Saturday, May 19, 2012

උසස්වීම් ලත් හෙද නිලධාරිනියන් අදාළ රෝහල් වෙත වාර්තා කර නැහැ -රජයේ ‍හෙද නිලධාරීන්ගේ සංගමය කියයි

සන්ධ්‍යා කරුණාරත්න

හෙද උසස් වීම් ලැබූ හෙද නිලධාරින්ගෙන් බහුතරයක් එම උසස් වීම් බාර ගැනීම සඳහා අඳාළ රෝහල්වලට මේ වන තෙක් ගොස් නැති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසයි.

උසස් වීම්ලාභීන්ට අඳාළ රෝහල්වල උසස් වීම් බාර ගන්නා ලෙස උපදෙස් දීම වෙනුවට ගැටලු ඇතිනම් අභියාචනා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් උපදෙස් ලබාදීමත් සමඟ මේ උසස්වීම් බාර නොගැනීමට එම නිලධාරින් යොමුව ඇතැයි එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

මේ උසස් වීම් පසුගියදා (02) ලබාදීම සිදු කළ බවත් ලකුණු ප්‍රමුඛතාව හා සේවා අවශ්‍යතාව මත නිවැරදිව ලබාදී ඇති බවත් ඒ මහතා පවසයි.

වසර එක හමාරක පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුව දෙවන වර සමත් හෙද නිලධාරින් 163 දෙනකුට රෝහල් සේවා 1 ශ්‍රේණියේ හෙද නිලධාරින්ට උසස් වීම් ලබාදීම සිදු කර ඇත. රෝහල්වල පුරප්පාඩු අනුව මේ උසස්වීම් ලබාදී තිබෙන අතර ‍එම පත්වීම් බාර නොගැනීම මත අඳාළ රෝහල්වල පුරප්පාඩු දිගින් දිගටම පැවැතීම නිසා රෝගී සත්කාර සේවා අඩාල වන බවට ද එම සංගමය චෝදනා කරයි.

එක්තරා හෙද සංගමයක උවමනාව යටතේ මේ වංචනික ක්‍රියාව සිදු කරන බවත් මේ පසුබිම යටතේ තමන්ට අවශ්‍ය හෙද නිලධාරින්ගේ උසස් වීම් වංචා සහගතව වෙනස් කිරීමට සෞඛ්‍ය දෙපාර්තමේන්තු‍වේ ඉහළ නිලධාරින් සැලසුම් කරන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කීය.

උසස් වීම් ලේඛනයේ පිටපතක් තම සංගමය මඟින් ඉල්ලා සිටියද එය ලබානොදුන්නේ යැයි ද එසේ ලබානොදි සැඟවීමට උත්සාහ කරන්නේ මේ උසස් වීම් පසුපස යම් වංචනික තත්ත්වයක් පවතින නිසා යැයි ද රත්නප්‍රිය මහතා පවසයි.

අඳාළ උසස් වීම් වංචා සහගතව වෙනස් නොකරන ලෙසත් එසේ කළහොත් වංචා කළ නිලධාරින්‍ හෙළිදරව් කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙයි.

http://www.dinamina.lk/2012/05/15/_art.asp?fn=n1205158

No comments:

Post a Comment