Wednesday, May 16, 2012

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය

හෙට දිනයේ ඉපදෙන්න ඉන්න දරුවන්ට වඩා හොඳ රටක්‌ නිර්මාණය කළ යුතුයි
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පළමුව යුතුකම් ඉටුකර දෙවනුව අයිතීන් ලබාගන්නට යා යුතුයි
මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි

අනුර බාලසූරිය

ලොව සුබසාධන පහසුකම් ලබාදෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම ස්‌ථානයක සිටින බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

අරලියගහ මන්දිරයේදී ඊයේ (14 දා) පැවැති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීවේය.

හෙද සේවයේ ගුණාත්මකභාවය පිළිබඳ අප සැමදාම කථා කරනවා. හෙද සේවය අල්ලසට යට නොවුණු සේවයක්‌. හෙද හෙදියන් ප්‍රියවචන කතාකරනවා වගේම ඒ අයගේ හිනාවත් රෝගියාට වටිනවා. නමුත් අපට දැන් පැමිණිලි එනවා හෙද සේවයේ සමහරු සමහර තැන්වලදී ලෙඩෙකුට කථා කරනවිට, සාත්තු කරන විට ඔවුන් දක්‌වන ප්‍රතිචාර එදාට වඩා වෙනස්‌ කියලා. හොඳ මට්‌ටමක නැහැ කියලා. හැබැයි ඒ කියන්නේ කීප දෙනකු ගැන. ඒ කීප දෙනාත් වටහා ගන්න ඕන හෙද සේවය කියන්නේ වැටුපකට කරන රැකියාවක්‌ නොව සේවයක්‌ කියන බව. රෝගීන් වෙනුවෙන් කරන සේවය රටක්‌, ජාතියක්‌ වෙනුවෙන් කරන සේවයක්‌. අපට යුතුකමක්‌ තියෙනවා අසනීපයෙන් සිටින රෝගියා අපේ දෙමාපියෙක්‌, හිතවතෙක්‌, ඥාතියෙක්‌, ලාංකිකයෙක්‌ බව සිතා ඔවුන්ට සලකන්න. අපිට විශ්වාසයි ඔබ ඒ යුතුකම ඉටුකරනවා කියලා.

හෙද සේවයේ ප්‍රශ්න තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක්‌ නැති කෙනෙක්‌ නැහැ. ප්‍රශ්න හැමෝටම තියෙනවා. රාජ්‍ය සේවය ලක්‍ෂයකට අඩුකිරීමේ වැඩපිළිවෙළක්‌ පසුගිය කාලයේ තිබුණා. රාජ්‍ය සේවයේ පිරිස ලක්‍ෂ හයක්‌ දක්‌වා අඩුකරලා තිබුණා. නමුත් දැන් එම පිරිස ලක්‍ෂ 13 ක්‌ දක්‌වා අපි වැඩිකරලා තියෙනවා. දැන් හැමදාම වගේ රැකියා ලබාදෙන බව ඔබ දන්නවා. සෞඛ්‍ය සේවයේත් බොහෝ පෙදෙස්‌වල රැකියා ලබා දෙනවා. නමුත් මොනතරම් රැකියා අවස්‌ථා අපි ලබාදුන්නත් එහි අවශ්‍යතාව අනුව ලබාදෙන්න ඕන. නමුත් සමහරු කියනවා ප්‍රමිතියට අනුව 45,000 ක්‌ හෙද සේවයේ ඉන්න ඕන ඒ වුණාට ඉන්නේ 26,000 ක්‌ විතරයි කියලා. ඒ අතරේ සමහරු කියනවා මේ සඳහා බඳවා ගන්න ඕන විද්‍යා විෂයන් හදාරපු අය පමණයි. කලා විෂයන් හදාරපු අය බඳව ගන්න බැහැ කියලා. කලා විෂයන් ඉගෙන ගත් අයට හෙද සේවයට ඇතුළු වෙන්න බැරිද? මේවා ගැන අලුතෙන් සිතිය යුතුයි.

අපි නිතරම කියනවා වෘත්තීය සමිති නායකයෙක්‌ වශයෙන් අපේ ස්‌වාමීන් වහන්සේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගැටලු විසඳන්න අපි සමඟ සාකච්ඡා කරලා කටයුතු කරනවා. හොඳ තීන්දු තීරණ ගන්නවා. වෛද්‍යවරුන්ට පවා අපි සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය තීරණ, විසඳුම්වලට එන්න අද පුළුවන්. අපි ඒ විසඳුම් ලබා දුන්නා. වෛද්‍යවරු අප සමඟ කෑම මේසයේදී සාකච්ඡා කර ගැටලු විස¹ගත්තා. කියන පරක්‌කුවෙන් අපි ඉල්ලීම් ලබාදී තිබෙනවා. සුහදව සාකච්ඡා කර ගැටලු විසඳගන්න පුළුවන්. එහෙම නොවුනාම ටිකක්‌ දුර දිග යනවා. සුහදව ඕනෑම ප්‍රශ්නයක්‌ විස¹ගත හැකියි. අවබෝධයක්‌ තිබෙන කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ඉන්නවා.

අද අපි ඉන්ධන මිලදී ගන්නවා සෞදියෙන්, ඉරානයෙන්. ඒ ඉන්ධනවලට අපි ගෙවන මුදලට වඩා අඩු මුදලට ඉහළම ධනපතියන්ගේ සිට මේ රටේ හැමෝටම ඉන්ධන ලබා දෙන්නේ. අපි අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය ආදී ක්‍ෂේත්‍රවලට සුබසාධනය ලබාදෙන රටවල් අතර ඉහළම තැනක ඉන්නේ. මේ බව බොහෝ දෙනෙක්‌ අවබෝධ කරගෙන නැහැ. ආණ්‌ඩුව වැඩියෙන් ගෙනැල්ලා අඩු මිලට ජනතාවට දෙනවා. බර ඉසිලිsය හැකි ප්‍රමාණයක්‌ රජයකට තිබෙනවා.

අපි මේ රට සංවර්ධනය කරන්න ඕන. රැකියා ලබා දෙනවා වගේම ඒ අයගේ වැටුප් වැඩිකරන්න ඕන. ලක්‍ෂ 13 ක්‌ වන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න, විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්න, සමෘද්ධි සහනාධාරය ලබාදෙන්න මේ හැම ක්‍ෂේත්‍රයක්‌ සම්බන්ධයෙන්ම අපි කටයුතු කරන්න ඕන. බලන්න මේ රටේ කොපමණ දේවල් නොමිලයේ දෙනවාද කියලා. අඩු මිලට දෙනවද කියලා. මේ සියලු දේවල් සිදුකරන්නේ ආණ්‌ඩුවෙන්. ආණ්‌ඩුව කියන්නේ ඔබ. අපි මේ රටේ මාර්ග, රෝහල් හදන්න ඕන. පාසල් හදන්න ඕන. අපේ දරුවන්ට අපි හොඳ රටක්‌ ගොඩනඟන්න ඕන. මේ අපේ රට. පිටරටවල් ඇවිත් අපේ රට හදලා දෙන්නේ නැහැ. මේ රට හදන්න ඕන අපි. අපිට වගකීමක්‌ තියෙනවා අදට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ටත් අපේ රට කියලා ආඩම්බර වෙන්න පුළුවන් රටක්‌ නිර්මාණය කරන්න. අපි මේ රට නිදහස්‌ කරගත්තා. අපිට ආපස්‌සට යන්න පුළුවන් කමක්‌ නැහැ. මේ නිදහස්‌ කරගත් රට අපි අනාගත පරපුරට භාර දෙනකොට රට වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් රාශියක්‌ තියෙනවා. අපි අද ඒ දේ සිදු නොකළොත් කවදහරි මේ රටේ ඉපදෙන දරුවා අපට සාප කරාවි.

අපි ඒ සාපයට ලක්‌විය යුතු නැහැ. අපේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් වැඩකරන්න අපට යුතුකමක්‌ තියෙනවා. ඒ යුතුකම, වගකීම අපි ඉෂ්ට කරනවා. හෙද හෙදියන් වශයෙන් ඔබ රැකගෙන ඉන්න නාමය, ගෞරවය ඉදිරියටත් රැකගැනීම ඔබ සැමගේ යුතුකමක්‌.

උතුරු නැගෙනහිරෙන් අද මෙහි පැමිණි අය ඇතුළු ඔබ සියලු දෙනාටම මම මගේ සුබපැතුම් පිරිනමනවා.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා

ජාත්‍යන්තර හෙද දිනය අද සමරන්නේ ඓතිහාසික මේ අරලියගහ මන්දිරයේදී. හෙද සේවය මුළු මහත් රාජ්‍ය සේවයේ කාගේත් ගෞරවයට පැසසුමට ලක්‌වූ සේවාවක්‌. අපේ නිදහස්‌ සෞඛ්‍ය සේවාව තුළ අප රජය විසින් ලබාදුන් භෞතික හා මානව සම්පත් අතිවිශාලයි. මේ වර්ෂයේ රුපියල් බිලියන 100 ක්‌ පමණ වෙන්කර තිබෙනවා මේවාට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ මිතුරු රාජ්‍යයන් වාර්ෂිකව විශාල මුදලක්‌ සෞඛ්‍ය සේවය වෙනුවෙන් ලබා දෙනවා.

වෛද්‍ය, හෙද සේවය ඇතුළු සියලු අංශවලට මානව සම්පත් ඉතා ඉහළින් ලබාදී තිබෙනවා. 2001, 2003 වසරවල හෙද සේවයට බඳවා ගැනීම් සීමා කරලා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නතර කර තිබුණේ. නමුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන කාලයේ රාජ්‍ය සේවය ශක්‌තිමත් වුණා. රාජ්‍ය සේවයේ අද වනවිට ලක්‍ෂ 13 ක්‌ සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තීන්වලට මාස්‌පතා බඳවා ගන්නවා. මේ සියලු අංශවලට වාර්ෂිකව විශාල පිරිසක්‌ බඳවා ගන්නවා.

සෞඛ්‍ය අංශයේ මානව සම්පත් වර්ධනය තරම් වෙනත් කිසිම සේවයක නෑ. නිරෝගී ජනතාවක්‌ බිහිකිරීමේදී ප්‍රමිතීන්ට අනුව කටයුතු කිරීම අප කාගේත් බලාපොරොත්තුවයි. ගුණාත්මක සෞඛ්‍ය සේවයක්‌ සඳහා ඔබ ඔබේ වගකීම ඉටුකරනවා. ඔබ ඉල්ලීමක්‌ කළා නම් ජනාධිපතිතුමා ඒ සියලු දේ ලබා දී තිබෙනවා.

අද මේ ස්‌ථානයට ලංකාවේ හතර දිග් භාගයෙන් හෙද හෙදියන් 5000 ක්‌ පමණ පැමිණ තිබෙනවා. මේ සියලු දෙනා කොළඹට එනවිට රටේ සිදුවී තිබෙන සංවර්ධනය දකින්න ඇති. සංවර්ධනයේ මොනතරම් වෙනසක්‌ වෙලාද? රජයේ අරමුණ නිරෝගිමත් සමාජයක්‌ ගොඩනැගීමයි.

රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණෝ

අපි අද අනුස්‌මරණය කරන්නේ නූතන හෙද සේවයේ නිර්මාතෘ නයිටින් ගේල් ජන්ම දිනයයි. අපි කෙනෙක්‌ අනුස්‌මරණය කරන්නේ නාමිකව නොවෙයි. ඉන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ඇයගේ ගුණ සමුදායක්‌ තිබුණා නම් ඒ මාර්ගයේ ගමන් කිරීමයි.

නයිටින් ගේල් මැතිනිය ධනවත් පවුලක උපන් කෙනෙක්‌. ඇය ඒ ධනවත්කම වංශවත්කම සියල්ල පසෙක දමා තෝරාගත්තේ අහිංසක රෝගීන්ට උපස්‌ථාන කිරීමයි. බුදුන් වහන්සේත් ප්‍රථමයෙන් පෙන්නුවේ මේ ගුණාංගයයි.

නයිටින් ගේල් ආර්යාව නමින් රෝගීන් වෙනුවෙන් දිවා රාත්‍රී කැපවී කටයුතු කරන නයිටින් ගේල් දියනියන්, පුතුන් මෙතන ඉන්නේ. ඔබේ සේවය ජනතාව අගයන්නේ නම් එයයි නයිටින් ගේල් ආර්යාවට කරන හොඳම ගරුත්වය.

හෙද සේවය නිර්දන පංතිය වෙනුවෙන් සදාකල් ඇතිවේවා. එක්‌තරා සංවිධානයක්‌ ජාත්‍යන්තර හෙද දිනය අනුස්‌මරණය කර ඇති ආකාරය හරිම කනගාටුයි. ඔවුන් එය අනුස්‌මරණය කර තියෙන්නේ අනතුරු ඇඟවීමක්‌ කරමින්. අපි අපෙන් ඉටුවිය යුතු යුතුකම පළමුව ඉටුකර, දෙවනුව අයිතීන් ලබාගන්නට යා යුතුයි.

මෙම අවස්‌ථාවට වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද එක්‌වූහ.

මෙම අවස්‌ථාවට උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත්වලින් හෙද හෙදියන් 5000 ක්‌ පමණ පැමිණ සිටියහ.

මෙහිදී හෙද සංගමය විසින් ජනාධිපතිවරයාට විශේෂ තිළිණයක්‌ද ප්‍රදානය කළේය


http://www.divaina.com/2012/05/15/news20.html

No comments:

Post a Comment