Thursday, May 17, 2012

රෝහල් රැකියා දෙන බවට කූට ලේඛන හදා ලක්‍ෂ ගණන් මුදල් ගැරූ දෙදෙනා රිමාන්ඩ්

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

රජයේ රෝහල්වල ඉහළ නිලධාරීන්ගේ නිල මුද්‍රd සහ අත්සන් කූට ලෙස යොදාගෙන ව්‍යාජ ලේඛන සකස්‌ කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් හට රෝහල්වල කම්කරු හා රියෑදුරු පත්වීම් ලබාදී රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ගැරූ තරුණයන් දෙදෙනකු මේ මස 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්තිකා මාරපන මෙනවිය පෙරේදා (15 දා) නියෝග කළාය.

මැදවච්චිය නගරයේ පදිංචි ජයනාත් වීරකෝන් සහ නිමල් පුෂ්පකුමාර යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රුපියල් ලක්‍ෂ දෙකක මුදලක්‌ ලබාදී අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ කම්කරු පත්වීමක්‌ ලැබූ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක්‌ පිළිබඳව සිදු කළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත මැදවච්චිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් සතුව තිබී කූට ලේඛන යොදාගෙන සකස්‌ කළ රෝහල් කම්කරු පත්වීම් ලිපි 18 ක්‌ හා රියෑදුරු පත්වීම් ලිපි 6 ක්‌ පොලිසිය භාරයට ගෙන ඇත.

උතුරුමැද පළාත් සභාවේ අමාත්‍යවරයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකුද මෙම ජාවාරමට සම්බන්ධ බවට ලැබී තිබෙන තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

මේ වංචනික ජාවාරම පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

මේ පිළිබඳව උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති චන්දන වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිමල් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. කේ. සේනාරත්න, සැරයන්වරුන් වන ගුණතිලක (31385), රණවීර (29875) සහ කෝදාගොඩ (7766) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

http://www.divaina.com/2012/05/17/news11.html

No comments:

Post a Comment