ඊයේ (21 දා) 'දිවයිනේ' මුල් පිටුව පටන් ගන්නේ මළ මිනී හතරක විස්‌තරයකිනි. එයින් සිරුරු දෙකක් කෝට්‌ටේ රාජමහා විහාරයේ භික්‍ෂුන් වහන්සේ දෙනමකගේ ය. අනෙක් දෙක පරිපූරක වෛද්‍ය සේවයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩ වැරුම නිසා මියගිය පුද්ගලයන් දෙදෙනකුගේ ය. ස්‌වාමීන් වහන්සේලා දෙනම ඝාතනය කිරීම ගැන ලිවීමට තරම් ප්‍රමාණවත් තොරතුරු තවමත් අප අත නැත. එබැවින් පරිපූරික වැඩ වැරුම සහ එයින් තවදුරටත් හටගත හැකි කරදරකාරී තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීම වැදගත් ය.
පරිපූරක වෛද්‍ය සේවයට අයත් වන්නේ කවර කොටස් ද යන්න මෙහිදී පහදා දීම වැදගත් ය. ඖෂධවේදී, විකිරණ ශිල්පී, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පී, භෞත චිකිත්සක, වෘත්තීයවේදී චිකිත්සක යනාදීහු පරිපූරක වෛද්‍ය සේවයට අයත් ය. එක රෝහලක සිය ගණනක් වෛද්‍යවරු සිටියද පෙර කී කාර්ය මණ්‌ඩලය නැතිව ඔවුන්ට වැඩ කළ නො හැක. වෛද්‍යවරයා නියම කරන ඖෂධ වර්ගය නිසි ලෙස තෝරා නිසි මාත්‍රාවට සකසා නිසි ලේබලය යටතේ නිකුත් කරනු ලබන්නේ ඖෂධ වේදියාය. රෝගියකුට විකිරණ ප්‍රතිකාර කළ යුතු අවස්‌ථාවකදී එය සිදු කර වාර්තාව සකසනු ලබන්නේ විකිරණ ශිල්පියා ය. ඒ අතර රුධිර සාම්පල, මුත්‍රා සාම්පල යනාදිය පරීක්‍ෂා කර වාර්තා සපයන්නේ වෛද්‍ය රසායනාගාර ශිල්පියා ය. මේ සියලු කරුණු අතර අතපය කැඩුණු, ස්‌නායු ආබාධ ඇති අයගේ අතපය නිසිලෙස සකස් කරනු පිණිස අවශ්‍ය ව්‍යායාම සඳහා රෝගීන්ට උපදෙස් දෙන්නේ භෞත චිකිත්සකවේදියා ය.
මේ සියලුම දෙනා රෝහල් සේවයට අවශ්‍ය ය. නො එසේ ව එම ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සුව කළ නො හැක. එසේ තිබියදී පරිපූරක වෛද්‍ය සේවයේ වර්ජනය ඉතා අසාධාරණ බවත් රෝගීන් දෙදෙනකු මිය යැම ගැන වගකීම ඔවුන් භාරගත යුතු බවත් කියමු. මේ සේවකයන් වැඩ වර්ජනය කර ඇත්තේ ඉල්ලීම් සමූහයක් ඉටුකර ගැනීම සඳහා ය. එම ඉල්ලීම් ඉටු කරන විට මාසයකට රුපියල් කෝටි ගණනාවක් අලුතින් වියදම් කිරීමට රජයට සිදුවෙයි. ඩොලර් එක ඊයේ වන විට රුපියල් 131 දක්‌වා ඉහළ නැග තිබිණි. මේ ආර්ථික අවපාතය ජාත්‍යන්තර මට්‌ටමෙන් තවදුරටත් වර්ධනය වුවහොත් වැඩි කලබලයක් නැතිවම මේ අවුරුද්දේ අවසානය වන විට ඩොලරය රුපියල් 150 ඉක්‌මවනවා ඇත.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යනු කරදර ඉතා බහුල තැනකි. මේ ක්‍ෂේත්‍රයෙහි බෙල්ල බේරාගෙන වසර කිහිපයක් සේවය කරන ඇමැති කෙනෙකුට ඉරානය, ඇෆ්ගනිස්‌ථානය වැනි රටක යුද කටයුතු භාර ඇමැතිවරයා වශයෙන් පත්වීමක් ලබා ලෙහෙසියෙන් ම ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හැකියාව ලැබෙන්නේය. සෞඛ්‍ය ඇමැතිවරයා අතින් සිදුවිය යුතු වැදගත්ම කාර්යය වන්නේ සෞඛ්‍ය සේවකයන් සමඟ ගැටුමක් ඇති කර නොගෙන සිටීම ය. මන්ද, එබඳු ගැටීමක් තුළින් හට ගන්නා සෑම වැඩ වර්ජනයකදීම රෝගීන් කිහිපදෙනකු වළපල්ලට යන නිසා ය. මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට උත්සාහ ගන්නා නමුදු නිලධාරීන් එතුමාට එය කරන්නට ඉඩ දෙන බවක් නොපෙනේ. මේ නිලධාරීන් කරන්නේ ජලභීතිකාව වැළැක්‌වීම සඳහා සුනඛයන් සංහාරය කළ යුතු ය යනාදී වශයෙන් කියෑවෙන ලණු ඇමැතිතුමාට දීම ය.
සෞඛ්‍ය සේවකයන් (වෛද්‍යවරුන් ද ඇතුළුව) වැඩ වර්ජනය කරන විට නිර්දය ලෙස ඔවුන් විවේචනය කිරීම අපගේ සිරිත ය. වෛද්‍යවරුන්ට අමතරව අප වැඩි වශයෙන් ම විවේචනය කරන්නේ පොලිසිය සහ ප්‍රයිවට් බස් කාරයන් ය. සෞඛ්‍ය සේවකයන් දිගින් දිගටම ඉල්ලීම් කිරීමෙන් පසු මේ වැඩ වර්ජනය දියත් කර ඇති බව පෙනේ. උසාවියෙන් වර්ජනයට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන බව දැන දැනත් ඔවුන් අවසාන පියවරක් වශයෙන් වැඩ වරා ඇති බව පැහැදිලිය. මේ අනුව අද සිට රෝහල් සුළු සේවකයන් ද වැඩවරන බව දැන ගන්නට තිබේ. සුළු සේවකයා යනු රෝහලක පැවැත්මට අත්‍යවශ්‍ය කෙනෙකි. කවුරු හිටියත් සුළු සේවකයන් නැතිව රෝහල් පවත්වා ගෙන යැමට නො හැක. මේ තත්ත්වය තේරුම් ගත යුතු බව අපි සෞඛ්‍ය බලධාරින්ට කියමු. අපේ රටට දැනටමත් ඇති කරදර ඕනෑවටත් වැඩිය. අලුතින් කරදර අවශ්‍ය නැත.
Divaina 2012.03.22
No comments:
Post a Comment