Thursday, May 17, 2012

තෘතීයික වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ තනතුරට සුදුස්‌සකු පත් කරන්න - සෞඛ්‍ය ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලයි

ඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරනු ලබන තෘතීයික වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ තනතුරෙහි වැඩ බැලීම සඳහා පත්කර සිටින වෛද්‍ය නිලධාරිවරයාට පරිපාලන ශ්‍රේණියේ තනතුරක්‌ දැරීමට සුදුසුකම් නැති බැවින් එම තනතුරෙන් ඔහු ඉවත්කර ඒ සඳහා වෙනත් සුදුස්‌සෙකු පත් කරන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිත ඉල්ලීමක්‌ කර තිබේ.

අදාළ අධ්‍යක්‍ෂ ධුරයෙහි වැඩ බැලීම සඳහා පත්කර ඇති වෛද්‍ය නිලධාරිවරයා මේ වනවිට වසර දෙකක කාලයක්‌ මුළුල්ලේ එම තනතුරෙහි වැඩ බලන බව පෙන්වා දෙන එම වෛද්‍ය සංගම්, ඔහු පරිපාලන ශ්‍රේණියේ තනතුරක්‌ දැරීමට වෛද්‍ය පරිපාලකයින්ගේ 2007 සේවා ව්‍යවස්‌ථාව යටතේ තිබිය යුතු වසර 3 ක කාලයක්‌ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලකයකු ලෙස සේවය කර තිබීමේ සුදුසුකම සපුරා නොමැති බව අවධාරණය කරයි.

දිවයිනේ සියලු රජයේ මහ රෝහල් හා ශික්‌ෂණ රෝහල් කටයුතු මෙන්ම සියලු රජයේ රෝහල් වෛද්‍ය පරිපාලන හා විශේෂඥ වෛද්‍යවරුන් මෙම තෘතීයික වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ තනතුර යටතට ගැනේ.

සුදුසුකම් සපුරා නොමැති තවත් වෛද්‍ය නිලධාරීන් ඇතැම් රෝහල්වල පරිපාලන තනතුරුවලට පත්කර ඇති බව ද මේ සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මැයි 24 වැනිදා පැවැත්වෙන සිය සංගමයේ මහ සභා රැස්‌වීමේදී තීරණයක්‌ ගන්නා බව ද ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය පවසයි.

http://www.divaina.com/2012/05/13/news03.html

No comments:

Post a Comment