Wednesday, May 16, 2012

දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක්‌ - වෛද්‍ය නිලධාරී සංගමයේ ජාතික රෝහල් ශාඛා

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන්ගේ බාධාවීම්, පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩි කරන ලෙස ඉල්ලමින් මෙම මස 21 වැනිදා සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනාවක්‌ ඊයේ (15 දා) පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛා රැස්‌වීමේදී සම්මත කර ගත් බව ජාතික රෝහල් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු "දිවයින" ට පැවැසීය.

මෙම වර්ජන යෝජනාව ලබන ඉරිදා (20 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් තනතුරුලාභී නිලධාරීන් විසින් කැඳවීමට යන සංගමයේ මහ සභා රැස්‌වීමේදී සාමාජිකත්වය වෙත ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් ප්‍රධානීන් විසින් පසුගියදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාමාජිකත්වයේ අනුමැතියක්‌ නොමැතිවම නතර කර දැමීම පිළිබඳව ඊයේ පැවැති රැස්‌වීමට සහභාගි වූ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 400 ක්‌ පමණ දෙනා පැමිණ සිටි සංගමයේ ප්‍රධාන නිලධාරිවරයකුට තදින් දෝෂාරෝපණය කර ඇති අතර ඇතැම් වෛද්‍යවරුන් ඔහුට හූ මිටි තැබීම නිසා රැස්‌වීමෙහි උණුසුම්කාරී තත්ත්වයක්‌ හට ගෙන තිබේ.

ඉකුත් වැඩවර්ජනය අසාර්ථක වුවද අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් සියල්ලෙහි සහභාගිත්වයෙන් මහ සභා රැස්‌වීමක්‌ කැඳවීමට සංගමයේ ප්‍රධානීන් කටයුතු නොකිරීම පිළිබඳ වෛද්‍යවරුන් අදාළ නිලධාරිවරයාට තම අප්‍රසාදය පළ කර ඇති අතර එකී වැඩවර්ජනය කිසිදු විසඳුමක්‌ ලබා නොගෙන හා වර්ජනය පැවැත්වීම වළකාලමින් උසාවි වාරණ නියෝගය නිකුත් කිරීමටත් පෙර නතර කිරීම පිළිබඳ සංගමය විධායක කමිටුවට චෝදනා කර තිබේ.

මෙහිදී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමස්‌ත සාමාජිකත්වයේ කැමැත්ත පරිදි කටයුතු කළ නොහැකි නම් විධායක කමිටුව වහා ගෙදර යා යුතු බව සහභාගි වූ ඇතැම් වෛද්‍යවරුන් පැවැසූ බව අදාළ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

http://www.divaina.com/2012/05/16/news21.html

No comments:

Post a Comment