Wednesday, March 28, 2012

බටහිර වෙදකම් කරන ආයුර්වේද සහ යුනානි වෛද්‍යවරුන්ට නීතිමය පියවර

අජිත් අලහකෝන්

ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගෙන බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරන යුනානි සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙවැනි වෛද්‍ය මධ්‍යස්‌ථාන වැටලීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා දී ඇති උපදෙස්‌ අනුව පෙරේදා (27) කොළඹදී මෙවැනි වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ අමාත්‍යාංශ නිලධාරීන් විසින් වටලා ඇත.

ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති අඹුසැමි යුවළක්‌ විසින් මෙම බටහිර වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගොස්‌ ඇති අතර එහි තිබී බටහිර ඖෂධ විශාල ප්‍රමාණයක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.

බටහිර වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත පමණක්‌ ලබාදිය යුතු මෙම ඖෂධ රෝගීන්ට නිකුත් කර ඇති මේ ආයුර්වේද වෛද්‍යවරිය සහ වෛද්‍යවරයා රුධිර, මුත්‍රා ඇතුළු අනෙකුත් නිදර්ශක එකතු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ද මෙහි පවත්වාගෙන ගොස්‌ ඇත. ඒ සඳහා පළපුරුද්ද සහ සුදුසුකම් ඇති පුද්ගලයන්ද මෙහි සේවය සඳහා යොදවා නැති බව වැටලීම් කණ්‌ඩායම අනාවරණය කරගෙන ඇත.

විලවුන් සහ ඖෂධ අධිකාරි පනත යටතේ බටහිර ඖෂධ සන්තකයේ තබාගත හැක්‌කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට, දන්ත වෛද්‍යවරුන්ට, පශු වෛද්‍යවරුන්ට සහ අධිකාරිය මගින් ලබාදෙන බලපත්‍රය යටතේ ඖෂධ තොග සහ සිල්ලර වශයෙන් අලෙවි කරන පුද්ගලයන්ට පමණි.

එහෙත් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගෙන බටහිර වෛද්‍ය සේවාවේ යෙදෙන සහ බටහිර ඖෂධ රෝගීන්ට නිකුත් කරන ආයුර්වේද වෛද්‍යවරුන් හා වෛද්‍ය මධ්‍යස්‌ථාන පිළිබඳ පැමිණිලි රැසක්‌ සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ඒ අනුව එවන් ස්‌ථාන වැටලීම් කර නීතිමය පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇතැයි එම අමාත්‍යංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට කීවේය.

Divaina 2012.03.29

No comments:

Post a Comment