Thursday, May 3, 2012

පශ්චාත් වෛද්‍ය උපාධියට යළි පෙනී සිටීමේ ගාස්‌තු දෙගුණයකින් නංවයි

ඒමන්ති මාරඹේ

පශ්චාත් වෛද්‍ය උපාධි විභාගයන් සඳහා නැවත පෙනී සිටින (රිපිටර්ස්‌) වෛද්‍යවරුන්ගෙන් අය කරනු ලබන විභාග ගාස්‌තු පසුගියදා සියයට 100 කින් වැඩි කිරීමට කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය පියවර ගැනීම හේතුවෙන් නැවත පශ්චාත් වෛද්‍ය උපාධි විභාග සඳහා පෙනී සිටින එම වෛද්‍යවරුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වෛද්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම නව විභාග ගාස්‌තු වැඩි කිරීම යටතේ නැවත විභාගයට පෙනී සිටීම සඳහා රුපියල් 70,000 ක්‌ ගෙවනු ලැබූ අයෙකුට මින් ඉදිරියට එම විභාගය සඳහා දෙගුණයක මුදලක්‌ එනම් රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසක මුදලක්‌ ගෙවීමට සිදුව ඇතැයි එම අංශ කියා සිටී.

මෙම වසර සඳහා වන රජයේ වෛද්‍යවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය හා අතිකාල දීමනා වැඩිවීම ලැබී නොමැති මොහොතක නැවත පශ්චාත්a වෛද්‍ය උපාධි විභාග සඳහා පෙනී සිටින වෛද්‍යවරුන්ගෙන් මේ සා විශාල විභාග ගාස්‌තුවක්‌ අය කිරීම බලවත් අසාධාරණයක්‌ බව පෙන්වා දෙන එම වෛද්‍යවරු පවතින ආර්ථික තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ගෙන් බහුතරයකට මෙම විභාග ගාස්‌තු ගෙවීම අසිරුවී ඇති බව සඳහන් කර සිටිති.

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් පවත්වනු ලබන විභාග සඳහා වාර්ෂිකව වෛද්‍යවරුන් 5000 ක්‌ පමණ පෙනී සිටින අතර එක්‌ විභාගයක්‌ සඳහා අවම වශයෙන් 200 දෙනකු පෙනී සිටින බව වාර්තා වේ. මෙසේ එක්‌ විභාගයක්‌ සඳහා පෙනී සිටින වෛද්‍යවරුන් 200 දෙනාගෙන් 185 ත් 190 ත් අතර පිරිසකට නැවත විභාගයට පෙනී සිටීමට සිදුවන බව ද අනාවරණය වී තිබේ.

Divaina 2012.05.01

No comments:

Post a Comment