Thursday, May 3, 2012

කරාපිටිය රෝහලේ දවස්‌ 24 ක්‌ හිටියත් මහත්තයාව ස්‌කෑන් එකට ගත්තේ නෑ ඌරගහ පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා කතා කළත් වැඩක්‌ වුණේ නෑ පිළිකාවකින් මියගිය ඌරගහ පොලිස්‌ කොස්‌තාපල් ජගත්ගේ බිරිඳ කියයි


ඌරගස්‌මංහන්දිය - රංග අසංක පතිරණ

"පොලිසිය ඇතුළේදී කාගේවත් ප්‍රශ්නයක්‌ නැති, මහත්තුරුන්ගෙන් කවදාවත් බැනුම් අහපු නැති, තමන්ගේ පාඩුවේ සද්ද බද්ද නැතුව වැඩ ටික කරගෙන හිටපු හරිම අහිංසක මනුස්‌සයෙක්‌ තමයි නැතිවුණු ජගත් රාළහාමි. හරිම සංවේදී හිතක්‌ තිබුණු හෙමින් කතා කරපු කෙනෙක්‌. ඒ හොඳ ගතිගුණ නිසාම එයාට ගමේ අයත් ගොඩක්‌ ආදරෙයි. පොලිසියෙ අපේ අයත් ජගත් අයියගේ ලෙඩේ වෙනුවෙන් හුඟාක්‌ මහන්සි වුණා." යෑයි පොලිස්‌ සහායක නිලධාරී පුබුදු ප්‍රේමනාත් මහතා පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ දකුණු අතෙන් පටන්ගෙන සුසුම්නාව දක්‌වා වර්ධනය වූ පිළිකා රෝගයකින් මාස 09 ක්‌ පමණ බලවත් සේ පීඩා විඳ පසුගියදා මරණයට පත්වූ පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ (පො. කො. 58468 දරණ) ජගත් චන්දන (38) මහතාගේ මතකයන් තම අදහස්‌ ලෙස ගොනු කරමිනි.

එක්‌දරු පියකු වූ ඌරගස්‌මංහන්දිය, බොරළුතැටිය පදිංචිව සිටි ජගත් චන්දන මහතා මිය යනවිට ඌරගස්‌මංහන්දිය පොලිස්‌ ස්‌ථානයේ සේවය කරමින් සිටියේය. මීට වසර 05 කට පමණ ඉහතදී දකුණු අතේ කැක්‌කුමකින් හටගත් රෝග තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී පිළිකාවක්‌ බවට හැරී ඇති අතර පසුව ඔහුගේ දකුණු අත කපා ඉවත් කරන්නට සිදුව ඇත්තේ මීට මාස පහකට පමණ පෙරය.

"මහත්තයාගේ දකුණු අතේ ඇතිවුණු කැක්‌කුම නිසා ඒක පරීක්‍ෂා කරන්න ගියාම දොස්‌තර මහත්වරුන් කිව්වේ ස්‌නායු ඇදීමක්‌ වෙලා තියෙනවා කියලයි. ඒ සඳහා පොලිස්‌ රෝහලෙන් දිගට බෙහෙත් කරනකොට යම් සුවයක්‌ ආවා.

ඒත් ඊට අවුරුදු දෙකකට විතර පස්‌සේ ආයෙත් අතේ කැක්‌කුම ඇවිත් කොළඹ රෝහලට ගෙන ගොස්‌ ස්‌කෑන් පරීක්‍ෂාවකුත් කළා. එතැනදි කිව්වා අතේ ගෙඩියක්‌ තියෙනවා කියලා. තවදුරටත් පරීක්‍ෂා කරන් යද්දී තමයි අඳුනාගත්තේ මහත්තයාගේ අතේ පිළිකාවක්‌ තිබෙන බව.

පිළිකාව දියවෙන්න කියලා සති දෙකෙන් දෙකට එයාට බෙහෙත් විදින්න ගත්තා. ඒත් පහුවෙනෙකාට දොස්‌තරලා නියම කළා. එයාගේ අත කපලා ඉවත් කරන්න.

මියගිය ජගත් චන්දන (38) මහතාගේ බිරිය වන ටී. එච්. විනීතා (38) මහත්මිය සැමියාගේ වියෝව පිළිබඳ තතු එසේ පැවසුවාය.

අනෙක්‌ අය මෙන්ම සැපවත් ජීවිත ගතකරන අනාගතයක්‌ කරා පියමනින්නට වසර කීපයකට පෙර ඔවුනොවුන් එක්‌ව ආ ගමනෙහි මැවූ සුබ සිහින බොඳව ගියේ කිසිවෙකුත් නොසිතූ විරූ අයුරිනි.

විනීතා මහත්මියගේ එකම සැනසීම ලෙස ඉතිරිව ඇත්තේ සැමියාගේ සොඳුරු දායාදය වූ දේවින්දි සඳුනිකා (08) පුංචි දියණියයි.

මහත්තයාගේ අත කපලා මාස ගණනක්‌ යද්දී දකුණු කකුළ පණනැති වෙලා ගියා. ඊට පස්‌සේ අපි එයාව කරාපිටිය රෝහලට අරගෙන ගියා.

එහේ දවස්‌ 24 ක්‌ තියාගෙන හිටියා. ස්‌කෑන් පරීක්‍ෂණයට ගන්නවා කියලා දවසක්‌ම කෑම නැතුව තියාගෙන හිටපු මහත්තයාව ඒකට ගත්තේ නෑ. ප්‍රමාද වෙනකොට ඌරගස්‌aමංහන්දිය පොලිසියේ ස්‌ථානාධිපතිතුමත් කෝල් කරලා රෝහලට කිව්වත් වැඩක්‌ වුණේ නැහැ.

මහත්තයා දුර්වල වෙනවා තව තවත් බලන් ඉන්න බැරිම තැන අපි බලෙන් ටිකට්‌ කප්පවාගෙන එයාව කොළඹ පෞද්ගලික රෝහලකට අරගෙන ගියේ.

එතැනට ගෙවලා කරපු පරීක්‍ෂණයෙන් පස්‌සේ තමයි කිව්වේ පිළිකාවේ කොටසක්‌ රෝගියාගේ සුෂුම්නාවටත් බලපාලා තියෙනවා කියලා.

පසුව කළයුතු ප්‍රතිකාර සඳහා අපි ආයෙම මහත්තයාව කරාපිටියට ගෙනිච්චා. ප්‍රතිකාර කළ යුතු ආකාරය විමසා බලමින් සිටිනවා කියලා සතියක්‌ විතර තියාගෙන හිටියා. කරන්ට්‌ එක අල්ලලා ප්‍රතිකාර කරනවා කියලා මුලින් කිව්වත් එහෙම දෙයක්‌ සිදු වුණේ නැහැ. සුෂුම්නාවට හානි වෙලා නිසා කියලා තමයි එහෙම කළේ." යෑයි බිරිඳ විනිතා ජගත්ගේ මරණය සිදුවූ රෝගයට අදාළව මුහුණ පෑ සියල්ල අපට විස්‌තර කළාය.

රෝහලේ ප්‍රතිකාර පිළිබඳ තැබූ අවසන් බලාපොරොත්තු ද වියෑකුනු සිතින් ජගත්ව ගෙදර ගෙන ආ බිරිඳ ඇතුළු ඥාතීන් තවදුරටත් ආයුර්වේද ප්‍රතිකාරයන්ටද යොමුවූයේ ඔහු කෙසේ හෝ ජීවත් කරවා ගන්නටය.

එහෙත් ජගත් මහතා ඒ වනවිට ද සයනාසනව අසාධ්‍ය මට්‌ටමේ එක්‌තැන්ව පසුවූයේය. විශේෂයෙන් ඔහු පිළිබඳ නිවැසියන් හැරුණුවිට සොයා බැලීමට වැඩිපුර ඥතීන් මේ වනවිට නොසිටියත් ශාන්ත, චමින්ද, ජගත් සරත් වැනි පොලිසියේ ඔහුගේ මිතුරු කැළ රෝගී ජගත්ගේ ඕනෑ එපාකම් ගැන හැකි හැමවිටම සොයා බැලූහ.

ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි ක්‍රියාත්විත ප්‍රදේශවලද, කොළඹ හා තවත් පොලිස්‌ ස්‌ථානවලද සේවය කළ ජගත් 1995 වර්ෂයේ දී සේවයට බැඳී රටට සමාජයට සේවය කළේය.

මිනිසුන් කුමන පුහු ආටෝපයන්ගෙන් ගත සරසා කෙළිකම් කළද, කවර රස බොජුනයන්ගෙන් රස නහරයන් පිනවුවද නිමක්‌ නැති රුදුරු රෝග පීඩාවන්ට ගොදුරුව නියමිත වයසටත් පෙරාතුව අකල් මරණයට පත්වන මිනිස්‌ කයෙහි අනිත්‍යභාවය මනාකොට පසක්‌ කරමින් සියල්ල හැර දා ජගත් අවසන් ගමන් ගියේය.

අධ්‍යාපනය, රැකියාව, ආදරය, විවාහය, බිරිඳ, දරුවන් නිවහන යන සියලු පැතුම් ජයගෙන අවසානයේ මරණය ළඟ නතර විය.

Divaina 2012.05.03

No comments:

Post a Comment