Wednesday, March 21, 2012

වාරණ නියෝගය ලැබුණේ නැතිලූ -ඉල්ලීම් ලැබෙන තෙක්‌ පරිපූරක

ඒමන්ති මාරඹේ

සේවා ඉල්ලීම් 10 ක්‌ මුල්කරගෙන රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය එම ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුම් ලැබෙන තෙක්‌ දිගටම පවත්වාගෙන යැමට ඊයේ (20 දා) දහවල් කොළඹදී රැස්‌ වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ සාමාජිකයන් විසින් ඒකමතිකව තීරණය කර තිබේ.

ඊයේ දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපස සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පාගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ වර්ජිත පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් එම උද්ඝෝෂණයෙන් අනතුරුව විහාරමහාදේවි උද්‍යානයේ පැවැති රැස්‌වීමේදී මෙම තීරණය ගත් බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

සිය වර්ජනය සඳහා සෙසු රජයේ රෝහල් අතුරු වෛද්‍ය සේවාවන් එක්‌කර ගැනීම පිළිබඳව එම සේවා නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට අදහස්‌ කර ඇතැයි ද ඔහු කියයි.

කොළඹ දිසා අධිකරණය මගින් පෙරේදා (19 දා) එම බලමණ්‌ඩලය වෙත වර්ජනය අත්හිටුවන ලෙස නියෝග කරමිsන් නිකුත් කරන ලද වාරණ නියෝගය පිළිබඳව අදහස්‌ දැක්‌වූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම්වරයා එවැනි වාරණ නියෝගයක්‌ තවමත් තමන් වෙත ලැබී නොමැති අතර එවැන්නක්‌ ලැබුණු පසු නීතිමය උපදෙස්‌ මත ඒ සම්බන්ධව කටයුතු කරන බව අවධාරණය කළේය.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්. එල්. ටී.), විකිරණ ශිල්පීන්, භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය ඊයේ (20 දා) 8 වැනි දිනටත් ක්‍රියාත්මක වූ අතර මෙම වර්ජනය හේතුවෙන් රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම, සීSටී ස්‌කෑන් /එක්‌ස්‌රේ පරීක්‍ෂණ, වෛද්‍ය රසායනාගාර පරීක්‍ෂණ හා භෞතවේදී චිකිත්සක ප්‍රතිකාර වැනි රෝහල් සේවාවන් තවදුරටත් අඩාලව පැවතිණි. එම වෘත්තිකයන් හදිසි සේවාවන්ගෙන් ද ඉවත්ව සිටීම නිසා රජයේ රෝහල්වල දැඩිසත්කාර ඒකක කටයුතු හා සාමාන්‍ය සැත්කම් කටයුතුවලට ද බාධා පැමිණ ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය

Divaina 2012.03.21

No comments:

Post a Comment