Thursday, May 17, 2012

රජයේ රෝහලකට එන විදේශිකයන්ටත් නොමිලේ ප්‍රතිකාර සුබසාධනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැනක - ජාත්‍යන්තර හෙද දින සැමරුමේ දී ජනපති අවධාරණය කරයි

මහින්ද අලුත්ගෙදර

සුබසාධන කටයුතු සැලසීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයේ පසුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවාවන් සැපයීම සැලැකීමේදී ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ස්ථානයට පැමිණ නොමැති බවද රෝහලකට පැමිණෙන ඕනෑම විදේශිකයෙකුට වුවද නොමිලයේ ප්‍රතිකාර ලබාදෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (14) පැවැති ‘ජාත්‍යන්තර හෙද දින සැමරුම - 2012’ උළෙල අමතමිනි. පර්යේෂණ තුළින් ඔප් නැංවුණ ගුණාත්මක හෙඳ සේවාවකින් පරතරය පියවමු යන්න තේමාව කරගත් මේ සැමරුම් උළෙල රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අඳහස් දැකුවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය රටේ ජනතාවට සහන සැළසීමේ අරමුණින් වැඩි වියදමක් දරමින් ජනතාවට අවම මිල ගණන් යටතේ පරිභෝජනය සඳහා අවස්ථාව සළසා දෙන බවයි.
වසර ගණනාවක සිට මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් පොහොර සහනාධාරය ලබාදෙන බව සිහිපත්කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතැමුන් මේ තත්ත්වය අවබෝධ කරගෙන නොමැති බවද රට සංවර්ධනය කිරීම සඳහා රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

රට සංවර්ධනය නොකර රැකියා පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ ඒ මහතා සුබ සාධන පහසුකම් සළසාලමින් රටේ ජනතාව වෙනුවෙන් සමෘද්ධි සහනාධාරය ලබාදෙන බවද ජනතාවට නොමිලයේ මෙන්ම අවම මිල ගණන් යටතේ ලබාදෙන සහන රැසක් පවතින බවද පැවසීය.

විදේශ රටවලින් පැමිණ අපේ රට සංවර්ධනය නොකරන බව කී ජනාධිපතිවරයා හෙට උපදින දරුවන් වෙනු‍වෙන් ආඩම්බරයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාව බවද ඒ සඳහා යුතුකම් රැසක් අපවෙත පැවරී තිබෙන බවද කීවේය.
හෙඳ හෙඳියන් වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවාව හරහා ඉහළ සේවාවක් ඉටුකරන බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ ක්ෂේත්‍රයේ පිරිසට පවතින ගැටළු සඳහා සාකච්ඡාවෙන් විසඳුම් සොයාගත හැකි බවද එලෙස සාකච්ඡාකර යම් ගැටළුවක් විසඳා ගතහැකි පිරිසක් වත්මක් රජය නියෝජනය කරන බවද පෙන්වා දුන්නේය. හෙඳ හෙදියන් වෙත බැංකු පහසුකම් හදුන්වා දෙමින් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් ආයතනයේ බැංකු ගිණුම් පිරිනැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ තිළිණයක්ද පිරිනැමූහ.
ඊට අමතරව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සුවය සඟරාවේ පිටපතක්ද පිරිනැමිණිනි. රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී සූරියප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

. http://www.dinamina.lk/2012/05/15/_art.asp?fn=n1205151

No comments:

Post a Comment