Saturday, May 19, 2012

‘හෙද සේවය අල්ලසට යට නොවූ සේවයක්’ - ජනපති

2012 මැයි 14 වෙනි සදුදා,
(කොළඹ, ලංකාපුවත්) – හෙද සේවය අල්ලසට යට නොවූ සේවයක් බවත් ගුණාත්මක හෙද සේවයක් පවත්වා ගැනීම උදෙසා හෙද හෙදියන් කැපවිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

‘පර්යේෂණය තුළින් ඔප් නැංවුනු ගුණාත්මක හෙද සේවයකින් පරතරය පියවමු’ යන තේමාව යටතේ අද(14) අරලියගහ මන්දිරයේ පැවැති 2012 ජාත්‍යන්තර හෙද දින උත්සවය අමතමින් ජනාධිපතිතුමා කියා සිටියේ හෙද සේවය වැටුපකට සීමා වූ සේවයක් නොවන බවත් රටට ජාතියට කරන සේවයක් වශයෙන් සළකා හෙදියන් කටයුතු කළ යුතු බවත්ය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා ලෝකයේ සුබසාධනය ලබාදෙන රාජ්‍ය අතර ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි.

සේවක අයිතිවාසිකම් ලබා ගැනීමට වර්ජන තර්ජනවලට යොමුවනවාට වඩා රජය සමඟ සැමවිටම සාකච්ඡාවෙන් ප්‍රශ්න විසදාගත හැකි බවත් ඒ සදහා කැපවී කටයුතු කරන පිරිසක් තම රජයේ සිටින බවත් ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසා සිටියේ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවෙන් හෙද සේවයේ ඉල්ලීම් රැසක් දිනාගැනීමට තම සංගමයට හැකිවූ බවයි.

වෛද්‍ය වෘත්තියේ සිට හෙද සේවය දක්වා සෞඛ්‍ය සේවයේ සියලු අංශවල මානව සම්පත් සංවර්ධනය උදෙසා පසුගිය වසර කිහිපය තුළ රජය කටයුතු කර ඇති ආකාරය එහිදී පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ දී සෞඛ්‍ය සේවය වෙනුවෙන් රුපියල් බිලියන 100කට වඩා වැඩි මුදලක් රජය වැය කළ බවද පැවසීය.

මෙම අවස්ථාවේ දී ජනාධිපතිතුමා ‍‍රටට හා සෞඛ්‍ය සේවයට කළ මෙහෙය අගයමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ජනාධිපතිතුමා වෙත තිළිණයක් පිළිගැන්වූ අතර මහජන බැංකුවේ මැදිහත්වීමෙන් බැංකු සේවා පවත්වාගෙන යාමට හෙද හෙදියන් සඳහා බැංකු ගිණුම් හදුන්වාදීම ද සිදුවිය. එසේම සුවය මාසික සඟරාවේ පිටපතක් එහි සංස්කාරකවරිය වන ඉරේෂා හෙට්ටිගොඩ මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිණි.

http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_content&view=article&id=22458:2012-05-14-10-53-00&catid=90:--2&Itemid=555

No comments:

Post a Comment