Sunday, November 18, 2012

හෙද සේවයේ නිරත සංගීතඥයා


උපුල් ජයශාන්ත පෙරේරා කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරියෙකි. මෙම හෙද නිලධාරියා තුළ දක්ෂ සංගීතඥයකු ද ජීවත් වේ. ගී පද රචනයට මෙන්ම ගී තනු නිර්මාණය කිරීමට ද ඔහු තුළ ඇත්තේ නිසග දක්ෂතාවයක්. හෝකන්දර ප්‍රදේශයේ හැදී වැඩුණු උපුල් ජයශාන්ත අධ්‍යාපනය ලැබුවේ කොට්ටාව උතුර ධර්මපාල විදුහලෙන් සහ ඩී.එස්.සේනානායක විදුහලෙන්. පාසල් සමයේ පටන් සංගීතයට ඇල්මක් දැක්වූ උපුල් පාසලේදී තම සංගීත හැකියාවන් මනාව ඔපමට්ටම් කරගත්තේය.
 
හෙද නිලධාරියකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹීමෙන් පසුව ද ඔහු තම සංගීත ඥානය දියුණු කරගැනීමට උනන්දු විය. ප්‍රවීණ මෙන්ම නවක ගායක ගායිකාවන් රැසකටම මේ වන විට ගීත රචනා කර තනු නිර්මාණය කර ඇති ඔහු කොළඹ ජාතික රෝහලේ සිදු කෙරෙන සංගීතමය කටයුතු සඳහා සක්‍රීයව දායක වන්නෙකි. කොළඹ ජාතික රෝහලේ වින්දන කවයමඟින් නිකුත් කළ සුව ගීසංයුක්ත තැටියේ අඩංගු ගීත 10ක පමණ පදරචනා සහ ගී තනු නිර්මාණ උපුල් ගේ ය.

උපුල් තම සංගීත ජීවිතය තුළ තමා නිර්මාණය කළ ගී තනු නිර්මාණ අතරින් වැඩි කැමැත්තක් දක්වන්නේ හෙද සේවයේ නිර්මාතෘ නයිටිංගේල් මෙනෙවිය සමරනු පිණිස තමා නිර්මාණය කළ ගී තනුවටය. එම ගීතයේ පද රචනා කර ඇත්තේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන් ය.

සරේසංගීත සඟරාව මඟින් පවත්වන ලද ගීත රචනා තරගයකදී ගී පද රචනා දහස් ගණනක් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට උපුල් ජයශාන්ත රචනා කළ දුක දුරින් තියානම් ගීතයට හැකිවිය. පසුව එම ගීතය කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ගායනා කරන ලදී.
සංගීත ක්‍ෂේත්‍රයේ සාර්ථක ගමනක් යාමට බලාපොරොත්තු වන උපුල් තමන් පද රචනා කර තනු නිර්මාණය කර ඇති ගීත ප්‍රවීණ සහ නවක ගායක ගායිකාවන් වෙත ලබාදීමට සූදානමින් සිටී.
ඔහුගේ ලිපිනය - නො. 60, හෝකන්දර දකුණ, හෝකන්දර.

 

No comments:

Post a Comment