Monday, May 7, 2012

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ අකුරට වැඩ කරන්න යති

ඒමන්ති මාරඹේ

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රධාන සේවා ඉල්ලීම් තුනක්‌ සඳහා මෙතෙක්‌ විසඳුම් නොලැබීම සම්බන්ධව විරෝධය පාමින් රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ දියත් කිරීමට තීරණය කර ඇතැයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්‌ඩලය පවසයි.

මෙම ක්‍රියාමාර්ගය දියත් කරනු ලබන දින වකවානු පිළිබඳව තීරණය කිරීම සඳහා එම බල මණ්‌ඩලයේ විධායක කමිටුව හෙට (03 වැනිදා) දහවල් රැස්‌වීමට නියමිතව ඇත.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, විකිරණ ශිල්පීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික ශිල්පීන් (එම්.එල්.ටී.), භෞතවේදී චිකිත්සකයන් හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන වෘත්තිකයන් සඳහා වැඩිකර නොමැති දීමනා වැඩිකිරීම, රැකියා විරහිත පරිපූරක වෛද්‍ය සේවා උපාධිධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම හා එම වෘත්තිකයන්ගේ ප්‍රමාද වී ඇති උසස්‌වීම් ලබාදීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

සිය ඉල්ලීම් සඳහා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් අප්‍රේල් 28 වැනිදා තෙක්‌ කල් ඉල්ලාගත් නමුදු මෙතෙක්‌ එම විසඳුම් ලබාදීමට ක්‍රියා කර නැතැයි ඔහු සඳහන් කළේය.

Divaina 2012.05.02

No comments:

Post a Comment