2012 මාර්තු 10 වෙනි සෙනසුරාදා, 16:42
අමුණුගොඩ තිලකරත්න
ප්‍රධාන අභියෝගය එල්ල කර තිබුණේ කතරගම දේවාලයේ ඩී.බි. මුතුකුඩ කපු මහතා විසින්
1960වකවානුවේ දී හා ඉන් පෙරදී ලංකාව හා ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයම පිළිගෙන තිබුණේ ගිනි පෑගීම දැඩි දේව භක්තියකින් යුතුව කළ යුතු උතුම් කාර්යයක් බවය. කිලි කුණුවලට අසු නොවී, ඉතා පිරිසිදුව, මස් මාංශ අනුභවයෙන් හා මත්පැන් පානයෙන් තොරව දෙවි දේවතාවුන් කෙරෙහි අසීමිත වූ භක්තියකින් යුතුව ගිනි පෑගීම කළ යුතු බව දේවාලවල කපුවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අය පුන පුනා ප්‍රකාශ කළහ. “අඩි දහඅටක් පමණ දික්වූ හා අඩියක් පමණ ගැඹුරු වූ කතරගම ගිනි මැලය පාගන්නේ ජීවමාන වූ දේවතා වරුන්ගේ බලයෙන් මිස වෙන මොන බලයකින්දැ” දේවවාදීහු පමණක් නොව සාමාන්‍ය ජනතාවත් ප්‍රශ්න කළහ. මේ මතයට විරුද්ධව මොනම මතයක් හෝ ප්‍රකාශ කරන්නට කිසිවකු ඉදිරිපත් නොවූයේ එසේ කළහොත් දේව උදහසට ලක්වීමෙන් කුමක් හෝ විශාල විනාශයක් තමා වෙත පැමිණෙනු ඇතැයි විශ්වාස කළ නිසාය.
එහෙත් නවීන විද්‍යාව පාසල්වල උගන්වන්නට පටන් ගැනීමත්, තර්කානුකූලව සිතන්නට මිනිසුන්ට හැකිවීමත් නිසා පාසල් දරුවෝ මෙන්ම උගත්තුද දේව වාදය බැහැර කරමින්, ගිනි පෑගීමට අදාළ වෙනත් කුමන හෝ භෞතික හේතුවක් තිබිය යුතු යැයි සිතූහ. ඉඳහිට පුවත්පත් මඟින් ද ප්‍රකාශ කළහ.
1963 දී ආචාර්ය ඒබ්‍රහම් කොවුර් “මොනම ක්‍රියාවක් වත් අද්භූත සිද්ධියක් මුල් කරගෙන සිදුවන්නේ නැත. සියලුම සංසිද්ධීන් සිදුවන්නේ මිනිසාට සමහර විට අද තේරුම් ගන්නට නුපුළුවන් වුවත් හේතුවක් ඇතිව” යැයි ප්‍රකාශ කරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් හේතුඵලවාදය පෙන්වා දුන්නේ මේ වකවානුවේදීය.
“එසේ නම් බුර බුරා ගිනි රස්නය විහිදුවන ගිනි ගොඩක් තරණය කරන්නට මිනිසාට බලය ලැබුණේ කාගෙන්දැ” යි මිනිස්සු පෙරළා ප්‍රශ්න කළහ.
බොහෝ විද්වත්හු හා හේතුඵලවාදීහු මෙය මහජනතාවට ප්‍රත්‍යක්ෂව පෙන්වා දිය හැකි ක්‍රමවේදයක් ගැන සිතූහ. මේ කාලයේ ආචාර්ය කොවුර්ගේ ගජ මිතුරෙකුව සිටි ආචාර්ය කාලෝ ෆොන්සේකා අලුත් මතයක් ඉදිරිපත් කළේය.
“ගිනි පැගීමේ කිසියම් තේරුම් ගත නොහැකි අද්භූත බලයක් නැත. ගිනි පෑගීමට දෙවියන්ගේ බලයක්, වරමක්, අවසරයක් , ආශිර්වාදයක් අවශ්‍ය නැත. දෙවියන් කෙරෙහි පේවී කරන ගිනි පෑගීම දෙවියන්ට විරුද්ධව මත ප්‍රකාශ කරමින් , වත් පිළිවෙත් සියල්ල බිඳ දමා ඒ ලෙසින්ම කරන්නට පිළිවනි” යැයි ආචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කළේය.
මේ විප්ලවකාරී මතය බොහෝ ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත්වල පළ විය. බොහෝ විද්වතුන්, හේතුවාදීන්, නිදහස් චින්තකයින් කාලෝ වටා එක් රොක් වූහ. දේවවාදීහු බොහෝ උරණ වී පුවත්පත්වලට ලිපි ලියමින් කාලෝට ගහන්නට වූහ. මුළු රටම මේ මතවාද නිසා මහත් වූ නොසන්සුන්තාවකට පත්විය.
“පුළුවන් නම් කාලෝගේ මතය ඔප්පු කරන්න” “කාලෝ ඇයි නිශ්ශබ්ද” “පුළුවන් නම් දෙවියන්ට බැණ බැණ ගිනි පාගන්න” යන ශීර්ෂයන් පොල් ගෙඩි අකුරින් පුවත්පත් වල පළ විය. අන්තිමේ දී කාලෝ තීරණයක් ගත්තේය.
තරුණ විය ඉක්මවා මැදිවියට පා තබමින් සිටි මේ සුවිශේෂ පුරුෂයා වටා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුහු, රටේ උගත්තු, මධ්‍යස්ථ මතධාරීහු, අදේවවාදීහු යථාර්ථවාදීහු එක්රොක් වී ඔහුට ධෛර්යයක් ලබා දුන්හ.
ගිනි මැල ගහමින් , ස්තෝත්‍ර පූජා පවත්වමින්, ලෙඩ රෝග සුව කරමින්, ශාස්ත්‍ර කියමින් , මුදල් හම්බ කරමින්, බඩ වඩාගත් කපුවන්ට , දෙවියන් විකුණාගෙන කන්නන්ට කාලෝගේ දර්ශනය ඉවසා සිටින්නට නුපුළුවන් විය.
පාසල් ශිෂ්‍යයන්ද කිසිම වතාවත් පිරීමකින් තොරව ගිනිමැල ගසාගෙන ගිනි පෑගූ බව නිතර නිතර පුවත්පත්වල පළ විය. එසේම කාලෝට රටේ නන් දෙසින් අභියෝග ගලා එන්නට විය. මේ අතර එක් සුවිශේෂී වූ අභියෝගයක් විය. එය ඉදිරිපත් කොට තිබුණේ කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමේ කණ්ඩායමේ ප්‍රධාන කපු මහතා වන ඩී.බි. මුතුකුඩ මහතා විසින්ය. මේ විෂය සම්බන්ධව මුතුකුඩ මහතාගේ විශේෂත්වය වූයේ 1951 වර්ෂයේ සිටම මෙතුමා කතරගම ගිනි පෑගීමේ කණ්ඩායමේ ප්‍රධාන ධුරය ඉසිලීමයි.
1971 පෙබරවාරි මස 09 වැනි දින රත්මලානේ අත්තිඩියේ දී මුතුකුඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන මහා ගිනි පෑගීමේ පූජාවට පැමිණ වත් පිළිවෙත් කිසිවක් සපුරන්නේ නැතිව ගිනි පාගා පෙන්වන මෙන් මුතුකුඩ මහතා කාලෝට අභියෝගයක් කළේය. මෙම අභියෝගය භාරගන්නා මෙන් බොහෝ දෙනෙක් කාලෝට බල කළ අතර අදේවවාදීන් , හිතවතුන් එවකට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ භෞතවේදී අංශයේ ආචාර්යවරයකු වූ කාලෝ ෆොන්සේකාට මෙම අභියෝගය පිළිගන්නා මෙන් ඉල්ලමින් දිරිමත් කළහ.
අඩි දහ අටක් දිග ගිනි මැලයක් වේගයෙන් යන කෙනෙකුට පියවර හයකින් හෝ අටකින් නිම කරන්නට හැකි බවත්, සෙමින් යන කෙනෙකුට පියවර දහයකින් හෝ දොළහකින් නිම කරන්නට හැකි බවත් කාලෝ ගේ නිරීක්ෂණය විය. මේ සඳහා ගතවන කාලය තත්පර හතරක් හෝ පහක් විය හැකි බවත් දෙපතුල් ගින්නෙහි ස්පර්ශ වී පවතින කාලය ඉතා කෙටි බැවින් පිළිස්සීමක් සිදු නොවන බවත් කාලෝ ප්‍රකාශ කළේය.
තර්කානුකූලව කල්පනා කළ බොහෝ දෙනෙක් මෙම මතවාදයෙහි කිසියම් සත්‍යයක් ඇතැයි සිතූහ.
සමහරු මෙම මතයට සමච්චල් කරමින් පුවත්පත් වලට ලිපි ලියූහ. වෛද්‍ය විද්‍යාලයේ ගුරු භවතුන්, ගෝලයන් සහ හේතුවාදීන් කාලෝට නොමඳ සහයක් හා ධෛර්යයක් ලබා දුනි.
අභියෝගය බාර ගැනීමට කාලෝගේ එකඟත්වය පළ විය. විශේෂ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ මෙම ගිනි පෑගීම පැවැත්වීමට දෙපක්ෂය තීරණය කළහ. විනිශ්චය මණ්ඩලය වෛද්‍යවරුන්, හේතුවාදීන් , අදේවවාදීන් හා දේවවාදීන්ගෙන් සමන්විත විය. ගිනි පෑගීමෙන් අනතුරුව ඔවුන්ගේ දෙපතුල් විනිශ්චය මණ්ඩලයට පරීක්ෂා කිරීමට අවස්ථාව සලසා දීම ප්‍රධාන කොන්දේසිය විය.
“දේවවාදීන් ප්‍රථමයෙන් ගිනි පාගා දෙපතුල් පරීක්ෂා කිරීමට ඉඩදිය යුතුය. එහිදී දෙපතුල් පිළිස්සී ඇතැයි තීරණය වූවොත් අදේවවාදීන් ගිනි පෑගීම අවශ්‍ය නැත. මන්ද, එසේ වූයේ නම් , ගිනි පෑගීම සම්බන්ධව දෙවියන්ගේ බලපෑමක් නැති බව එයින් නිගමනය වන බැවිණි.” මෙම කොන්දේසියටද දෙපාර්ශ්වයම එකඟ විය.
1971 පෙබරවාරි මස 8 වැනි දින හැන්දෑවේ පටන්ම මෙම මහා තරගය නැරඹීමට දේවවාදීන් මෙන්ම අදේවවාදීන් ද විශාල පිරිසක් අත්තිඩියේ ගල්මෝල වත්තට එක් රොක් වූහ. එදින සවස් වරුවේ සිටම දේවවාදීහු නොයෙකුත් පුද පූජා පවත්වමින් දේව කන්නලව් කළහ. කාලෝගේ අදේවවාදී ගෝල පිරිස අනික් පැත්තේ කමින් බොමින් මස් කමින් ප්‍රීතියෙන් අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටියහ. මේ දෙපිරිස අතර කොයි මොහොතේ හෝ විශාල ගැටුමක් ඇති වන්නට පුළුවන්නැයි සිතූ පොලිසිය ආරක්ෂක විධිවිධානයන් සංවිධානය කළහ.
නවවැනි දින පාන්දරින්ම මුතුකුඩ මහතාගේ පිරිසේ තුන්දෙනෙක් ගිනිමැලය මතින් ගමන් කළහ. ඒ අවස්ථාවේ ගිනිමැලයේ පැවති උෂ්ණත්වයත්, ගිනි මැලයේ දිගත් සලකා බැලීමේ දී ඒ අයගේ දෙපතුල් අඩු තරමින් සුළු වශයෙන් හෝ පිළිස්සී තිබිය යුතු යැයි කාලෝ විශ්වාස කළේය. එනිසා අනිවාර්යයෙන් ඒ අයගේ දෙපා විනිශ්චය මණ්ඩලයේ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතු යැයි නැවත නැවතත් ප්‍රකාශ කළත් කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ඔවුන් පරීක්ෂණයට ඉදිරිපත් කිරීමට මුතුකුඩ මහතා හෝ උත්සාහයක් ගත් බවක් පෙනී ගියේ නැත.
මෙම අවස්ථාවේ දී කාලෝ වැදගත් ප්‍රකාශයක් කළේය. “ගිනි පෑගූ අයගේ දෙපා පිළිස්සී ඇත්නම් ගිනි පෑගීමට දෙවියන්ගේ සම්බන්ධයක් නැත. ගිනි පෑගූ අය විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් නොවන්නේ දෙපතුල් පිළිස්සී ඇති නිසාය. එසේ නම් ගිනි පෑගීම සඳහා දෙවියන්ගේ සම්බන්ධයක් අවශ්‍ය නොවේ යැයි කියන අපට ගිනි පෑගීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත.”
මෙය ඉතා හොඳ තර්කයක් බව සියලු දෙනා පිළිගත්තත් දේවවාදීහු කෑකෝ ගසන්නටත්, අරගල කරන්නටත් කාලෝ ෆොන්සේකාට අපහාසාත්මක ලෙස බැණ වදින්නටත් පටන් ගත්හ. එය එකම කෝලාහලයක් විය.
අවසානයේ දී කාලෝගේ ගෝලයෝ ගිනිමැලය තරණය කිරීමට තීරණය කළහ. වෛද්‍ය විද්‍යාලයේ සේවයකු වූ ලයනල් ප්‍රනාන්දු නැමැති අය ගිනිමැලය මුලින්ම තරණය කරන්නට ඉදිරිපත් විය. තවත් කිහිප දෙනෙක් ඔහු පසුපසින් යන්නට බලාපොරොත්තුවෙන් සිටියහ.
ලයනල්ට යන්නට ලැබුණේ පියවර තුනක් පමණි. දර පොල්ලක් ඔහු ඉදිරියට විසිකර බාධා කරන ලදී. ඉන්පසු සෙරෙප්පුවක් ද දමා ගසා තවත් බාධාවක් කළේය. මේ බාධක විඳ දරාගෙන ලයනල් ප්‍රනාන්දු මැලය තරණය කොට දෙපතුල් විනිශ්චය මණ්ඩලයට පෙන් විය. එම අවස්ථාවේ දී කිසිම පිළිස්සීමක් සිදුවී තිබුණේ නැත.
ලයනල් ප්‍රනාන්දු ගිනි මැලයෙන් ඉවත් වනවාත් සමගම අයෙක් පැමිණ ගිනි මැලයට වතුර වත් කොට ගින්නේ සැර බාල කිරීමට ක්‍රියා කළේය. කාලෝගේ පිරිසේ අනික් අයත් ගින්න පෑගීමෙන් වැළැක්වීම සඳහා එසේ කළ බව හොඳින් අවබෝධ විය. එබැවින්, කාලෝගේ පිරිසේ ඉතිරි අය ගිනි පෑගීම කළේ නැත.
බොහෝ කෑකෝ ගැසීම් මධ්‍යයේ ගිනි පෑගීම අවසන් විය. ලයනල් ප්‍රනාන්දු ගේ යටිපතුල්වල පසු දිනදී දියපට්ටා දෙකක් මතු වී තිබුණු බව කාලෝ දින කිහිපයකට පසු පැවති හේතුවාදීන්ගේ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
“මෙවැනි සංකල්පයන් සිත් තුළ තදින් මුල් බැස්ස මිනිසුන් තම මතය තහවුරු කිරීම සඳහා ජීවිතය පරදුවට තබා ක්‍රියාකරනවා. ලෝකයේ ආගම් යුද්ධ ඇතිවුණේ ඒ නිසයි. මේ සිද්ධාන්තය හොඳින් දැන දැනත් ඔබතුමා දේවවාදීන්ගේ ගිනි පෑගීමේ උත්සවයට අභියෝගයක් කරන්නට එතැනට ගියේ ඇයි? විශාල පිරිසක්ව සිටි දේව වාදීන්ට අතළොස්සක් පමණ වූ ඔබගේ පිරිසට විශාල ශාරීරික හානි කරන්නට ඒ අන්ධකාර රාත්‍රියේදී ඉඩ තිබුණා නේද?” යැයි මම පසුගිය සතියේ දිනකදී මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙන් විමසීමි.
“ඇත්ත එදා ගිනි පාගල මම ගෙදර ආවෙ පොලිස් ආරක්ෂාව ඇතිව පොලිස් වෑන් එකකින්. තරුණ විය යන්තම් අවසන් කරමින් සිටි එදා මා අදටත් වැඩිය මෝඩයි.” යන්න කාලෝගෙ පිළිතුර විය
lakbima
No comments:
Post a Comment