Thursday, May 17, 2012

වෛද්‍ය වර්ජනය දෙකට බෙදෙයි

ඒමන්ති මාරඹේ, කළුතර - විජයසිරි විද්‍යාසේකර, නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (11 දා) ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය සඳහා ඇතැම් රජයේ රෝහල් වෛද්‍යවරුන් සහභාගි වුවද රෝහල් බහුතරයක වෛද්‍යවරුන් වර්ජනයට සහභාගි නොවීම හේතුවෙන් සාමාන්‍ය පරිදි රෝහල් කටයුතු සිදුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ පිරිසක්‌ "දිවයින"ට පැවැසූහ.

වර්ජන නියෝගය නොතකමින් තම රාජකාරි කටයුතුවල නිරත වූ වෛද්‍යවරුන් අතර කොළඹ හා ප්‍රාදේශීය ප්‍රධාන රෝහල් ගණනාවක සේවය කරන වෛද්‍යවරුන් සිටින බව ඔවුහු සඳහන් කළහ. මෙම තත්ත්වය මත රජයේ වෛද්‍යවරුන් වර්ජනයට පක්‍ෂ හා විපක්‍ෂ වශයෙන් කොටස්‌ දෙකකට බෙදී ගොස්‌ තිබූ බව පැහැදිලි විය. රජයේ රෝහල් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන බාධාවීමේ, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් පහළොස්‌ දහසේ සිට රුපියල් විසිනවදහස දක්‌වා වැඩි කරන ලෙස ඉල්ලමින් ඊයේ (11 දා) උදැසන 8.00 සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබිණි.

2008 වසරේදී රජය විසින් පොරොන්දු වූ ප්‍රකාරව මෙම දීමනා වැඩිවීම රජයේ වෛද්‍යවරුන්ට ලබාදිය යුතු බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙහිදී අවධාරණය කර තිබිණි. එහෙත් අදාළ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලා බලධාරීන්ට බලපෑම් කරන මෙන් එම සංගමයේ සාමාජිකත්වය විසින් කලකට පෙර කරන ලද ඉල්ලීමට විධායක කමිටුව එම දිනවල යහපත් ප්‍රතිචාර නොදැක්‌වීම හේතුවෙන් තමන් වර්ජනයට සහභාගි නොවූ බව වර්ජනය ප්‍රතික්‍ෂේප කළ වෛද්‍යවරු පිරිසක්‌ "දිවයින"ට පැවැසූහ.

මේ අතර කරාපිටිය, මහනුවර ශික්‍ෂණ හා කළුතර, පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් එම රෝහල්වල බාහිර රෝගී අංශ, සායන, සාමාන්‍ය සැත්කම් හා ප්‍රතිකාර කටයුතු අඩාලව පැවැති බවයි. බාහිර හා නේවාසික රෝගීන් මෙම තත්ත්වය මත අසීරුතාවට පත්ව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටුව පවසනුයේ ඊයේ (11 දා) ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක වූ බවය.

http://www.divaina.com/2012/05/12/news12.html

No comments:

Post a Comment