Saturday, March 24, 2012

නිදහස් අධ්‍යාපනය සුරැකීම

2012 මාර්තු 24 වෙනි සෙනසුරාදා, 01:28
.
ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පතක් සැකසෙමින් ඇති බවට ආරංචියක් පැතිරයාමත් සමග විවිධ පාර්ශ්වවලින් ඒ කෙරෙහි බලවත් විරෝධයක් එල්ලවෙන්නට පටන් ගෙන ඇත. යෝජිත පනතේ ප්‍රධාන අරමුණ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සඳහා නීතිමය පසුබිමක් සැකසීම බවට ඇති සැකය මෙම විරෝධයන්ට මූලික හේතුව වී ඇතැයි කියැවේ. අපගේ අදහස අනුව නම්, මේ සම්බන්ධව අදාළ පාර්ශ්ව අතර, සංවාදයක් ඇති නොවීම ද විරෝධය උත්සන්න වීමට හේතුවී ඇත. අඩුම තරමින් විශ්ව විද්‍යාල ප්‍රජාව අතරවත් මේ ගැන ප්‍රමාණවත් සංවාදයක් මතෛක් දියත් වී නැත. වෙනකක් තබා රජයේ අමාත්‍යවරුන් වැඩිදෙනෙකු ද යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව කිසිවක් නොදන්නා බවට මාධ්‍ය වාර්තා පළවිය.

මෙම පසුබිම තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධව කිසිදු පනතක් ගෙන ඒමට රජයේ අපේක්ෂාවක් නොමැති බවටත් නිදහස් අධ්‍යාපනයට වැට බැඳීමට රජය කිසිසේත්ම ඉදිරිපත් නොවන බවටත් මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම සහතික වූහ. දශක තුනක් තිස්සේ ඇදී ගිය කුරිරු යුද්ධයෙන් රට බේරාගත් නායකයා ලෙස ඉතිහාසගත වීමට නියමිත මහින්ද රාජපක්ෂ නාමයට නිදහස් අධ්‍යාපනයට තිත තැබූ පුද්ගලයා හැටියට කළු පැල්ලමක් ඇති වනවාට කැමැත්තක් නැතිබව පැහැදිලිය.

කෙසේ වුවද, මේ හරහා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සංවාදය යළිත් වතාවක් තීව්‍ර වෙමින් පවතී. නිදහස් අධ්‍යාපනය යනු ලාංකීය හැමකෙනෙක්ම පාහේ ඉතා ඉහළින් අගය කරනා සුවිශේෂී සංකල්පයක් වෙයි. කිසිදු විවාදයකින් තොරව එකසේ පිළිගන්නා සංකල්පයක් වෙයි. නිදහස් අධ්‍යාපන සංකල්පය ලාංකේය ජන ජීවිතය තුළ කොතෙක් දුරට මුල් බැස තිබේද යත්, ඊට එරෙහිව යමක් කීමට දේශපාලනඥයන් පමණක් නොව නිදහස් මත දරන විද්වත්හු පවා මැලිවෙති. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් මෙරටට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය වෙනුවෙන් කැපවීමට, නිදහසින් පසු බලයට පත්වූ ආණ්ඩු හැම එකකටම සිදුවූ බව අපි දනිමු. මෙම ක්‍රියාදාමය මේ වන විට හුදෙක් ගාස්තු අයකිරීමකින් තොරව (නොමිලයේ) පාසල් අධ්‍යාපනය ලබාදීමට සීමා නොවී නොමිලයේ පාසල් නිල ඇඳුම් හා පාසල් පෙළ‍පොත් බෙදාදීම දක්වා පුළුල් වී ඇත. තවද කොතෙකුත් අඩුපාඩු දුර්වලතා සහිතව වුවද මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාථමික හා ද්වීතීයික පාසල් ජාලයක් ක්‍රියාත්මක වෙයි. ලාංකේය පාසල් පද්ධතිය පුරා පවතින දහසකුත් එකක් අඩපාඩු පිළිබඳ විග්‍රහයක යෙදීම මෙම ලිපියේ අරමුණ නොවන බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කරනු කැමැත්තෙමු.

ලෝකයේ අනෙකුත් දියුණු වන රටවල් හා සසඳන විට පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ රැසක්ම අත්කර ගැනීමට අපට හැකිවී ඇත්තේ මේ සියලු කාරණා නිසාවෙනි. වැඩිහිටි සාක්ෂරතාව අතින් ලෝකයේ දියුණු රටවල් සමග පවා පෑහෙන්නට හැකිවී ඇත්තේත් පාසල් හැරයන සිසුන්ගේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී ඇත්තේත් දිවයිනේ ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපන රටාව නිසාවෙනි. අධ්‍යාපන විශේෂඥයන්ගේ අලුත්ම සමීක්ෂණ වාර්තාවලට අනුව අදාළ වයස් සීමාවේ සිටින ලාංකික දූදරුවන් අතුරින් 99ක්ම ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කරනා අතර, 91ක් නවවන ශේ්‍රණිය දක්වා ඉගෙනුම ලබති. මේ අතර, අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩිකිරීමට යෝජනා වී ඇතැයි කියැවේ.

එහෙත් රජය සැලසුම් කරනා පරිදි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට නම් අධ්‍යාපනය වෙනුවෙන් රජය වැයකරන මුදල් ප්‍රමාණයේ සැලකිය යුතු වැඩිවීමක් අවශ්‍ය වෙයි. ලෝකයේ දියුණු රටවල් පසෙක තිබියදී, දකුණු ආසියාවේ රටවල් සමග සැසඳුවද, අධ්‍යාපනය වෙනුවෙන් රජය වැයකරන මුදල් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ පසුගාමී තත්ත්වයකය. දකුණු ආසියාතික රටවල් සාමාන්‍යයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් වැයකරන මුදල් ප්‍රමාණය දළ ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් 2.9ක් පමණ වන අතර, ශ්‍රී ලංකාවේ එය 1.9ක් තරම් වූ අඩු අගයක් පවතී.

කෙසේ වූවද, පාසල් අධ්‍යාපනය හා සසඳන විට මෙරට විශ්ව විද්‍යාලවල තත්ත්වය ඊටත් වඩා කනගාටුදායකය. දිනෙන් දින වේගයෙන් වැඩිවන උසස් අධ්‍යාපනය කෙරෙහි වූ ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට හැකියාවක් ලැබි නැත. සෑම වසරකම පාහේ, අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය සුදුසුකම් ලබන ලක්ෂයක් පමණ සිසු පිරිසකට රාජ්‍ය විශ්ව විද්‍යාලවල දොර ඇරෙන්නේ නැත. නිදසුනක් ලෙස, 2009 අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් අවම සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 1,25,284ක් වූවද ඉන් සරසවි වරම් ලැබුවේ 21,547 (17.2)ක් තරම් වූ සුළු ප්‍රමාණයකි. මෙම තත්ත්වය ගෙවී ගිය දශක කිහිපය තුළදීම දක්නට ලැබුණු අතර, දැන් එක්තරා අන්දමක උච්චස්ථානයකට පිවිස ඇති බවක් පෙනේ. 1980දී විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් අතරින් සරසවි වරම් ලැබූ ප්‍රමාණය 16.3ක් වූ අතර, වසර තිහකට පසුවද (2010 වන විටත්) එය වැඩිවී ඇත්තේ 17.2 දක්වා පමණය.

අපගේ අදහස අනුව නම් මෙයාකරයට අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් ලබන ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපනය ලබාගැනීමට අයිතියක් තිබිය යුතුය. ඒ සඳහා ඔවුනට නිදහස තිබිය යුතුය. අ.‍පො.ස. (උ.පෙ) විභාගය සමත්වන සෑම කෙනෙකුම විශ්ව විද්‍යාලයකට ඇතුඵ වී උපාධියක් ලබාගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් බව ඉන් කියැවෙන්නේ නැත. එහෙත් ඒ සඳහා කැමැත්තක් උවමනාවක් ඇති ඕනෑම අයෙකුට ඊට නිදහස තිබිය යුතුය. එම නිදහස සුරක්ෂිත කරලීම රජයේ වගකීමක් නොවන්නේද? අදාළ වයස් සීමාවේ සිටින දූ දරුවන් සෑම කෙනෙකුටම නිදහසේ පාසල් අධ්‍යාපනය ලබාගැනීමට ඇති අවස්ථා සුරක්ෂිත කරන අතරම, උසස් අධ්‍යාපනය සඳහා ඊට සුදුසුකම් ලබන හා කැමැත්තක් දක්වන සෑම කෙනෙකුටම ඉඩ ප්‍රස්ථා විවර කරදීම රජයේ වගකීමක් නොවන්නේද?

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින, ඒ උදෙසා උද්ඝෝෂණය කරන අය අතුරින් ඇතමෙකු නිදහස් අධ්‍යාපනයේ සැබෑ අරුත වටහාගෙන නොමැති බවක් පෙනෙන්නේ මෙම පසුබිම තුළය. අපගේ අදහස අනුව නම්, නිදහස් අධ්‍යාපනය නමැති පුළුල් සංකල්පය හුදෙක් නොමිලයේ අධ්‍යාපනයට ලඝුකළ නොහැකිය. අධ්‍යාපනයට ඇති නිදහස ද නිදහස් අධ්‍යාපනයෙන් වෙන්කළ නොහැකි එහි තවත් පැතිමානයක් වෙයි. මෙම කාරණයේදී උසස් අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයෙන් වෙනස් ස්වරූපයක් ගනී. එනම් උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍යතාව සහ සුදුසුකම් ඇති සෑම කෙනෙකුටම ඊට ඉඩකඩ ලබාදීමට රජයේ විශ්ව විද්‍යාලවලට පමණක් හැකියාවක් නොමැත. මෙය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ දෙයක් නොව ලෝකයේ සෙසු රටවලටද ‍පොදු ලක්ෂණයකි. ලෝකයේ ඕනෑම රටක උසස් අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා පුළුල් කළ හැක්කේ ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන - සංවිධානවල දායකත්වය ලබාගැනීමෙනි වෙනත් වචන වලින් කියතොත් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන හා කැමැත්තක් දක්වන සෑම කෙනෙකුටම ඊට ඇති අයිතිය (නාදහස) තහවුරු කිරීම රජයකට තනාව කළහැක්කේ නොවේ. ඒ සඳහා රාජ්‍ය නොවන ආයතන-සංවිධානවල දායකත්වය ලබා ගැනීම නිදහස් අධ්‍යාපනයට වළ කැපීමක් ලෙස නොව උසස් අධ්‍යාපනය සඳහා ඇති නිදහස තහවුරු කිරීමක් ලෙස සැලකිය යුතුය.

තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට සීමා නොවී මෙම ප්‍රශ්නය දෙස මැදිහත්ව පුළුල්ව බැලිය යුතු බව අපගේ නම් අදහස වෙයි. ඉහත කී පරිදි අ.‍පො.ස. (උ.පෙ.) විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය සුදුසුකම් ලැබුවද වසරක් පාසා සරසවි වරම් නොලැබෙන ලක්ෂයකට වැඩි සිසු සිසුවියන්ගේ පැත්තෙන් ද මෙම ප්‍රශ්නය දෙස බැලිය යුතු බව අපගේ අදහස වෙයි. ඉතා සුළු පිරිසකට පමණක් නොමිලයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය පරිපූර්ණ එකක් නොවනා බව අප තේරුම් ගත යුතු වෙයි. අපේ මේ පුංචි දිවයින ආසියාවේ දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා රට තුළ ඇති ඉඩ ප්‍රස්ථා මීට වඩා බොහෝ සෙයින් පුළුල් කළ යුතු බව අප තේරුම් ගත යුතු වෙයි. කෙසේ වුවද යටකී පරිදි මේ පිළිබඳව පුළුල් කතිකාවක් තවමත් දියත් නොවීමෙන් කියැවෙන්නේ බලධාරීන් ඒ අවශ්‍යතාව තේරුම්ගෙන නැති බවද?

lakbima.lk

No comments:

Post a Comment