Tuesday, March 20, 2012

කුජදා හමුව -දේශපාලකයන්ට එරෙහි කප්පම් චෝදනා ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ සෞඛ්‍ය ඇමැති - මෛත්‍රිපාල සිරිසේන



සාමාන්‍ය දණ්‌ඩ නීති සංග්‍රහයේ එන අල්ලස්‌ චෝදනා අපරාධ චෝදනා ගැන පක්‍ෂ විනය තුළ කටයුතු කරන්න බැහැ. පක්‍ෂයක ජනයාට කළ හැක්‌කේ එවන් චෝදනාවන්ට ලක්‌වූවන් වැරදිකරුවන් කළාම සාමාජිකත්වයෙන් හා තනතුරුවලින් ඉවත් කිරීමයි. ඒත් මේ කියන චෝදනා ඊට එහා ගිය ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලබාදිය හැකි චෝදනා. එම නිසා ඒවා අධිකරණය තුළ විභාග වන දේ. සමහර ඒවා අල්ලස්‌ කොමිසම හමුවේ විභාග වන දේ. එනිසා ඔවුන්ට ඒ ආයතනවලින් නිසි දඬුවම් ලැබේවි.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මෙන්ම ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්, පළාත් පාලන නියෝජිතයන් පිළිබඳවද පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ල වන්නට විය. මේ පිළිබඳ පිළිතු=රු දිය හැකි පුද්ගලයකු සිටී නම් ඒ ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඔහු සෞඛ්‍ය ඇමැතිවරයාය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයාය. එනිසා අද කුජදා හමුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට ඉඩකඩ විවර කරන්නෙමු.

අපේ රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තරම් පසුගිය කාලය පුරා චෝදනාවන්ට ලක්‌වූ තවත් අමාත්‍යාංශයක්‌ නැති තරම්. මේ වරද කාගෙද?

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න අද ඊයේ නොවේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ගැටගැසුණු ප්‍රශ්න තමයි මේ වරින්වර මතුවන්නේ. පසුගිය සති දෙකක කාලය තුළ තොරතුරු ගත්තාම මේ බොහෝ කාරණා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ සාවද්‍ය ආකාරයට. පැහැදිලිවම කිව යුතුයි සොයිසා කාන්තා රෝහලේ මවගේ මරණය බාල බෙහෙත් නිසා කියා සමහරු කළ ප්‍රකාශයට විශාල මාධ්‍ය ප්‍රචාරයක්‌ ලබාදුන්නා. කතුවැකි ලිව්වා. ඒත් පැහැදිලිවම ඔප්පු වුණා ඒ මරණයට හේතුව බෙහෙත්වල ප්‍රශ්නයක්‌ නොවේ කියා. ගාල්ල මහමෝදර රෝහලේ ළදරු මරණ ගැන ප්‍රවෘත්තිය ගත්තාම මාධ්‍යවලටත් අමතක වෙලා මේක නොමේරූ ළදරු ඒකකයක්‌ කියලා.

කුඩා දරුවන් ඉපදෙන වාට්‌ටුවක්‌ නොවේ. ඉතා දුර්වල දරුවන් ඉපදුණාම මුළු දකුණු පළාතේම නොමේරූ ළදරුවන් ගෙන එන්නේ මෙතැනට. බර අඩු ළදරුවන්, නියමිත කාලයට කලින් ඉපදුණු දරුවන්, වෙනත් නොයෙක්‌ ආසාදනවලට ලක්‌වූ දරුවන් ඇතුළත් කරන විශේෂ ඒකකයක්‌ තමයි මේ. බැක්‌ටීරියා විෂබීජ නිසා මියගොස්‌ තිබෙන්නේ ළදරුවන් තුන්දෙනෙක්‌ පමණයි කියා පරීක්‍ෂණ වාර්තාවේ පැහැදිලිවම තිබෙනවා. අනෙක්‌ මරණ සාමාන්‍ය ළදරු මරණ. එම නිසා කරුණු නිවැරැදිව මාධ්‍යවලට නොලැබීම එක කරුණක්‌. තොරතුර ලබාදෙන අය ගැනත් පරෙස්‌සම් විය යුතුයි. වැරදි තොරතුරු මාධ්‍යයට දීම සංවිධානාත්මකව කෙරෙන බව පෙනී ගොස්‌ තිබෙනවා. පැහැදිලිවම කිවයුතුයි මේ කරුණු කාරණා මාධ්‍යවලින් පෙන්වන තත්ත්වයට වඩා වෙනස්‌. බොහෝ ආයතනවල විවිධ පුද්ගලයන් විසින් මාධ්‍යවලට වැරදි තොරතුරු දෙනවා. අද සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොවේ මුළු රටම නොසන්සුන් කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක්‌ දියත් වෙනවා. හැම තැනම විරෝධතා, පෙළපාලි, උද්ඝෝෂණ නොයෙකුත් අංශවලින් සංවිධානය කරමින් විපක්‍ෂයේ දේශපාලන බලවේග ආණ්‌ඩුව වෙනස්‌ කරන මැතිවරණයකට ආසන්න තත්ත්වයක්‌ වගේ පසුබිමක්‌ රට තුළ නිර්මාණය කරමින් සිටිනවා. එහි එක්‌ උත්සාහයක්‌ ලෙස තමයි රාජ්‍ය ආයතනවල ඉන්න එජාප සහ ජවිපෙ පිරිස්‌ වැරදි තොරතුරු මාධ්‍යවලට ලබාදෙන්නේ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු කවදත් තිබූ දීර්ඝ කාලීන ප්‍රශ්න. ඒවා කෙටි කලකින් විසඳන්න බැහැ. ඇතැම් වෘත්තීය සමිති මේ ප්‍රශ්න අවුල් කරලයි තියෙන්නේ. තමන්ගේ මල්ල පුරවා ගැනීම ගැන විතරක්‌ හිතලා රෝගියා බිල්ලට දෙනවා.

පරිපූරක වෛද්‍යවරුන් පසුගියදා කළ වැඩ වැරුමත් මේ ආකාරයේම ක්‍රියාවක්‌ කියලද ඔබ කියන්නේ?

පරිපූරක වෛද්‍ය වර්ජනය ඉතාම අසාධාරණයි. ඒ අයට දිය හැකි ඉල්ලීම් අපි දීල තියෙනවා. ඒවා නොසලකා සීමාවෙන් එහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොගොස්‌ ඔවුන් දේශපාලන ක්‍රියාමාර්ගවලට ගිහින් ආණ්‌ඩුවට විරුද්ධ දේශපාලන මතයක්‌ දරන පිරිසක්‌ තමයි මේ අයව මෙහෙයවන්නේ. මම අවස්‌ථා ගණනාවකදී ඔවුන් හමුවුණා. ඉල්ලීම්වලින් දෙන්න පුළුවන් දේ දී තිබෙනව. ඒත් මෙතන ඉන්න නායකයන් තමන්ගේ සාමාජිකයන්ට නිවැරදි තොරතුරු ලබා නොදී ඔවුන්ව නොමඟ යවනවා. ජිනීවා හරහා එන එල්. ටී. ටී. ඊ. සැලසුමක්‌ එක්‌ක රට තුළ ආණ්‌ඩු විරෝධී තත්ත්වයක්‌ නිර්මාණය කරලා අස්‌ථාවර තත්ත්වයක්‌ ඇතිකිරීමට මේ අය කුමන්ත්‍රණය කරනවා. ඒ අය කතා කරන්නෙ නම් නිකං බුදුවෙලා වගේ. ඒත් තනිකරම විපක්‍ෂයේ දේශපාලනයක්‌ මෙතැන තියෙන්නේ, ඉල්ලීම් ලබා දුන්නාට පස්‌සෙත් වැඩවර්ජන කරන සිරිතක්‌ අපි දැක නැහැ. ආණ්‌ඩුවකට ලබාදෙන්න බැරි ඉල්ලීම් තියෙනවා. ඇත්තට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න පුළුවන්. ඒත් බොරුවට නිදා ඉන්න අය ඇහැරවන්න බෑ. ඒක තමයි මට කියන්න තියෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය තරම් කාන්තාවන්ට ලිංගික අතවර කරන නිලධාරීන් සිටින වෙනත් අමාත්‍යාංශයක්‌ භාරව ඔබ කටයුතු කර නැති බව පවසා තිබුණා. ඔබ ඉන්නේ නිලධාරීන් පිළිබඳ කලකිරීමකින්ද?

කලකිරීම් මගේ කොහෙත්ම නෑ. හැබැයි තියෙන තත්ත්වය තමයි මම පැහැදිලි කළේ. අනුරාධපුරයේ හෙද නිලධාරීන් වැඩවර්ජනයකට සූදානම් වුණා. ඒ ලිංගික අතවර කළ හෙද නිලධාරියකුට දඬුවම් දුන්නා කියලා. හෙද සේවයේ සියයට 95 ක්‌ම කාන්තාවෝ. පිරිමි ඉන්නේ සියයට පහයි. ඉතින් කාන්තා නිලධාරීනුත් වැඩවර්ජනයට එක්‌වුණා. තමන්ගේ සහෝදර නිලධාරිනියකට ලිංගික අතවර කළ හෙද නිලධාරියකුට දඬුවම් දුන්නා කියලා. අධිකරණයේ නඩුවකුත් විභාග කරද්දී අහිංසක නිලධාරිනියකට ලිංගික අතවර කළාම ඊට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගත් පසු වර්ජනයකට ගියා. මේ විදිහට මේ ක්‍ෂේත්‍රයේ ඉතාම පිළිකුල් සහගත වැඩකරන තත්ත්වයක්‌ තියෙන්නේ. බොහෝ ආයතනවල කාන්තාවන්ට ඉතාම දැඩි ලෙස ලිංගික හිරිහැර කරන තත්ත්වයක්‌ තිබෙන්නේ. මා ළඟ සියලුම ලිපි ගොනු තියෙනවා. මේක කනගාටුදායක තත්ත්වයක්‌. ඇමැතිවරයා විදිහට මම ඇත්ත කියන්න ඕනේ.

අද ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට, නියෝජ්‍ය ඇමැතිවරුන්ට එරෙහිව කප්පම් චෝදනා තිබෙනවා. පළාත් පාලන, පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන, කුඩු ජාවාරම් චෝදනා එල්ල වෙනවා. ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පවා මේ අයට රැකවරණය ලබාදෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයන්. පක්‍ෂයේ මහලේකම්වරයා විදිහට ඔබ මේ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවාද?

කිසිසේත්ම ඒ චෝදනා ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒත් පක්‍ෂයේ විනය තුළ කටයුතු කිරීමේ සීමාවන් තියෙනවා. සාමාන්‍ය දණ්‌ඩ නීති සංග්‍රහයේ එන අල්ලස්‌ චෝදනා අපරාධ චෝදනා ගැන පක්‍ෂ විනය තුළ කටයුතු කරන්ට බැහැ. පක්‍ෂයක ජනයාට කළ හැක්‌කේ එවන් චෝදනාවන්ට ලක්‌වූවන් වැරදිකරුවන් කළාම සාමාජිකත්වයෙන් හා තනතුරුවලින් ඉවත් කිරීමයි. ඒත් මේ කියන චෝදනා ඊට එහා ගිය ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලබාදිය හැකි චෝදනා. එම නිසා ඒවා අධිකරණය තුළ විභාග වන දේ. සමහර ඒවා අල්ලස්‌ කොමිසම හමුවේ විභාග වන දේ. එනිසා ඔවුන්ට ඒ ආයතනවලින් නිසි දඬුවම් ලැබේවි. පක්‍ෂයක්‌ ලෙස විනය තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. එවන් චෝදනාවන්ට ලක්‌ වූ අය වැරදිකරුවන් ලෙස ඔප්පු වුණොත් පක්‍ෂ විනය තුළ කිසිවකුට සහනයක්‌ දෙන්නේ නැහැ. උපරිම දඬුවම් දෙනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය මේ තරමටම පිරිහිලාද?

මේක පක්‍ෂයක ප්‍රශ්නයක්‌ නොවේ. පුද්ගල චරිතවල තියෙන දේවල්. දැන් උදේ හවා රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් කෙතරම් බණ කියනවද? පිරිත් කියනවද? ඒත් මේ දුරාචාර අපචාර ඒවා පක්‍ෂයක්‌ ලෙස පාලනය කළ හැකි දේ නොවේ. සමාජය යන එක්‌තරා රැල්ලක්‌ මේ. එනිසා අපි රජයක්‌ ලෙස මේ පොදු තත්ත්වය ගැන සැලකිල්ල යොමු කරලා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ හික්‌මීමක්‌ වගකීමක්‌ ඇතිව කටයුතු කිරීම කළ යුතුයි. මම මාසයකට කලින් සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නමට ලිපි යෑව්වා. ඔවුන් අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත් ගැන දැනුවත් කරලා. ජනාධිපතිතුමාගේ උපදෙස්‌ අනුව මෙය කළේ. මේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. දැන් එක්‌සත් ජාතික පක්‍ෂයේ බලය තිබූ අවසන් කාලයේ 2002 - 2003 වසරවල ඒ අයගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනුත් මේ ලෙසම හැසිරුණා. මේක සමාජයේ පොදු ප්‍රශ්නයක්‌. එනිසා එක පැත්තකින් පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. මේවායේ හැසිරෙන අයට ඉඩකඩ ඇහිරෙන ලෙස. මේ සෝදාපාළුව වළක්‌වාගැනීම සඳහා අංශ කිහිපයකින්ම ප්‍රතිසංවිධානයක්‌ ඇතිවිය යුතුයි.

මෙවන් චෝදනාවන්ට ලක්‌වූවන්ට එරෙහිව විනය පරීක්‍ෂණ කීපයක්‌ම පැවැත්වූවා. ඒත් පසුව ඒවාට වූ දෙයක්‌ දන්නෙ නැහැ?

අපි දඬුවම් දීල තියෙනවා. සමහර මන්ත්‍රීවරුන් ඉවත් කරන්න පවා මේ විනය පරීක්‍ෂණවලන් තීන්දු කළා. සාමාජිකත්වය තහනම් කළා. පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළත් ප්‍රශ්න තියෙනවා. සමහර විනය නීති අනුව දඬුවම් කළත් මැතිවරණ නීතිය තුළ අපි අස්‌ කළත් ඒ මන්ත්‍රීවරුන් අස්‌වන්නේ නැහැ. ඊළඟ මැතිවරණය දක්‌වා සිටිය යුතුයි නාමයෝජනා යළි නොදෙන්න. පක්‍ෂයේ ලේකම්වරයා ලෙස මගේ වගකීම් කිsසි ලෙසක පැහැරහැරලා නෑ. ඒත් අපි ගත් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධ කරලා නෑ. ඊළඟ අවස්‌ථාවේ මේ අයට නාමයෝජනා නොදීමට අපි ඔවුන්ගේ නාම ලේඛනයක්‌ සකස්‌ කර තිබෙනවා. ඒ අයට නාමයෝජනා නොදෙන්න තීරණය කරලා ඉන්නෙ. සමහරුන්ට එරෙහිව ජනාධිපතිතුමා පියවර ගන්නා බව මම හොඳින්ම දන්නවා.

නැවතත් සෞඛ්‍ය ගැන කතා කළොත් අපේ රටේ ඖෂධ මාµsයාවක්‌ තියෙනවද?

ඖෂධ මාµsයාව මුළු ලෝකය පුරා තිබෙනවා. අද ඊයේ නොවේ ඖෂධ වෙළෙ¹ම සහ ඖෂධ මාµsයාව දෙවැනි වන්නේ ආයුධ වෙළෙ¹මට විතරයි. ආයුධ වෙළෙ¹මත්, ඖෂධ මාµsයාවත් මුළු ලෝකයම වෙළාගෙන. අපි වගේ පුංචි මිනිස්‌සු ඒ වගේ මහා පරිමාණ ජාවාරම්කරුවන් එක්‌ක හැප්පෙන එක ලේසි නැහැ. හැප්පිලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න සමාජයේ හැම කෙනකුගේම සහාය අවශ්‍යයි. ඒත් මේ වෙලාවෙදි සමහර මාධ්‍ය කටයුතු කන ආකාරය පුදුමාකාරයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය මේ ජාවාරම්කරුවන්ට වාසි වන ලෙස වැඩ කරනවා. ජාවාරම්කරුවන්ට එරෙහි වන අපිව හොරු කරලා කතා කරන මාධ්‍යයත් තියෙනවා. සමාජයේ සෑම කෙනෙක්‌ටම වගකීමක්‌ තියෙනවා. අපක්‍ෂපාතීව, මධ්‍යස්‌ථභාවය අනුව තම වගකීම් ඉටුකළ යුතුයි. කිසිවකුට ඉන් බැහැරවන්න බැහැ.

ජිනීවා යෝජනා ඉදිරිපත් කිරීමට තව ඇත්තේ දින දෙකයි කුමක්‌ සිද්ධ වේවිද?

ඉතාම පැහැදිලියි මුහුදෙන් එතෙර ඉන්නා කොටි ත්‍රස්‌තවාදීන්ගේ උවමනාවට තමයි ශ්‍රී ලංකා රජයට විරුද්ධව සියලුම යෝජනා එන්නේ. ඇමරිකාවට තියෙන ලොකුම හිතේ අමාරුව තමයි යුද්ධය කරන කාලේ අපේ ඇමරිකාව කියන දේ ඇහුවේ නෑ කියන එක. අපි වගේ පුංචි රටක්‌ ගැන ඇමරිකාවට වෛරයක්‌ ඇති. මුළු ලෝකයේම පොලිස්‌කාරයා විදිහට ඉන්න ඇමරිකාව ඒ අයගේ මතයට එකඟ නොවීම ගැන තරහෙන් ඉන්නේ. ඒත් ඇමරිකාවේ මතයට අවනත වෙන්න ස්‌වාධීන රටක්‌ වන අපට බැහැ. ත්‍රස්‌තවාදයෙන් පීඩා වින්දේ අපි. ඒ අය හදන්නේ මේ රට කඩන්න. ප්‍රභාකරන්ට බැරි වූ දේ ජිනීවා යෝජනා හරහා කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපේ මිත්‍ර රටවල් පිළිබඳ විශ්වාසය අපිට තියෙනවා. ඒත් ඇමරිකාව වගේ මහ බලවතකුට එරෙහිව ඡන්ද විමසීමේදී මේ පුංචි රටවල් කුමන පිළිවෙතක්‌ අනුගමනය කරයිද යන්න ගැන සැකයක්‌ තියෙනවා. බොහෝ රටවල් තම හෘදසාක්‍ෂිය තුළ විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට අත නොතැබිය යුතුයි කියලා. කෙසේ වෙතත් අපේ මව්බිම සහ ජනතාව එතරම් කරුමක්‌කාරයෝ නොවේ. අපි පිංවන්ත ජාතියක්‌ බෞද්ධ රටක්‌. එනිසා ත්‍රිවිධ රත්නයේ සහ දෙවියන්ගේ ආශිර්වාදය අපිට තියෙනවා. මම විශ්වාස කරනවා කුමන බලවතකු ඉදිරියේ වුවත් අපේ මව්බිම ආරක්‍ෂා කරගන්න මේ අදෘශ්‍යමාන බලවේගවල ආශිර්වාදය ලැබෙන බව.

අජිත් අලහකෝන්

Divaina 2012.03.20


මේ ලිපිත් කියවන්න

No comments:

Post a Comment