Sunday, March 18, 2012

ද සොයිසා රෝහලේදී ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගිය කාන්තාවගේ මරණ පරීක්‍ෂණය

අවදානම් සහිත වෛද්‍ය ප්‍රතිකර්මයක ප්‍රතිඵල නිසා
මධුෂානිගේ මරණය සිදුවී තිබෙනවා
මෙය ස්‌වාභාවික මරණයක්‌ නොවේ - මරණ පරීක්‍ෂක
තීන්දුවේ පිටපත් වෛද්‍ය සභාවට සෞඛ්‍ය අමාත්‍යාංශයට යවයි

චානක්‍ය ජයගොඩ

අවදානම් සහිත වෛද්‍ය ප්‍රතිකර්මයක ප්‍රතිඵල නිසා මධුෂානි නිසංසලාගේ මරණය සිදුව ඇතැයි කොළඹ ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ඇයගේ මරණ පරීක්‍ෂණය පිළිබඳව තීන්දුව ප්‍රකාශ කරමින් කොළඹ හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා පැවසීය.

දින කිහිපයක්‌ පැවැති මරණ පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශ කිරීම ඊයේ (16 දා) කොළඹ හදිසි මරණ පරීක්‍ෂක කාර්යාලයේදී පැවැත්විණි.

පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ප්‍රධාන කරුණු හතරක්‌ මේ මරණයට හේතු වී ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

එනම් බහුවිධ ග්‍රන්ථි අක්‍රිය වීම, උදරය ආසාදනය වීම, ශ්‍රොaණි පෙදෙස ආසාදනය වීම සහ ශල්‍යකර්ම යනාදියයි.

මරණ පරීක්‍ෂණ කටයුතු නිරවද්‍යභාවයෙන් කිරීම සඳහා රෝගියාගේ ඇඳහිසපත් සොයිසා කාන්තා රෝහලින් ගෙන්වා ගත් බව ද සඳහන් කළ හදිසි මරණ පරීක්‍ෂකවරයා ඇඳහිසපත් ඡායා පිටපත් කර සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්‍ෂවරයා සහතික කොට තමාට ලබාදුන් බව ද කීවේය.

ඇඳහිසපත් වාර්තා පරීක්‍ෂා කිරීමේදී මධුෂානි නිසංසලා දරු ගැබ සහිතව කිසිදු ආබාධයකින් තොරව රෝහලට ඇතුළත් වී ඇති බවත් දරුවා ප්‍රසූත කිරීමට වෛද්‍ය නිගමනය අනුව 2011.11.27 සුදුසු යෑයි සටහන් කොට තිබූ බවත් හෙතෙම සඳහන් කළේය. එහෙත් බලාපොරොත්තු වූ දිනයට දරු ප්‍රසූතිය සිදු නොවීම හේතුවෙන් ප්‍රසූති උත්තේජක එන්නත් කළත් දරු ප්‍රසූතිය සිදු නොවීම නිසා සිසේරියන් සැත්කමකින් බිළි¹ ඉවතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව ද කොළඹ හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා පැවසීය.

සිසේරියන් සැත්කමින් පසු මධුෂානි නිසංසලා මහත්මිය යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පෙන්නුම් කළත් එදින හවස්‌ වෙද්දී ඇයගේ ශරීර උෂ්ණත්වය ඉහළ යැම නිසා වෛද්‍යවරුන් ඒ සඳහා ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත. ඒ අවස්‌ථාවේ ප්‍රතිජීවක ආදී ඖෂධ ලබාදීම සිදුකර ඇති අතර ශරීර උෂ්ණත්වය නිසි අගයට පැමිණි පසු රෝගියාට රෝහලින් ඉවත්ව යැමට අවසර ලබාදී ඇතැයි ද අහංගම මහතා කීවේය.

දින කිහිපයකට පසු ඇය තුළින් යළිත් රෝගී තත්ත්වයක්‌ දිස්‌වූයෙන් ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර ඇත. එවිට වෛද්‍යවරු අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍ර වැනි රෝග නීර්ණය සඳහා භාවිත වන යන්ත්‍ර හා උපකරණ උපයෝගි කරගෙන පරීක්‍ෂා කොට ප්‍රතිකාර සිදුකර තිබේ. වැඩිදුර පරීක්‍ෂණ සඳහා හෘද හා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ලබාගෙන ඇති බව වෛද්‍ය වාර්තා විමර්ශනය කිරීමේදී පෙනී යන බව ද අහංගම මහතා පැවසීය.

වෛද්‍ය පරීක්‍ෂණ යන්ත්‍ර තුළින් අනාවරණය වූ තොරතුරු ඔස්‌සේ යම් ශ්‍රාවයක්‌ උදර ප්‍රදේශයේ තිබෙන බව නිගමනය කර ඇති වෛද්‍යවරු සැත්කමක්‌ මාර්ගයෙන් එම ද්‍රව්‍ය ඉවත් කර තිබේ. ලේ හා සැරව බවට එම ශ්‍රාවය හඳුනාගෙන ඇත.

එම සැත්කම කිරීමෙන් පසුවත් රෝගියාට සුවය නොලැබීමෙන් ගර්භාෂය ඉවත් කිරීමට වෛද්‍යවරු තීරණය කර ඇති අතර එම සැත්කම අතරතුර රෝගියා මරණයට පත්ව තිබේ.

මෙම මරණය ස්‌වාභාවිකව සිදු වූවක්‌ ලෙස සැලකිය නොහැකි බවත් වැඩිදුර කටයුතු සඳහා ජාතික වෛද්‍ය සභාවට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට මරණ පරීක්‍ෂණ තීන්දුවේ පිටපත් යෑවීමට පියවර ගත් බවත් එඩ්වඩ් අහංගම මහතා සිය මරණ පරීක්‍ෂණ තීන්දුව ප්‍රකාශ කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

Divaina 2012.03.17

No comments:

Post a Comment