Wednesday, May 16, 2012

දීමනාව වැඩිකර ගැනීමට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන්ගේ බාධාවීම්, පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව රුපියල් 29,000 දක්‌වා වැඩි කර ගැනීම සඳහා ඉදිරියේදී දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ කරා යැමට පෙරේදා (13 දා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහා සභා රැස්‌වීමේදී තීරණය වූ බව එම සංගම් ආරංචි මාර්ග පැවසීය. අදාළ දීමනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ මෙම මහ සභා රැස්‌වීමට සහභාගි වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය ශාඛාවන් කිහිපයක්‌ ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගයක්‌ ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබිණි. අවසානයේදී අඛන්ඩ වැඩවර්ජනයක්‌ කරා යැමට සාමාජිකත්වය එකඟ වූ බව එම ආරංචි මාර්ග කීවේය.

කොළඹ රජයේ වෛද්‍යවරුන්ගේ සංගම් මූලස්‌ථානයේදී මෙම මහ සභා රැස්‌වීම පැවැත්විණි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීම වළක්‌වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය සිකුරාදා (11 දා) නිකුත් කර තිබූ වාරණ නියෝගය ඊයේ (14 දා) වන විට ද තමනට නොලැබුණු බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. මෙම තත්ත්වය මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට මේ වන විට තම සංගමයට බාධකයක්‌ නොමැති බවත් එවැනි වාරණ නියෝගයක්‌ පවතී නම් එය ඉවත් කරලීමට අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගනිමින් සිටින බවත් ඔහු කීවේය.

වෛද්‍ය වරජනයට එරෙහිව වාරණ නියෝගයක්‌ ඉල්ලා උසාවියට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලෙහි පවතින ඇතැම් ව්‍යාජ කරුණුවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරගෙන යන බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර පසුගිය සිකුරාදා රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දීමනාව සම්බන්ධව මුදල් හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී සිය ඉල්ලීමට නිසි එකඟත්වයක්‌ පළ නොවූ බව ද වෛද්‍ය පාදෙනිය අවධාරණය කළේය. ඊයේ (14 දා) වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.


http://www.divaina.com/2012/05/15/news07.html

No comments:

Post a Comment