Saturday, March 31, 2012

මාලබේ පෞද්ගලික විදුහලට වෛද්‍යමය පාඨමාලා පැවැත්විය නොහැකියි - වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

චානක්‍ය ජයගොඩ

සයිටම් යනුවෙන් හඳුන්වන මාලබේ පෞද්ගලික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය සමග එළැඹුණු ගිවිසුමේ සඳහන් වන්නේ සෞඛ්‍ය විද්‍යාවට අදාළ පුහුණුවීම් වන අතර වෛද්‍යමය පාඨමාලා පැවැත්වීම කළ නොහැකි බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

ඉකුත් 28 වැනිදා සමාජ සාමායික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මේ වන විට වෛද්‍ය උපාධි ලබාදෙන්නේ යෑයි පවසමින් එක්‌ සිසුවකුගෙන් ලක්‍ෂ 65 බැගින් ලබාගෙන යම් යම් පාඨමාලා පවත්වාගෙන යන බවද ඔහු පැවැසීය. එම මුදල ලබාගැනීම වෙනුවෙන් නීත්‍යනුකූල ලියවිලි සිසුන් වෙත ලබාදී නොමැති බවද නිලාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

ආණ්‌ඩුව කමිටුවක්‌ පත්කර යම් වාර්තාවක්‌ අපේක්‍ෂා කළේ ඉහත ආයතනය සම්බන්ධයෙන් ගැටලු ඇති බව පිළිගෙන බවද, නිකුත් කළ වාර්තාවේ නිරීක්‍ෂණ හා නිගමන අතර සුළු හෝ ගැළපීමක්‌ නැති බවද නිලාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. මේ වාර්තාවේ සඳහන් කරුණු රජයේ බලපෑමට යටත්ව යොදා ඇති බවද ඒ මහතා පැවැසීය.

අධ්‍යාපනය විකිණීමට හා සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමිති හෑල්ලු කිරීමට උදව් වන මෙම වාර්තාව තමන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවත් අප්‍රේල් 4 වැනිදා විරෝධතා දිනයක්‌ ලෙස නම් කර දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් කරුණු දක්‌වමින් නිලාන් ප්‍රනාන්දු මහතා පැවසීය.


Divaina 2012.03.30

No comments:

Post a Comment