Wednesday, May 16, 2012

සෞඛ්‍ය සේවාවේ වර්ජන රැල්ලක් අත ළගයි. රජය බිහිරි අලියෙක් සේ නිහඩයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැතිකඩ ගණනාවක නොවිසදුණු ප්‍රශ්න රැසක් මේ වන විට අර්බුද බවට පත්වෙමින් පවතින ලකුණු පහළ වී ඇත. ඒ අනුව මෙම කරුණු කෙරෙහි වත්මන් සංධාන ආණ්ඩුව කල්මරන ලද විසදුම් රැසක් ක්‍රියාවට නැගිය යුතුව ඇතැයි ද ඒ ඒ ක්ෂේත්‍රයන්හි වෘත්තීය සමිති රැසක් මේ වන විට චෝදනා නගමින් ද සිටී.
එහෙත් රජයේ පාර්ශවයෙන් දිස්වෙනුනේ සුපුරුදු ඇල් මැරුණු නිහඩ පිළිවෙතකි. මෙහි ප්‍රතිඵලය වන්නේ වර්ජන කරා අදාළ අංශ යොමු වීම බව පැහැදිලිය.
වෛද්‍ය වෘත්තිකයන්ගේ ප්‍රවාහන දීමනා ගැටලුව සහ හෙද හෙදියන්ගේ වැටුප් වර්ධක ගැටලුව මෙහි ප්‍රමුඛව පවතී. එම ගැටලු සදහා විසදුම් ලබා නො දුන හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමු වන බව මේ වනවිට අදාල ක්ෂේත්‍රයන් හි වෘත්තීය සමිති නායකයින් රටම දන්වා ඇත.

මෙහි එක් පියවරක් ලෙස අද (2012 මැයි 11) උදැසන 8 සිට රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර, තම ගැටලු සදහා නිසි ක්‍රියා මාර්ග නො ගන්නේ නම් සහ හෙද සේවාවේ වැටුප් ප්‍රශ්නය දිගින් දිගටම විසදන්නේ නැතිව කල් දමන තත්ත්වයක් ඇති බැවින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවට හෙද සේවක සංගමය ප්‍රකාශ කරයි.
මෙම තත්ත්වයට අදාළ සවිස්තරාත්මක වාර්තා 2 ක් අපි පහතින් පළ කරමු.
රු.15,000 දීමනාව 29,000 ක්‌ කරන්නැයි ඉල්ලා වෛද්‍යවරු අද වැඩ වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන්ට ගෙවනු ලබන බාධාවීමේ, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩිකර දෙන ලෙස ඉල්ලමින් අද (11 දා) උදැසන 8 සිට රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දැනට රජයේ වෛද්‍යවරුන්ට ගෙවනු ලබන රුපියල් 15,000 ක්‌වූ අදාළ දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩි කිරීමට රජය විසින් 2008 වසරේදී වූ පොරොන්දුව මෙතෙක්‌ ඉටුනොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය කියයි.
මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය සඳහා බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා, මහරගම පිළිකා යන රෝහල්වල වෛද්‍යවරුන් සහභාගි කර නොගන්නා බවත් වර්ජනය ක්‍රියාත්මක වන සෙසු රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවාවන් පමණක්‌ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින් ආරියරත්න මාධ්‍යයන්ට පැවැසීය.

රජයේ වෛද්‍යවරුන්ට බාධා වීමේ, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව පොරොන්දු වූ ප්‍රකාරව වැඩිකර දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දී තිබූ දින 10 ක කාල සීමාව අදින් (11 දා) අවසන්වීම නිසා ඊයේ (10 දා) රැස්‌ වූ සංගමයේ විධායක කමිටුව මෙම වර්ජන තීරණය ගත් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

වැටුප් වැඩි කිරීම් ප‍්‍රමාද කළහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් - හෙද සේවක පිරිස්
හෙද සේවාවේ වැටුප් ප්‍රශ්නය දිගින් දිගටම විසදන්නේ නැතිව කල් දමන තත්ත්වයක් ඇති බැවින් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවට හෙද සේවක සංගමය ප්‍රකාශ කරයි. එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පුකාශය පහත දැක්වේ:

හෙද සේවාවේ දීමනා වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම් සලකා බැලීම සඳහා භාණ්ඩාගාර ලේකම් විසින් 2012 මාර්තු පළමු සතියේ පස්දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත්කරන ලද අතර, එහි භාණ්ඩාගාර ලේකම්, රාජ්‍ය පරිපාලන ලේකම් හා සෞඛ්‍ය ලේකම් යන අය සාමාජිකයන් වෙති.

මූලික වශයෙන් හෙද සේවාවේ අතිකාල දීමනා, ඉන්වෙන්ටි‍්‍ර දීමනා හා අනතුරු දීමනා මෙම කමිටුව තුළ සලකා බැලීමට නියමිත වන අතර, එහි වාර්තාව මාස 02 කින් ලබා දෙන බව ප‍්‍රකාශ කරන ලදි. මෙම කමිටුව පත්කිරීමට පෙරම උක්ත දීමනාවලට අදාළව අප සංගමයේ නිර්දේශ සෞඛ්‍ය ලේකම් වෙත 2012.02.27 දින අප විසින් ලබා දෙන ලදි.
මෙම කමිටුව රැස්වී සාකච්ඡා කිරීමට දින යොදාගත්ත ද ඒවා දිගින් දිගටම කල් දමමින් දීමනා ගැටලුව මගහැර යන තත්ත්වයක් දක්නට ඇත. අපේ‍්‍රල් 19 දින පැවැත්වීමට යෝජිතව තිබූ සාකච්ඡාව අපේ‍්‍රල් 23 දිනට කල් දැමූ අතර, එහෙත් එම සාකච්ඡාව ද දැනට දින නියමයක් නොමැතිව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කල් දමමින් ඇත.
හෙද සේවාවේ අතිකාල, ඉන්වෙන්ටි‍්‍ර හා අනතුරු දීමනා 2001 න් පසු වැඩිවී නොමැති අතර, සෞඛ්‍ය සේවාවේ වෙනත් සමහර සේවාවන් වල අදාළ දීමනා 2012 දී ත් වැඩිකර ඇත. මෙම තත්ත්වය තුළ මාස 02 ක් ගත වී ඇතත් වාර්තාව ලබා නො දීම හා කමිටුව රැස් නො වීම තුළ උක්ත කමිටුව විසින් හෙද සේවාව නො සලකා හැර ඇති බව පැහැදිලිය. ඉදිරි සති දෙක තුළ කමිටු නිර්දේශ ලබා දී උක්ත දීමනාව වැඩි නොකළහොත් අප සංගමය දීප ව්‍යාප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කළ බව මෙයින් අවධාරණය කරන්නෙමු

lankacitizen.com

No comments:

Post a Comment