Sunday, April 1, 2012

රාජ්‍ය නොවන සියලුම විශ්වවිද්‍යාල නියාමනයකට හා අධීක්‍ෂණයකට ලක්කළ යුතුයි -ඇමැති එස්. බී. දිසානායක

ස්වර්ණා විජේකෝන් – චමීර ඇල්ලදෙණිය - සුභාෂිනි සේනානායක

සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආයතන විසිනවයක් පවතින බවත්, ලක්‍ෂ ගණන් මුදල් අයකරගෙන උපාධි පිරිනමන මෙම විශ්වවිද්‍යාල යම් නියාමනයකට හා අධීක්‍ෂණයකට ලක්කළ යුතු බවත්, උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී (30 දා) ප්‍රකාශ කළේය.

වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා පිහිටුවා ඇති මාලබේ වෛද්‍ය විද්‍යාලයත් එලෙසම සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. සමාගම් පනත යටතේ ලියාපදිංචි වී මහා බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ජපානය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මෙරට පිහිටුවා ඇති අතර විදෙස් රටකට ගොස් උපාධි ලබාගැනීම සඳහා මෙරට සිසුන්ට විශාල මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ 23.2 යටතේ පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය විසිවැනිදා පාර්ලිමේන්තුවේදී මතුකළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීම සඳහා ලක්‍ෂ 200 – 350 ත් අතර මුදලක් වැයකිරීමට සිදුවන බවයි. ඉන්දියාවේදී උපාධියක් ලබාගැනීමට ලක්‍ෂ 150 – 250 ත් අතර මුදලක් වැය වන අතර අමෙරිකාවේදී වෛද්‍ය උපාධියක් ලබාගැනීමට මෙරට මුදලින් ලක්‍ෂ 400 – 500 ත් අතර ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවයි.

එහෙත් මාලබේ වෛද්‍ය විද්‍යාලය මගින් මෙරට සිසුවෙකුට ලක්‍ෂ හැටපහක් වැනි මුදලකට උපාධිය ලබාගත හැකි අතර අවසන් වසර හෝ වසර දෙක තුළ රුසියාවේ පිහිටි අදාළ විශ්වවිද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මාලබේ වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ලංකාවේ නවීනතම හා විශාලතම ශික්ෂණ රෝහල ඇඳන් දහසකින් සමන්විතව ඉදිවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ දැනට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මහාචාර්යවරු දහ අටක් සිටිති. ඔවුන්ගෙන් තිදෙනෙක් රුසියානු මහාචාර්යවරුන් වන අතර ඉතිරි පිරිස කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණු යන විශ්වවිද්‍යාලවලින් විශ්‍රාම ගිය හා සප්ත වාර්ෂික නිවාඩු ලබාගත් අය බවයි.

එමෙන්ම තවත් මහාචාර්යවරු පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වැඩ කරන ගමන් මාලබේ වෛද්‍ය විද්‍යාලයේ වැඩ කරන බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ද ශක්තිමත් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මෙරට විශ්වවිද්‍යාල කිහිපයක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇති බවත් හෙතෙම පැවසීය.
.
Dinamina 2012.04.02

No comments:

Post a Comment