Wednesday, May 23, 2012

වැඩ වර්ජන තීරණයට වෛද්‍ය සංගමයේ බහුතරය අකමැති වෙති

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව (ඩැට්‌) වැඩිකර ගැනීම සඳහා ඊයේ (21 දා) සිට දීපව්‍යාප්ත අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක්‌ පෙරේදා (20 දා) පැවැති එම සංගමයේ මහ සභා රැස්‌වීමට සහභාගි වූ රෝහල් ශාඛා නියෝජිතයන් බහුතරය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

එම යෝජනාව ප්‍රතික්‍ෂේප කරන ලද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රෝහල් ශාඛා නියෝජිතයන් ප්‍රකාශ කර ඇත්තේ ලබන ජුනි මස 30 වැනිදා පැවැත්වෙන සංගමයේ නිලවරණයට පෙර වර්ජන ක්‍රියාමාර්ගයක්‌ කරා යැමෙන් වැළකී සිටිය යුතු බවයි.

එහෙත් මෙම රැස්‌වීමෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමස්‌ත සාමාජිකත්වයේ මතය පිළිබිඹු නොවීම නිසා වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව මුල් කරගෙන ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා තම ශාඛා සංගමය හෙට (23 දා) රැස්‌වී තීරණයක්‌ ගන්නා බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොළඹ ජාතික රෝහල් ශාඛාව පවසයි.

පෙරේදා කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති රැස්‌වීමට එම සංගමයේ ශාඛා සංගම් 90 න් 60 ක පමණ නියෝජිතයන් සහභාගි වී තිබේ. මෙහිදී සංගමයේ සභාපතිවරයාට එරෙහිව මීගමුව දිසා රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ශාඛාව විසින් සම්මත කරගෙන තිබූ විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇතත් බහුතරය සභාපතිවරයාට පක්‍ෂපාතීව අදහස්‌ දැක්‌වීම නිසා එම යෝජනාවට ඡන්ද විමසීමක්‌ සිදු නොකළ බව රැස්‌වීමට සහභාගි වූ වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ "දිවයින"ට පැවැසූහ.

මෙම රැස්‌වීමේදී සංගමයේ විධායක කමිටුවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව සාමාජිකයන් රැසක්‌ විසින් චෝදනා මුඛයෙන් අදහස්‌ ප්‍රකාශ කර තිබේ.

http://www.divaina.com/2012/05/22/news08.html

No comments:

Post a Comment