Saturday, March 24, 2012

හෙද ආචාර්යවරුන්ට අතිකාල දීමනා නෑ-හෙද අධ්‍යාපනය අනතුරේ..!

March 22, 2012 12:21 pm


සෞඛ්‍ය බලධාරීන් විසින් හෙද ආචාර්යවරුන්ගේ අතිකාල දීමනා ගෙවීම නතර කිරීම නිසා හෙද අධ්‍යාපනය අර්බුදයට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එකී නිවේදනය පහත පරිදිය.

සෞඛ්‍ය ලේකම් විසින් 2012.03.12 දින නිකුත් කර ඇති පොදු චක‍්‍රලේඛ අංක 01/12/2012 යන චක‍්‍රලේඛය නිසා හෙද අධ්‍යාපන ක්ෂේත‍්‍රය බරපතළ අර්බුදයකට ඇද දමා ඇත. එම චක‍්‍රලේඛයෙන් දැනට හෙද ආචාර්වරුන් විසින් සාමාන්‍ය රාජකාරී කාලය වන පැය 8 ක සේවා කාලයකට අමතරව කරන රාජකාරී වෙනුවෙන් මෙතෙක් සිදුකළ අතිකාල ගෙවීම් නතර කර ඇත.

හෙද ආචාර්යවරුන්ගේ සාමාන්‍ය සේවාව ප. ව. 2.30 ට අවසන් වේ. නමුත් හෙද විදුහල් පෙ. ව. 7.00 සිට ප. ව. 4.00 දක්වා විවෘත වන අතර, හෙද සිසුන් ප. ව. 4.00 දක්වා අධ්‍යාපන කටයුතු වල යෙදිය යුතුය. හෙද ආචාර්යවරුන් ප. ව. 2.30 ට සේවා අවසන් කර නිවෙස් බලා ගියහොත්, ප. ව. 2.30 සිට 4. 00 දක්වා හෙද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කිරීමට, පරිපාලන හා අධීක්ෂණ කටයුතු කිරීමට කිසිවෙකුත් නැත.

මෙම චක‍්‍රලේඛය නිසා මේ වන විට සමහර හෙද විදුහල්වල හෙද ආචාර්යවරුන් ප. ව. 2. 30 ට සේවා අවසන් කර පිටව යන අතර, හෙද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණ ඇත. රටපුරා පවතින හෙද විදුහල් 17 ක හෙද ආචාර්යවරුන් මෙම තීරණය ක‍්‍රියාත්මක කරමින් ප. ව. 2. 30 ට සේවා අවසන් කළලහොත් හෙද විදුහල්වල අධ්‍යාපනය කඩා වැටෙන අතර, හෙද අධ්‍යාපනය බරපතළඅර්බුදයකට යාම වැළැක්විය නොහැකිය.

එබැවින් මෙම චක‍්‍රලේඛය වහා සංශෝධනය කර අමතර සේවාවන් සඳහා හෙද ආචාර්යවරුන්හට අතිකාල දීමනා ගෙවන ලෙසත්, හෙද අධ්‍යාපන සේවාව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.


adaderana.lk

No comments:

Post a Comment