Saturday, May 19, 2012

‘හෙද සේවාවේ ගැටළු තොගයක්’




Srilankamirror – හෙද සේවාවේ ගැටළු තොගයක් පවතින බවත් ඒවා කඩිනමින් විසඳා ජනතාවට වඩා හොඳ සේවයක් සැලසීමට හෙද සේවාවට රජය විසින් අවකාශ ලබාදිය යුතු බවත් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවැසීය.
ඔහු මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර හෙද දිනය මුල්කර ගනිමින් මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී මැයි 12 වැනිදා පැවැති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ හෙද දිනය සමරන මේ මොහොතේ හෙද සේවාවට ගැටළු රාශියක් පවතින බවත් කාර්ය මණ්ඩල හිගකම, උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදුවකට ලක් කිරීම, උසස් වීම් ප‍්‍රමාද කිරීම, දීමනා හා වැටුප් විෂමතාවයන්, ස්ථාන මාරු ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක නොකිරීම වැනි දේවල් ඉන් ප‍්‍රධාන වන බවයි.

එමෙන්ම හෙද සේවාවේ නිර්මාතෘවරිය වන ෆ්ලෝරනස් නයිටිංගේල් මෙනෙවියගේ ජන්ම දිනයට සමගාමීව ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය පැවැත්වූ රචනා, පෝස්ටර් තරග වල ජයග‍්‍රාහකයින් හට පදක්කම් පිරිනැමීම හා සහතික පත‍්‍ර පිරිනැමීමද එහිදි සිදුවිය.

තවද ෆ්ලොරන්ස් නයිටිංගේල් මෙනෙවියගේ පිළිරුවට උපහාර දක්වා මල් මාලයක් පැළදවීම හා මල් කළඹක් පිළිගැන්වීම මහරගම හා ගම්පහ රෝහලවල හෙද නිළධාරීන් විසින් සිදු කෙරුණු අතර මාරවිල, දැරණියගල, කිලිනොච්චි යන රෝහල් වලට නයිටිංගේල් සමරු තිළිණ ප‍්‍රධානය කරන ලදී.

මෙහි ආරාධිත දේශනය විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාරිනී ප‍්‍රමුදිතා මාධවී මෙනෙවිය විසින් පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා සහෝදර වෘත්තීය සමිති නායකයන් වන බැංකු සේවක සංගමයේ සභපති අමරපාල ගමගේ මහතා, ජාතික සේවක සංගමයේ සභාපති සුරංග මහතා, ස්වාධීන වරාය සේවක සංගමයේ සභපති ලාල් බංගමුවගේ මහතා, රක්ෂණ සේවක සංගමයේ ලේකම් ඩබ්. දිවාකර මහතා, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති එම්. ඞී. ආර්. අතුල මහතා ඇතුළු දිවයින පුරා රෝහල් නියෝජනය කරමින් හෙද නිළධාරීහුද සහභාගි වූහ.











http://sinhala.srilankamirror.com/2012/05/16/%E0%B7%84%E0%B7%99%E0%B6%AF-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94-%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/



No comments:

Post a Comment