Thursday, April 12, 2012

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස්‌ කළ යුතුයි - කැබිනට්‌ අනුකාරක සභාව කියයි

අජිත් අලහකෝන්

මෙරට ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස්‌ කළ යුතු බව ඇමැතිවරුන් තිදෙනකුගෙන් යුත් කැබිනට්‌ අනුකාරක සභාව නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ සහ විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලි චම්පික රණවක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කැබිනට්‌ අනුකාරක සභාවේ වාර්තාව අමාත්‍ය මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි ද මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ඖෂධ මිලට ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ තමන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමෙන් පසුව එකී ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් මෙම කැබිනට්‌ අනුකාරක සභාව පත් කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය. ඖෂධ හැර රසායනාගාර ද්‍රව්‍ය සහ ශල්‍ය ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගත යුතු බව මෙම කැබිනට්‌ අනුකාරක සභාව නිර්දේශ කර ඇතැයි කී ඇමැතිවරයා මේ නිසා වසරකට පිටරටට ඇදී යන රුපියල් කෝටි ගණනක මුදලක්‌ මෙරට ඉතිරිවන බවද කීය.

වසරකට ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය අයිතමයන් 23000 ක්‌ පමණ මෙරටට ගෙන්වන බවද ඒ සඳහා වාර්ෂිකව ටෙන්ඩර් මණ්‌ඩල 450 ක්‌ කැඳවිය යුතු බවද පැවසූ සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට්‌ අනුකාරක සභාවේ නිර්දේශ අනුව වසර දෙක තුනක කාලයක්‌ සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය එකවර මිලට ගැනීමේ හැකියාව ඇතැයිද කීය.

ශ්‍රී ලංකාව වසරකට ඖෂධ වර්ග 1400 ක්‌ මිලට ගන්නා නමුත් ඒ අතර අතව්‍යශ ඖෂධ තිබෙන්නේ වර්ග 284 ක්‌ පමණක්‌ බවද කී ඇමැතිවරයා සෙසු ඖෂධ විවිධ වෙළෙඳ නාමයන් යටතේ මෙරට අලෙවි වන බව කීය.

ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 284 පිළිබඳ ලැයිස්‌තුවක්‌ ඉදිරියේදී ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කර ඇතැයි කී ඇමැතිවරයා සෑම රෝහලකටම මෙම අත්‍යාවශ්‍ය ඖෂධ වලින් ප්‍රතිකාර ලබාගත හැකි බවද කීය.

කැබිනට්‌ අනුකමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්‌ඩලය විසින් අනුමත කළ විගස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස්‌ දී ඇතැයිද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.

Divaina 2012.04.08

No comments:

Post a Comment