විදේශ වෛද්‍ය උපාධිධාරීන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
සුපුන් පෙරේරා
හර්ෂා රූපරත්න විසින් රාවය පුවත් පතට ලියන ලද වෛද්‍ය සභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ (2011 ජුනි 26 රාවය ) ලිපිය කියවීමෙන් පසුව එම ලිපියේ අන්තර්ගතය ගැන අදහස් වෛද්‍යවරුන් රැසකගෙන් විමසුවෙමි. ඔවුන්ගේ අදහස් විශාල පරාසයකට අයත් වූ හෙයින් ඔවුන්ගේ අදහස් ද මගේ විමර්ශනයන්ද කැටි කොට මෙම ගැටලුව ගැන වැඩි දුරටත් ලිවීමට මට සිදු විය. මෙම ලිපියේ සඳහන් ඇතැම් කරුණු අනාවරණය කරන ලද්දේ වෛද්‍යවරුන් විසිනි. ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන බවට දුන් පොරොන්දුව නිසා එම මතභේදාත්මක කරුණු මිස ඒවා ලැබුණු මුලයන් ගැන ලිවීමට නිදහස නැත. නමුත් ඕනෑම අයෙකුට මෙම ලිපියේ අඩංගු කරුණු පිබඳව සොයා බැලීමට නිදහස තිබේ.
හර්ෂා රූපරත්න විසින් හෙළි කරන පරිදි ශ්‍රී ලංකාව අනෙක් රටවල් හා සසඳද්දී ප්‍රබල වෛද්‍ය හිඟයකට මුහුණ පා සිටින රටකි. මෙරට මිනිසුන් 1820කට වෛද්‍යවරුන් සිටින්නේ එක් අයෙකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලින් උපාධිය හදාරා වාර්ෂිකව පිටවන 950ක පමණ වෛද්‍යවරුන් සංඛ්‍යාව ලංකාවේ සෞඛ්‍ය සේවාව සැපයීම සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවේ. තවද මෙම දේශීය උපාධිධාරින්ගෙන් 10%කට වැඩි පිරිසක් වාර්ෂිකව සිය අධ්‍යයනයන් හමාර කොට විදේශ ගතවේ. එම නිසා ලංකාවේ බොහෝ රෝහල් වෛද්‍යවරු නැති නිසා වැසි යාමේ තර්ජනයට මුහුණ දී තිබේ. වාර්ෂිකව 125ක් වැනි ප්‍රමාණයක් පිටරට වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ලබා ලංකාවට පැමිණෙති. ඔවුන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගත් කල වසරක් පාසා දේශීය වෛද්‍ය පාසල්වලින් ද පිටවන උපාධිධාරීන් කණ්ඩායමේ හා පිටරට වෛද්‍ය උපාධිධාරීන්ගේ සංඛ්‍යාවේ එකතුවෙන් 12%කි.හර්ෂා රූපරත්න පෙන්වා දෙන ආකාරයට මෙවන් තත්ත්වයක් පවතිද්දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් වෙනත් රටවලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන වෛද්‍යවරුන්ට දක්වන අසාධාරණ සැලකිල්ල දෙස බලද්දී පෙනීයන්නේ මෙරට අසරණ රෝගීන් හිතාමතාම අපහසුතාවට පත්කිරීමේ ක්‍රමවේදයක් වක්‍රව වෛද්‍ය සභාව අතින් සිදුවන බවයි.
වැඩිදුරත් කරුණු දක්වන හර්ෂා රූපරත්න
..........පිටරට වෛද්‍ය උපාධිධාරීන් ලංකාවට පැමිණි පසු ඔවුන් සම්බන්ධ වගකීම් සියල්ලක්ම පාහේ දරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. විදේශ රටවල්වලින් වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුදෙනාම වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයට මුහුණ දී ඉන් සමත් විය යුතුය. එම විභාගය ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන විභාගය ලෙස හඳුන්වයි. විදෙස් වෛද්‍ය උපාධිධාරීන් මැසිවිලි නගන්නේ මේ විභාගය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ක්‍රියාකරන්නේ කිසිදු විනිවිදභාවයකින් තොරව බවයි. ඔවුන් නගන ප්‍රධාන චෝදනාව වන්නේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට හා විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට පවත්වනු ලබන එකම විභාගයකදී ඔවුන් දෙපිරිස සමත්වීම සඳහා ලබාගත යුතු ලකුණු ප්‍රමාණය එක් එක් පිරිසට වෙනස් බවයි. එනම් දේශීය උපාධිධාරීන් එම විභාගයෙන් 30%ක් ලබාගත යුතු වන විට විදෙස් උපාධිධාරීන් 50%ක් ලබාගත යුතු බවයි. මෙය අසාධාරණ සීමාවක් බව හා ලබාදෙන ප්‍රශ්න පත්‍රය වෛද්‍ය උපදේශකවරයකුටවත් පිළිතුරු ලිවීමට නොහැකි ආකාරයේ ඉතා අමාරු ප්‍රශ්න පත්‍රයක් බවයි. ඉන් 50%ක් ලබාගැනීම සිහිනයක් බවත්, එම නිසා දිගින් දිගටම එම විභාගය අසමත් වන බවත් ඔවුහු පවසති.
වෛද්‍ය සභාවේ දූෂිත භාවය පිළිබඳව ලිඛිත සාක්ෂි තිබේ. එම සාක්ෂි වලින් පෙනී යන පරිදි
1. විභාගයට මුහුණ නුදුන් උපාධිධාරීන් විභාගයෙන් සමත්යැයි වෛද්‍ය සභාව විසින් ලියුම් යවා තිබේ.
2. එකම විභාග අංකය කිහිප දෙනකුට ලබා දුන් අවස්ථා ඇත.
3. අපේක්ෂකයන්ට ලබාදී ඇත්තේ ප්‍රශ්න පත්‍රවල ඡායා පිටපත්ය.
4. ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී වාචික පරීක්ෂණ සමත්යැයි නිවැරදිවීම් සිදුව ඇත. (වාචික පරීක්ෂණ සඳහා නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් නොකෙරේ.)
5. විභාගය සමත්යැයි සඳහන් ලියුමක් අපේක්ෂකයන් අතට පත් වුවද වෛද්‍ය සභාවට ගොස් බලද්දී විභාගය අසමත් ලෙස සටහන්ව ඇත.
6. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වී සිටි උසස් පෙළ ඉහළම ලකුණු ලබාගත් ශිෂ්‍යයන් රජය විසින් පිරිනමන ලද විදේශ පරීක්ෂණයකට ගොස් අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණි පසුවද ඔවුන්ට ලියාපදිංචි කිරීම පවා වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කළ අවස්ථා ඇත.
(වෛද්‍ය සභාවට විස වූ විදෙස් උපාධිධාරියෝ හර්ෂා රූපරත්න 2011 ජුනි 26 රාවය )
හර්ෂා රූපරත්නගේ පෙන්වාදීම් වලට හැර අප විසින් කරන ලද විමර්ශන වලදී පහත කරුණු අනාවරණය විය.
පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් වැඩි ආයාසයකින් තොරව මෙම ඊ.ආර්.පී.එම්. නැත්නම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සඳහා පවත්වන ACT 16 විභාගය සමත් වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එවැනි වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් වෙනම විශේෂ විභාගද පවත්වා ඔවුන්ව එතර කරවා තිබේ. මෙවැනි වරප්‍රසාදිත දරුවන් දැන් බොහෝ රෝහල් වල සේවය කරති. උදාහරනයක් ලෙස ශල්‍ය වෛද්‍ය රීශාක් බදුර්දීන් ගේ පුතා ඉගෙන ගත්තේ පකිස්ථානයේ වෛද්‍ය පාසලකය. අනෙකුත් සිසුන් විභාගය දෙතුන් වර කඹුරද්දී ඔහුගේ දරුවා එක පෑන් පාරින් සමත් කොට තිබේ. දේශපාලඥයන්ගේ දරුවන්ටද මෙම වරප්‍රසාදය හිමි විය. අමාත්‍ය ජී. එල් පිරිස්ගේ දියණිය අතිශයින්ම වාසනාවන්ත වුවාය. ඇය විදේශ අධ්‍යාපනය හමාර කොට ලංකාවට පැමිණ මසක් යාමට පෙර ඇයව කඩිනමින් සමත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන තිබේ.
විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනියම් ලෙසින් කියයි. මෙයද පිළිගත නොහැකි කරුණකි. ලෝක ශ්‍රේණි පටිපාටිගත කිරීම් අනුව ලංකාවේ වෛද්‍ය විද්‍යාල යුරෝපයේ , ඉන්දියාවේ , නේපාලයේ පමණක් නොව අප්‍රිකාවේ බොහෝ විශ්ව විද්‍යාල වලට වඩා පහතින් සිටිති. කොළඹ විශ්ව විද්‍යාලය ආසියාවේ විශ්වවිද්‍යාල අතරින් අන්තිමයා ය. . දේශීය විශ්ව විද්‍යාලවලට තේරෙන සිසුන් සියල්ලම දක්ෂ සිසුන් ලෙස වර්ගීකරණය කිරීමද නිරවද්‍ය නොවේ.
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට විශාල ප්‍රතිශතයක් සිසුහු දේශීය විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබති. දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අඩු ලකුණු වලට පුත්තලම හම්බන්තොට , මොනරාගල වැනි දිස්ත්‍රික් වලින් දේශීය වෛද්‍ය විද්‍යාල වලට ගිය සිසුන් නිසා වැඩි ලකුණු ප්‍රමාණයක් උසස් පෙලට ලබාගෙන දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා දේශීය වෛද්‍ය විද්‍යාල වලට යාමට නොහැකිවන කොළඹ ඇතුළු අනෙකුත් දිස්ත්‍රික් වල සිසුන් වෙනත් විකල්ප අධ්‍යාපන ධාරාවන්ට යොමු වෙති. සමහරෙකු විදේශ රටවල විශ්ව විද්‍යාල වලට යති. දැනුම සහ පුහුණුව රඳා ඇත්තේ වැඩිපුරම පුද්ගලයා මත මිස විශ්ව විද්‍යාලය මත පමණක්ම නොවේ. විදේශ වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙනගෙන ඉතා දක්ෂ ලෙස සේවය කරන වෛද්‍යවරු සෞඛ් සේවයේ සිටිති. කොළඹ මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස වසර 11 ක කීර්තිමත් සේවයක් කල දොස්තර හෙක්‌ටර් වීරසිංහ ද රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරයෙකි.
කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දොස්තර ලලිත් පෙරේරා ලංකා වෙබ් අඩවියට ලියු ලිපියකින් විදේශ වෛද්‍ය උපාධිධාරීන් ගැන ඇති දුර්මත සහ ඔවුන්ට සෞඛ් සේවයේදී කරන ලද හතුරුකම් ගැන පෙන්වා දෙයි. ඔහු පවසන අන්දමට ප්‍රියානි සොයිසා / අර්සකුලරත්න නඩුව , ප්‍රභාත් මානවසිංහ නඩුව, ග්‍රැන්විල් රොද්‍රිගු ගේ නොසැලකිලිමත් මරණය, ආදී විශාල නඩු ප්‍රමාණයක් වැටී ඇත්තේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට නොව දේශීය උපාධිධාරීන්ට බවයි. එසේම අප විසින් කල විමර්ශනයකදී වෛද්‍ය වෘත්තිකයන් විසින් සිදු කරන කාම අපරාධ වලට වැඩි වශයෙන් අසුවී ඇත්තේ දේශීය වෛද්‍ය උපාධිධාරීන්ය. ( උදාහරණ ලෙස පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්‌ත්‍රී දූෂණ චෝදනා ලැබ මෑතකදී රක්‍ෂිත බන්ධනාගාරගත විය, කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්න ලදී , මීගමුව රෝහලේ සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා චමිලා නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලදී එසේම මෙම අපකීර්තිමත් ලැයිස්තුවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගැබිනියක් දුෂණය කල වෛද්‍යවරයාද අඩංගු විය යුතුය. ) මෙම ප්‍රබල තර්ක හමුවේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට විශ්ව විද්‍යාලවල උපාධිධාරීන්ට වඩා දැනුමෙන් සහ පුහුණුවෙන් අඩු බව හිතලුවක් බවත් එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරුවත වසා ගැනීමට යොදා ගන්නා ගොබෙල්ස් ක්‍රමයේ ප්‍රචාරයක් බවත් පෙනී යයි.
වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඉතා දක්ෂ ලෙස රෝගීන්ට සෙත සලසන දේශීය වෛද්‍ය උපාධිධාරීන් රාශියක් ලංකාවේ රෝහල් වල සිටිති. එසේම එවැනි අන්දමට දක්ෂතාවය පෙන්වන විදේශ වෛද්‍ය උපාධිධාරීන්ද සිටිති. අවශ්‍ය වනුයේ මෙම කණ්ඩායම් දෙක අතර ගැටුමක් නොව මෙම කණ්ඩායම් දෙකේ අත්දැකීම් යොදාගෙන ලංකාවේ රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමය. කියුබාවේ ඉගෙනගත් වෛද්‍යවරු ලංකාවේ රාජ්‍ය රෝහල් වල සිටිති . කියුබාව සෞඛ් සේවයේදී ඇමරිකාවද පරදවා තිබේ. ඩෙංගු රෝගය සාර්ථකව මැඩ පැවැත්වූ කියුබාවේ අත්දැකීම් මෙම වෛද්‍යවරු මගින් ලබා ගැනීමට ලංකාවේ සෞඛ් සේවය තවම සිතලාවත් නැත. අනාගතයේද එවැනි චින්තනයක් ඔවුනට පහළවේද කියා සැකය. මෙසේ විදේශගතවී ඉගෙනුම ලැබූ සෑම වෛද්‍ය උපාධිධාරීයෙකුටම ලංකාවට අලුතින් යමක් දීමට හැකිය. ප්‍රශ්නය වන්නේ එය ලබා දීමට ඔවුනට ඉඩක් තිබේද යන්නයි.
විදේශ වෛද්‍ය උපාධිධාරීන් ට ලංකාවේ දී කරන කැනහිලිකම් නිසා බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් රටවලට යති. ඔස්ට්‍රලියාවේ , ඇමරිකාවේ, කැනඩාවේ සහ බ්‍රිතානයේ රෝහල් වල සහ විශ්ව විද්‍යාලවල විදේශ වෛද්‍ය උපාධිධාරී ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු සේවය කරති. මෙය එක්තරා අන්දමකට බුද්ධි ගලනයකි.
විදේශ වෛද්‍ය උපාධිධාරීන් මෙරට සෞඛ් සේවයට කරන ලද සේවය ඉමහත් බව නම හෙළි කිරීමට අකමැති නමුත් සාධාරණය දැකීමට සහ තවත් වෘත්තිකයෙකුගේ සේවය අගය කිරීමට කුහකබවක් නොමැති පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු අප සමග පැවසිය. ඔහු පවසන පරිදි මෙතන ඇත්තේ පන්ති ගැටුමක් මිස දැනුම සහ පුහුණුව පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ පිලිබඳ තවදුරටත් අදහස් දක්වන උක්ත මහාචාර්යවරයා පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන්ට සහ ප්‍රබල දේශපාලඥයන්ගේ දරුවන්ට මෙම ACT16 විභාගය ගැටලුවක් නොවන බවත් මෙම දරුවන් ලංකාවට පැමිණ මාස 3-6 අතර කාලයක් ඇතුලත ඔවුන් සියලුදෙනාම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සමත් කරවා ඇති බව කියයි. තවද මෙම වරප්‍රසාදිත දරුවන්ට ප්‍රශ්නපත්‍රය කලින්ම අතටද ලැබෙන බවත් වාචික විභාග වලදී ඔවුන්ගෙන් ප්‍රශ්න විමසන්නේ මමී සහ ඩැඩිගේ සමකාලීනයන් නිසා ඔවුනට කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් ඔහු කියයි.
පිටරට විශ්ව විද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් ලංකාවට පැමිණි දිනයත් ඔවුන් ACT16 සමත් වී සීමාවාසික පුහුණුව පටන්ගත් දිනයත් අතර කාල පරාසය මැනීමෙන් තමා පවසන දේ පිලිබඳ යථාර්තය වටහා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.
එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දුප්පත් පහල මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන් පමණක් දිගින් දිගටම අසමත් කරවයි . ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු කොතරම් හොර ගුහාවක්ද යත් තමා දැන් බොහෝ කාලයක සිට වෛද්‍ය සභාවේ රැස්වීම්වලට පවා නොයන මෙම මෙම මහාචාර්යවරයා පවසයි.
වරප්‍රසාදිත සහ අනියම් සහන ලැබූ පන්තියට අයත් නොවූ ස්ව ශක්තියෙන් තමා දැනුම කුසලතා පෙන්වූ විදේශ වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකා සෞඛ් සේවයට කරන සේවය අති විශිෂ්ට බව පවසන මෙම පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයා අවාසනාවකට මෙන් කුහක බවේ ඇලී ගැලී සිටින නිලධාරිවාදය කරපින්නාගත් දුෂිත බහුතරයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විධායක මණ්ඩලයට එය දැකීමට හෝ පිළිගැනීමට සදාචාරයක් පවා නොමැති බව පෙන්වා දෙන ලදී.
ලංකාවේ උතුරු නැගෙනහිර යුද්දය දරුණුවට ගිය සමයේ අනුරාධපුර , පොලොන්නරුව වැනි රෝහල් වලද යුද හමුදා රෝහල්වලද විදේශ වෛද්‍ය උපාධිධාරීන් දිවා රෑ නොබලා සේවය කළහ. ඔවුන්ගේ මිල කල නොහැකි කැපවීමෙන් කල සේවය මෙතරම් ඉක්මනට අමතක කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැකි වුනේ වැඩවසම් මානසිකත්වයකින් සහ මාෆියා චේතනා ඇති අතලොස්සක් වූ නරුමයන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අරක් ගෙන සිටින බැවිනි. ඔවුන් රටට කිසිවක් දී නැත. තම මාෆියා කණ්ඩායමේ ළමුන් විභාගයෙන් එතර කිරීමත් ඉඩකඩම් විකුණා දරුවන් පිටරට යවා ඉගැන්වූ දුප්පත් දෙමාපියන්ගේ ළමුන් බොරු හේතු පෙන්වා පුන පුනා අසමත් කීරීමත් හැර මෙරට සෞඛ්‍ය සේවයට ඔවුන්ගෙන් කිසිවක් ඉටු වී නොමැත. මෙහි ඇති අනෙක් දරුණු විහිළුව වන්නේ 50,000 වූ හොර දොස්තරලාට නිරුපද්‍රිතව රෝගීන් බැලීමට ඉඩ සලසා දී තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විදේශ වෛද්‍ය උපාධිධාරීන්ට පමණක් පොලු දැමීමයි.
කිසිදු වෛද්‍ය උපාධියක් නොමැතිව එලියන්ත වයිට්ලා ප්‍රෙඩ්නිසලෝන් කල්ක අඹරා අපගේ ජාතික ක්‍රීඩකයන්ට දී ඔවුන්ට තරඟ තහනම් වලට පාර කපා දෙති. ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ලාද මෙවැනි මෙවැනි ගොඩ වෙදුන්ට උඩගෙඩි දෙති. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එලියන්ත වයිට් ගැන මුනිවත රකිති.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය අර්බුදයට පත්ව ඇති මොහොතක, වෛද්‍යවරු නොමැතිව ග්‍රාමීය රෝහල් වැසී යන අවස්ථාවක වැඩවසම් මානසිකත්වයකින් සහ කුමන්ත්‍රණ හා මාෆියා චේතනා ඇති අතලොස්සක් වූ නරුමයන් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ ජනතාවගේ සෞඛ් සමග සෙල්ලම් කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන සෞඛ්‍ය ඇමතිවරයා මිට වඩා ගැඹුරින් සිතිය යුතුය.
උපුටා ගැනීම http://www.lankaguardian.com/2011/06/blog-post_3963.html
No comments:
Post a Comment