Thursday, May 3, 2012

රජයේ රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌

ඒමන්ති මාරඹේ

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ රජයේ රෝහල් ගණනාවක දියවැඩියා රෝගය සඳහා ලබාදෙන "මෙට්‌ෙµdaමින්" ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග රැසක්‌ මෙම දිනවල හිඟව පැවැතීම නිසා එම රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ඇතැම් රෝහල්වල දියවැඩියා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නතක්‌ වන "ඉන්සියුලින් එන්නත් පවා හිඟව පවතින බව වාර්තා වේ. මෙම දිනවල රජයේ රෝහල්වල දියවැඩියා සායනවලට යන රෝගීන්ට වෛද්‍යවරුන් බෙහෙත් වර්ග 8 ක්‌ නිර්දේශ කළහොත් ඒවායින් බෙහෙත් වර්ග 4 ක්‌ හෝ 5 ක්‌ පෞද්ගලික ඔසුසල්වලින් මිල දී ගැනීමට සිදුව ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම තත්ත්වය මත එම බෙහෙත් වර්ග පෞද්ගලික ඔසු සල්වලින් මිල දී ගැනීමට පෙළඹී ඇත්තේ රෝගීන් සුළුතරයක්‌ වන අතර රෝගීන් වැඩි දෙනකු ආර්ථික දුෂ්කරතා මත රජයේ රෝහල් සායනයෙන් නිකුත් කරන බෙහෙත් පමණක්‌ ලබා ගැනීමට පෙළඹී ඇතැයි එම ආරංචි මාර්ග කීවේය.

මෙසේ දියවැඩියාව සඳහා නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග සියල්ල නොගැනීමෙන් රෝගීන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ අතර මෙසේ රජයේ රෝහල් දියවැඩියා සායනවල හිඟව පවතින ඇතැම් බෙහෙත් වර්ග වෛද්‍ය සැපයුම් අංශයේද පවතිනුයේ සීමිත තොගයක්‌ වන අතර සෙසු වර්ග එම අංශයේද හිඟව පවතී.

Divaina 2012.05.01

No comments:

Post a Comment