Friday, May 4, 2012

කොළඹ දන්සල් 100 ක පවිත්‍රතාව සෙවීමට සෞඛ්‍ය සේවකයන් යොදවයි

ඒමන්ති මාරඹේ

මෙවර වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළ පමණක්‌ දන්සල් 100 ක්‌ පමණ ඉදිකර තිබෙන බව කොළඹ මහ නගර සභා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දන්සල් පිහිටා තිබෙන ස්‌ථානවල පවිත්‍රතාව, ඒවායේ පිළියෙල කරනු ලබන ආහාරවල සෞඛ්‍යාරක්‍ෂිත බව හා ආහාර පාන පිළියෙල කරන සේවකයන්ගේ පවිත්‍රතාව පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (3 දා) සිට කොළඹ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 6 ක සෞඛ්‍ය සේවකයන් එම දන්සල් 100 පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදුකරන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම් මහතා "දිවයින"ට පැවසීය.

කොළඹ නගරයේ දන්සල් සඳහා නගරයේ මෙන්ම කොළඹින් පිටත ජනතාවද විශාල වශයෙන් පැමිණීම නිසා ඒවායෙන් පිළිගැන්වෙන ආහාර පාන සෞඛ්‍යාරක්‍ෂිතව පිළියෙල කර යුතු බව දන්සල් සංවිධායකයන් වෙත දැනුම් දී ඇතැයි වෛද්‍ය කාරියවසම් මහතා කීවේය.

දන්සල්වලින් පිළිගැන්වෙන බත්, නූඩ්ල්ස්‌ වැනි ආහාර උණුවෙන් පිළිගන්වන ලෙසත්, තේ, කෝපි, සිසිල් බීම වැනි පාන වර්ග භාවිත කර ඉවතලන ප්ලාස්‌ටික්‌ කෝප්පවල පිළිගන්වන ලෙස හා එම ආහාර පාන මැස්‌සන් නොවසන සේ ආවරණය කර තැබීම සම්බන්ධයෙන් විශේෂයෙන් උපදෙස්‌ දී ඇතැයි හෙතෙම සඳහන් කළේය. මෙවර කොළඹ නගරයේ ඉදිකර ඇති දන්සල් 100 ක බහුතරය තේ, කෝපි, අයිස්‌ක්‍රීම් වැනි සුළු දන්සල් බව අනාවරණය වී තිබේ.

Divaina 2012.05.04

No comments:

Post a Comment