙත් වෙනදා තරම් මහන්සිවී වෙහෙස වී වැඩ කරන්නට දැන් සමරනායකට නොහැක. රජයේ වෛද්‍ය සේවයේ ඇති නොසැලකිල්ල, අපරීක්‍ෂාකාරී බව හා කලබලකාරී බව විසින් අද ඔහුව සදාකාලික රෝගියෙක් කොට අවසන්ය.
වෛද්‍ය සේවය ලංකාවේ ඇති ගරු ගෞරවණීය වෘත්තිය බව සැබෑය. එය අපි හිස් මුඳුනින් පිළිගන්නට සූදානම්ය. මේ මුලු රටේම ජනතාව ඊට නිසි ගෞරවය පුදන්නටද සූදානම්ය. එහෙත් ඒ ගෞරවය ඒ සැලකිල්ල ඒ උත්තරීතර බව රැක බලා ගන්නට සමස්‌ත වෛද්‍ය සේවාවම සූදානම්ද යන ප්‍රශ්නය අපට ඇත.
අත් වැරදි සිදුවන්නේ මිනිස්‌සුන් අතිනි. නිකම් සිටින මිනිස්‌සුන් අතින් නොව වැඩකරන මිනිස්‌සුන් අතිනි. එහෙත් ඒ අත්වැරැද්ද තවත් කෙනෙකුගේ ජීවිතයක් හා සෙල්ලම්කරන අත්වැරද්දක් නම් ඊට සමාව හිමිවිය යුතුද? පුවත්පත් කලාවේදියෙකු අතින් වරදක් වූ විට සිදුවන්නේ බොරුවක් ඇත්තක් වීමය. පොලිස් නිලධාරියෙකු අතින් වරදක් වූ විට සිදුවන්නේ නිවැරදිකුරුවෙකු වැරදිකරුවෙකු වීමය. විනිසුරුවකු අතින් වරදක් වූ විට සිදුවන්නේ වරදකරුවෙකු නිදහස් වි ගෙදර යැමය. එහෙත් වෛද්‍යවරයෙකු අතින් වරදක් වුවහොත් වන්නේ කුමක්‌ද. සිදුවන්නේ රෝගියෙක් මරණයට පත්වීමය. ඒ වරද නැවත හැඩ ගැස්‌සවිය හැකිද...
සමාජයේ, සාමාජිකයකු ලෙස ඔබ මුහුණ පෑ ගැටලු තිබේද. සමාජයෙන්, නීතියෙන්, පොලිස් සේවයෙන්, වෛද්‍ය සේවයෙන්, රාජ්‍ය සේවයෙන් ඔබට විඳින්නට ලැබුණු අසාධාරණකම් තිබේද? අපට ලියා එවන්න.
එක් සත්‍ය කතාවක් ලෙස අප එය රට හමුවේ තබන්නෙමු.
එක් සත්‍ය කතාවක්
ඉරිදා දිවයින,
උපාලි පුවත්පත් සමාගම,
223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.
බුලිත ප්‍රදීප් කුමාර
Divaina 2012.01.29
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment