Saturday, May 19, 2012

ජාත්‍යන්තර හෙද දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

Created on Tuesday, 15 May 2012 10:50


ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිතුමා හෙද සේවය අල්ලසට යට නොවූ සේවයක් බව පෙන්වා දෙමින් ගුණාත්මක හෙද සේවයක් පවත්වා ගැනීම උදෙසා හෙද හෙදියන් කැපවිය යුතු බවත් හෙද සේවය වැටුපකට සීමා වූ සේවයක් නොවන බවත් රටට ජාතියට කරන සේවයක් හා යුතුකමක් වශයෙන් සලකා හෙද හෙදියන් කටයුතු කළ යුතු බවත් පැවසීය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා ලෝකයේ සුබසාධනය ලබාදෙන රාජ්‍ය අතර ශ‍්‍රී ලංකාව පෙරමුණේ සිටින බව ද රජය සැමවිටම වියදමේ වැඩි කොටස දරමින් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කළේය.

සේවක අයිතිවාසිකම් ලබා ගැනීමට වර්ජන තර්ජනවලට යොමු වනවාට වඩා රජය සමඟ සැමවිටම සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳාගත හැකි බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා කැපවී කටයුතු කරන පිරිසක් තම රජයේ සිටින බව ද පෙන්වා දුන්නේය.

මෙහි දී මහජන බැංකුවේ ගිණුම් ඇතුළත් පොත් හෙද හෙදියන් වෙත පිරිනැමුණු අතර ජනාධිපතිතුමා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගයා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් ජනාධිපතිතුමා වෙත තිළිණයක් ප්‍රදානය කෙරිණි.

මේ අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් ‍හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අජිත් මෙන්ඩිස් යන මහත්වරුන් එක් ව සිටියහ.

NDH/ Pix. Sudath Silva







http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/4091-2012-05-15-05-20-42


No comments:

Post a Comment