Wednesday, March 28, 2012

පාදෙණියට එරෙහි විශ්වාසභංගයෙන් වෛද්‍ය සංගම් රැස්‌වීම උණුසුම් වෙයි

ඒමන්ති මාරඹේ

කොළඹ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මූලස්‌ථානයේ පෙරේදා (25 දා) පැවැති එම සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට එරෙහිව වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කිරීම හේතුවෙන් සභාවේ උණුසුම්කාරී තත්ත්වයක්‌ හටගෙන තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව ශාඛාව විසින් මෙම විශ්වාසභංග යෝජනාව එම ශාඛාවට අයත් වෛද්‍යවරුන්ගේ ඒකමතික තීරණයකට අනුව ඉදිරිපත් කර ඇති අතර රජයේ වෛද්‍යවරුන්ගේ ගැටලු, දීමනා / වැටුප් වැඩි කිරීම් ඇතුළු ඉල්ලීම් සම්බන්ධව අවධානය යොමු නොකරමින් සංගමයේ සභාපතිවරයා රජයට පක්‍ෂපාතීව කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව එම රැස්‌වීමට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

මෙම මහ සභාරැස්‌වීම සඳහා දිවයින පුරා පිහිටි වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛා 70 ක පමණ නියෝජිතයින් සහභාගී වී තිබේ.

මෙහිදී වෛද්‍ය පාදෙනිය මහතාට පක්‍ෂපාතීව සිටි විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව චෝදනා මුඛයෙන් අදහස්‌ ඉදිරිපත් කර ඇති අතර එම අවස්‌ථාවේදී සභාවේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හමුවේ වෛද්‍ය පාදෙනිය ඇතුළු කිහිප දෙනෙකු සභා ගැබෙන් නික්‌ම ගිය බව වාර්තා වේ.

කෙසේ වුවද ඉදිරියේදී දැනට සභාගත කර ඇති විශ්වාසභංග යෝජනාව සාමාජිකත්වයේ අනුමැතිය ඇතිව සම්මත කර ගැනීමට කටයුතු කරන බවද එම වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

Divaina 2012.03.27

No comments:

Post a Comment