Sunday, March 18, 2012

සාකච්ඡා බිඳ වැටෙයි පරිපූරක වෛද්‍ය වර්ජනය ඊයේ සිට යළි ඇරැඹෙයි

ඒමන්ති මාරඹේ

පරිපූරක වෛද්‍ය සේවා ඉල්ලීම් 10 ක්‌ සම්බන්ධයෙන් මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා හා සෞඛ්‍ය ඇමැතිවරයා සමග පෙරේදා (15 දා) සවස පැවැති සාකච්ඡාව බිඳ වැටීම හේතුවෙන් අත්හිටුවා තිබූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනය පෙරට වඩා දැඩි කරමින් ඊයේ (16 දා) උදෑසන 8 සිට නැවත ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

මේ අනුව ඉකුත් 13 වැනිදා සිට 15 වැනිදා දක්‌වා ක්‍රියාත්මක වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ දීපව්‍යාප්ත වැඩවර්ජනය යටතේ පවත්වාගෙන ගිය රජයේ රෝහල්වල හදිසි සේවාවන් ඊයේ සිට අත් හැර ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා ''දිවයින'' ට පැවසීය.

කලක්‌ මුළුල්ලේ නොවිසඳී පැවැති සිය ඉල්ලීම් විසඳීමට සෞඛ්‍ය බලධාරීන්ට කිසිදු අවශ්‍යතාවක්‌ නොමැති බව පෙරේදා පැවැති සාකච්ඡාවේදී තහවුරු වීම නිසා අත්හිටුවූ වැඩවර්ජනය නැවත ආරම්භ කළ බව ඔහු කීවේය.

රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල් ටී) භෞතවේදී චිකිත්සකයන් (µsසියෝතෙරපිස්‌ට්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දිනයේ රජයේ රෝහල්වල දැඩිසත්කාර ඒකක, වාට්‌ටුවලට හා බාහිර රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම ලේ, මළ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ සී. ටී. ස්‌කෑන්, එක්‌ස්‌රේ, භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර යන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට පැවති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම තත්ත්වය මත රෝහල්වල බාහිර මෙන්ම නේවාසික රෝගීන් පරීක්‍ෂණ හා බෙහෙත් පමාවීමෙන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

රජයේ රෝහල්වල බාහිර/අභ්‍යන්තර ඖෂධ ශාලා, සීටී ස්‌කෑන්/ එක්‌ස්‌රේ අංශ, වෛද්‍ය රසායනාගාර (බාහිර/ අභ්‍යන්තර) භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර අංශ ඊයේ දිනයේ දොරගුළු ලා වසා තිබූ අතර වෙනත් දිනවල වර්ජන සමයේදී හදිසි සේවාවන් සඳහා යොදා සිටි නිලධාරීන් ඊයේ දිනයේ එම සේවාවලින් ඉවත්කරගෙන තිබිණි.

මේ අනුව රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමේ ශල්‍ය කටයුතුවලදී පමණක්‌ රෝහල් බලධාරීන්ගේ කැඳවීම් අනුව ස්‌වෙච්ඡාවෙන් එම සේවා සැපයීමට නිලධාරීන් යොදවා ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තික බලමණ්‌ඩලය පවසයි.

2001 වසරින් පසු වැඩිකර නොමැති පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ දීමනාවන් වැඩි කර දීම, දැනට රැකියා විරහිතව සිටින පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීහු රජයේ රෝහල් සේවයට බඳවාගැනීම, ප්‍රමාද වී ඇති සේවා උසස්‌වීම් ලබාදීම ඇතුළු සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන මෙම වැඩවර්ජනය පවත්වන බව එම බලමණ්‌ඩලය කියයි.

අද (17 දා) දිනයේද මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

divaina 2012.03.17

No comments:

Post a Comment