Wednesday, November 2, 2011

නිදහස්‌ අධ්‍යාපනය සහ අධ්‍යාපන නිදහස

මහාචාර්ය සිරිමල් අබේරත්න
පාත් ෆයින්ඩර් පදනම

ලංකාවේ ගෝලීය දැනුම් කේන්ද්‍රය තුළ සරසවි පද්ධතිය

මේ දක්‌වාම ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ක්‍රියාත්මකව පවතින්නේ, දැඩි ආරක්‍ෂණ වැටකඩොලුවලට මුවා වුණු රාජ්‍ය ඒකාධිකාරයක්‌ යටතේය. එහි ප්‍රතිසංස්‌කරණයේ අවශ්‍යතාව පිළිබඳව නිරන්තරයෙන් කටකතා පැවතුණි. එනමුත් නිදහස්‌ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වී වසර 30 කට වැඩි කාලයක්‌ ගත වුවත්, ඊට අනුගාමිකව මෙම වැදගත් ක්‍ෂේත්‍රය විවෘත වූයේ නැත. එබැවින් "ආවෘත ආර්ථික" රාමුවක්‌ තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසායක ඇති සියලු දුබලතා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දිගටම පැවතුණි.

උසස්‌ අධ්‍යාපනය සඳහා වූ වැඩිවන ඉල්ලුමට සරිලන සේ විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් වූයේ නැත. එබැවින් උසස්‌ අධ්‍යාපනය සම්බන්ධයෙන් දැඩි සැපයුම් හිඟයක්‌ පවතී. උසස්‌ අධ්‍යාපන සේවයෙහි නිෂ්පාදන පිරිවැය තුන්වැනි පාර්ශ්වයක්‌ මතට පටවා ඇත. එබැවින් එහි මිල හා ප්‍රමිතිය පිළිබඳව ඉල්ලුම හා සැපයුම යන දෙපාර්ශ්වයේම සැලකිල්ල අල්පය. විශ්වවිද්‍යාල ක්‍රමය තුළ තරගය හා කාර්යක්‍ෂමතාව වැඩිදියුණු වීමට හේතු වන සානුබල ක්‍රමයක්‌ නැත. සංවර්ධන ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල ණය - ආධාර යටතේ බොහෝවිට ආරම්භ වූ ප්‍රතිසංස්‌කරණයන් විශ්වවිද්‍යාල ක්‍රමයේ ඇති ප්‍රශ්නවල මූලයන්ට වඩා මතුපිට ලක්‍ෂණයන් නිවැරැදි කිරීමට නාස්‌තිකාරී ලෙස යොමු වී ඇත.

ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රශ්නය කවරදාකවත් නොතිබූ තරමට වර්තමානයේදී වැදගත් වී ඇති හේතුව ලංකාව "දැනුම පිළිබඳ ගෝලීය කේන්ද්‍රස්‌ථානයක්‌" බවට පත් කිරීමේ රජයේ අරමුණය, ගෝලීය දැනුම් කේන්ද්‍රස්‌ථානයේ මූලික සිද්ධාන්තය නම්, දැනුම සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුමට ගැලපෙන සේ ගෝලීය වශයෙන් තරගකාරී දැනුම නිෂ්පාදනයට ඇති හැකියාවය. ගෝලීය දැනුම් කේන්ද්‍රය පිළිබඳ සංකල්පය අමතක කළත්. අපොස (උසස්‌ පෙළ) විභාගයෙන් පසුව තම ගමන් මාර්ගයේ අනපේක්‍ෂිත අවසානය දකින ලංකාවේ සිසුන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු උසස්‌ අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට "තෝරාගැනීමේ නිදහස" තිබිය යුතු වේ.



මෙම ප්‍රතිපත්ති සමාලෝචනයේ අරමුණ වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්‌කරණය කිරීමේ රජයේ වෑයමට සහායක්‌ වශයෙන්, ගැටලුව විග්‍රහ කිරීමත් මාර්ගෝපදේශ අත්වැලක්‌ ලබාදීමත්ය. මෙම ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලිය තුළ උසස්‌ අධ්‍යාපනය තුළ රාජ්‍ය ඒකාධිකරය තුරන් කිරීමත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කළමනාකරණ හා මූල්‍ය පාලන ස්‌වාධීනතාව පැවරීමත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ කාර්යභාරය නවීකරණය කිරීමත් හා නිදහස්‌ උසස්‌ අධ්‍යාපනය පිළිබඳ යෝජනාත් යන කරුණු අඩංගු වේ.

විශ්වවිද්‍යාල ප්‍රශ්නය

තම ජනතාව ලබා ඇති ප්‍රශංසනීය අධ්‍යාපන මට්‌ටම පිළිබඳව ලංකාවට ආඩම්බර විය හැකි බව ඇත්තකි. ශුද්ධ ප්‍රාථමික අධ්‍යයන අනුපාතය සියයට 100 කට ළඟා වී ඇති අතර, වැඩිහිටි සාක්‍ෂරතා අනුපාතය සියයට 90 ඉක්‌මවා ඇති එහෙත් ජාත්‍යන්තර තරගකාරී දැනුම හා කුසලතා සමග සලකන කළ, මෙම ඉලක්‌කම්වල තේරුමක්‌ නොමැති තරම් ය. ගෝලීය තරගකාරී රැකියා වෙළෙඳපොළක වැඩ කිරීමේ හැකියාව අපගේ උගත් ජනතාවගෙන් කිනම් ප්‍රතිශතයකට ඇත්දැයි යන්න අතිශය වැදගත් ප්‍රශ්නයයි. ඇත්තෙන්ම එම හැකියාව ඇති පිරිසෙන් පවා බොහෝ දෙනෙක්‌ ලංකාව තුළ නොරැඳේ. තම මව්බිම තුළ ඉඩ ප්‍රස්‌ථා නොමැතිකම නිසා හෝ තිබුණත් ඒවායෙන් ලැබෙන ප්‍රතිලාභය අල්ප නිසා හෝ, ඔව්හු ද ලංකාව හැර යති.

බහුතරය බැහැර කර, සුළුතරයකට නිදහස්‌ අධ්‍යාපනය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි නිල සංඛ්‍යා ලේඛණවලට අනුව, අපොස (උසස්‌ පෙළ) විභාගයට වාර්ෂිකව පෙනී සිටින 200,000 ක්‌ පමණ වූ සිසුන්ගෙන් 125,000 ක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සුදුසුකම් ලබති. ඔවුන් සියලු දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාදිය යුතු බවක්‌ මෙයින් නොකියෑවේ. එහෙත් ඔවුන් හැමටම අවශ්‍ය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෝරා ගැනීමට අයිතිය හා ඒ සඳහා මාර්ගයක්‌ තිබිය යුතුයි. මෙම පිරිසෙන් ආණ්‌ඩුවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන්නේ සියයට 15-16 ක්‌ (20,000) තරම් වූ සුළුතර පිරිසකි. මේ සුළුතරයට "නිදහස්‌ අධ්‍යාපන" වරම් ලැබෙන අතර, ඉතිරියෙන් බහුතරයකට "අධ්‍යාපන නිදහසත්" අහිමි වේ. අධ්‍යාපන අයිතිය මානව අයිතිවාසිකමක්‌ බවද අමතක නොකළ යුතුය. විශ්වවිද්‍යාල වරම් නොලැබූ පිරිසෙන් දහස්‌ ගණනක්‌ විදේශීය රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවුරුදු පතා පිටව යන අතර, තවත් එබඳු පිරිසක්‌ විදේශීය විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත මෙරට පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ඇතුළු වේ. විදේශ රටවලට යන සිසුන් තම ආදායම් මට්‌ටමට අනුව ඉතා අධික වියදම් සහිත ඇමරිකාව, එංගලන්තය හා ඕස්‌ටේ්‍රලියාව ආදී රටවලටද, වියදම් අඩු ඉන්දියාව හා අනෙකුත් දකුණු ආසියාතික රටවලටද යති. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට සමගාමීව වෘත්තීමය හා තාක්‍ෂණික අධ්‍යාපන ක්‍රමය ද පුළුල් වී නොමැති මේ අනුව, අපොස (උසස්‌ පෙළ) සමත් සිසුන්ගෙන් බහුතරයකට අඩු තරමින් ප්‍රමාණවත් මිලකට හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෙනත් ආකාරයේ තෘතියික අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වී ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වාර්තාවලට අනුව, ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය වැය කරන්නේ ආණ්‌ඩුවේ මුළු වියදමෙන් 15% ක්‌. නැතහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 03 - 04 ක්‌ තරම් කුඩා ප්‍රමාණයකි. මෙය වඩාත්ම සුළු වියදමක්‌ බව පෙනෙන්නේ. වෙනත් රටවල ආණ්‌ඩුව ඊට වඩා වැය කරන නිසාම නොව, සිසුන් විසින්ද විශාල වියදමක්‌ උසස්‌ අධ්‍යාපනය වෙනුවෙන් දරණ බැවිනි. මේ අනුව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ආණ්‌ඩුවේ වියදම් මතම පුළුල් කිරීම ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තියක්‌ නොවේ. ඒ හැරත්, එමගින් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුල්බැස ඇති ප්‍රශ්නවලට පිළිතුරක්‌ නොලැබේ.

තරගයට අවහිර කෙරෙන මධ්‍යගත විශ්වවිද්‍යාල ක්‍රමය

ලංකාවේ "මධ්‍යගත"වූ විශ්වවිද්‍යාල ක්‍රමය යටතේ තරගකාරීත්වයට දිරිමත් කිරීමක්‌ නොමැති තරගය නොමැති නිසා විශ්වවිද්‍යාවලින් බිහි කෙරෙන උපාධිධාරීන් බහුතරයකගේ දැනුම, ජාත්‍යන්තර තත්ත්වය හා සසඳන කළ "ඌන ප්‍රමිතියෙන්" යුක්‌ත වූවකි. මේ සම්බන්ධයෙන් ඉස්‌මතු කළ යුතු ප්‍රශ්න ගණනාවකි. ඒ අතරින් සමහරෙකගේ ප්‍රභව මූලයක්‌ විශ්වවිද්‍යාල ක්‍රමයෙන් ද ඔබ්බට ගොස්‌ ලංකාවේ ද්විතීයික අධ්‍යාපන ක්‍රමය දක්‌වා ද දිවෙන බව පෙනේ.

* ලංකාවේ විශ්වවිද්‍යාලවලට තමන්ට අවශ්‍ය සිසුන් තෝරා ඇතුළත් කර ගැනීමට අයිතියක්‌ නැත. එම අයිතිය ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමටය. මෙම ක්‍රමය යටතේ අපොස (උසස්‌ පෙළ) විභාගය සඳහා "දිවා - රෑ කටපාඩම් කිරීම" විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ මාර්ගය බවට පත්ව ඇති ඒ අනුව සිසුන්ගේ භාවිත දැනුම, විමර්ශනාත්මක චින්තනය, මෘදු කුසලතා සහ විෂය දැනුමෙන් බාහිර දක්‍ෂතා ආදිය කිසිදු අදාළත්වයක්‌ නොමැති අංගෝපාංගයන්ය.

* වෙනත් රටවල විශ්වවිද්‍යාල සිසුන් හා සසඳන කළ ලංකාවේ සිසුන්ගේ හා විශ්වවිද්‍යාලවල තත්ත්වය වඩාත් තහවුරු වේ. උදාහරණයක්‌ වශයෙන්, ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අනෙකුත් රටවල සිසුන්ට වඩා අවුරුදු 3-4 කින් වයස්‌ගත වූ පිරිසකි. ලංකාවේ විශ්වවිද්‍යාල ස්‌ථාවර අධ්‍යයන වර්ෂයක්‌ පවත්වා ගැනීමට අසමත් වීම නිසා, එය බොහෝ විට දින 365 වර්ෂයට වඩා දික්‌ වන බැවින් සිසුන් ද අවශ්‍ය කාලයට වඩා රැඳී සිටීමෙන් තම වටිනා තරුණ කාලය නාස්‌ති කරනු ලබයි.

* අධ්‍යාපනය යනු නිෂ්පාදන වියදමක්‌ සහිත සේවා නිෂ්පාදනයක්‌ බැවින් එයට මිලක්‌ ද ඇත. එහෙත් මෙම මිල රටේ බදු ගෙවන පිsරිස මතට පැටවේ. සිසුන් ගෙවීමට අවශ්‍ය නොවන බැවින් සහ විශ්වවිද්‍යාලවලට අය කිරීමට අයිතියක්‌ නොමැති බැවින්, එම නිෂ්පාදනයේ ගුණාත්මක ප්‍රමිතිය උසස්‌ කිරීමට ඉල්ලුම හෝ සැපයුම යන දෙපැත්තෙන්ම ප්‍රොaත්සහනයක්‌ නොමැත. මේ හා සම්බන්ධ තවත් වැදගත් ප්‍රශ්නයක්‌ වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍රමය තුළ දුප්පත් අයට වඩා පොහොසත් අයගේ අධ්‍යාපනයට සහනාධාර සැපයීමයි.



* තම ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා ලංකාවේ විශ්වවිද්‍යාල ආණ්‌ඩුවේ ප්‍රතිපාදන මත යෑපෙන බැවින්, ඒවාට කළමනාකරණ හා මූල්‍ය ස්‌වාධීනතාවක්‌ නොමැත. එබැවින් විශ්වවිද්‍යාලය "කළමනාකරණය" යනු හුදෙක්‌ පිටතින් පණවා ඇති නීතිරීතිවලට අනුකූලව විශ්වවිද්‍යාලය "පවත්වා ගැනීම" පිළිබඳ ප්‍රශ්නයක්‌ පමණී. මේ ක්‍රමය තුළ විශ්වවිද්‍යාලයක කාර්ය සාධනය හා ප්‍රගතියද ර¹ පවතින්නේ, එහි කළමනාකරණ ක්‍රමයට වඩා නායකත්වයේ පෞද්ගලික පෞරුෂය මතය.

ආණ්‌ඩුවේ ඒකාධිකාරයට යටත් වූ හා ඇතුළු වීමේ බාධාවන් මගින් ආරක්‍ෂා කරනු ලැබූ උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ තරගයට හෝ කාර්යක්‍ෂමතා වැඩිදියුණුවට ඉඩක්‌ නොමැත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වුවද, එක්‌ විශ්වවිද්‍යාලයක්‌ තවෙකක්‌ සමග තරග කරන්නේ නැත. එසේම ඒවායේ කළමනාකරුවන් හෝ ආචාර්යවරුන් අතර ද තරගයට ප්‍රොaත්සහනයක්‌ නොමැත

ප්‍රතිපත්ති අත්වැල

ප්‍රතිපත්ති අත්වැල යොමු කෙරෙන්නේ, උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ලිහිල් කරණය, තරගය හා ජාත්‍යන්තර තත්ත්වයෙන් නිමැවුමේ උසස්‌ බව සහතික කරණු පිණිසය. ලිහිල්කරණය, පැහැදිලිවම උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළට විදේශීය හා පෞද්ගලික සහභාගීත්වයට ඉඩකඩ විවෘත කර දෙයි. මෙම ලිහිල්කරණය පිළිබඳව බොහෝ කතාබහ පැවතුණත්, වැඩි අවධානයක්‌ යොමු වී නැත්තේ රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල ක්‍රමය තුළ හා එම ක්‍රමය පරිපාලනය කෙරෙන රෙගුලාසි පද්ධතිය තුළ ප්‍රතිසංස්‌කරණ පිළිබඳවයි. මෙම ක්‍ෂේත්‍රයන්හි ප්‍රතිසංස්‌කරණයන් නොමැතිව ලිහිල්කරණය තුළින් රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල අර්බුදය තවත් උග්‍ර වනු ඇත. හේතුව ලිහිල්කරණය තුළ අකාර්යක්‍ෂම අංග තරගයෙන් ගිලිහී යාමයි. එබැවින් ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලිය හැම අංශයක්‌ම ආවරණයවන සේ පරිපූර්ණ ප්‍රවේශයක්‌ මත පදනම් විය යුතු වේ.

රාජ්‍ය ඒකාධිකාරය තුරන් කිරීම

විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයෙහි රාජ්‍ය ඒකාධිකාරය ඉවත් කළ යුත්තේ (ස) ඉහළ පෙළේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට මෙරටට පිවිසීමට ඇරයුම් කිරීමෙන් හා (සස) කොන්දේසි සපුරන මෙරට උසස්‌ අධ්‍යාපන ආයතනවලට "උපාධි පිරිනැමීමේ අයිතිය" ලබාදීමෙනි. මෙම ලිහිල්කරණ ප්‍රතිපත්තිය තාක්‍ෂණික හා වෘත්තීමය අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් ද ආවරණය වනසේ පුළුල් කළ යුතු වේ.

මෙම ආයතනවල අවධානය යොමු වියයුත්තේ හුදෙක්‌ උසස්‌ අධ්‍යාපනය සඳහා ඇති දේශීය ඉල්ලුම සැපිරීමට පමණක්‌ නොව, කලාපීය හා ජාත්‍යන්තර ඉල්ලුම ද සැපිරීමටය. එමෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවල එම රටේ සිසුන්ටද එම විශ්වවිද්‍යාලයේ ලංකාවේ මණ්‌ඩපයට පැමිණ අධ්‍යාපනය ලැබීම වඩා සිත්ගත් හා වියදම අඩු තෝරා ගැනීමක්‌ විය හැකිය. මෙය ඇමරිකාවේ, බටහිර යුරෝපයේ හා අනෙකුත් ඉහළ ආදායම් කාණ්‌ඩවල රටවලට විශේෂයෙන් අදාළ වේ. ලංකාවට පැමිණෙන උසස්‌ අධ්‍යාපනය ලැබීමේ තෝරා ගැනීමට අදාල ප්‍රතිපත්තිමය සංගත බව හා ප්‍රොaත්සහන ඇති කරගැනීමට රටෙහි නිදහස්‌ ආර්ථික ප්‍රතිපත්ති ශක්‌තිමක්‌ කළයුතු අතර. ආගමන ක්‍රියාපටිපාටිය ද ගැලපෙන සේ ප්‍රතිසංස්‌කරණය විය යුතු වෙයි. ලංකාවේ උසස්‌ අධ්‍යාපනය සඳහා බිහිවන ජාත්‍යන්තර ඉල්ලුම වඩාත් පහසු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව බිහිවිය යුතුය.

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කළමනාකරණ ස්‌වාධීනතාව



උසස්‌ අධ්‍යාපනය ලිහිල්කරණයේදී, රාජ්‍ය විශ්වවිද්‍යාල, දැනට ක්‍රියාත්මක වන ආකාරයට අනුව, වඩාත් පීඩාවට පත්වී තවදුරටත් පිරිහීමට ලක්‌විය හැකිය. ලිහිල්කරණ වාතාවරණය තුළ මෙම විශ්වවිද්‍යාලවල තරගකාරීත්වය ශක්‌තිමත් කිරීමට නම් ඒවාට කළමනාකරණ හා මූල්‍ය ස්‌වාධීනතාව ලැබිය යුතුය. මෙම විශ්වවිද්‍යාල එකිනෙකින් ද ස්‌වාධීන විය යුතු අතර, ඒ හැම ආයතනයක්‌ම ස්‌වාධීන "අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌" මගින් පාලනය විය යුතුය. ආණ්‌ඩුව විශ්වවිද්‍යාලවල පුනරාවර්තන වියදම් සඳහා ප්‍රතිපාදන සැපයීම ක්‍රමානුකූලව අඩු කළ යුතු අතර, අවශ්‍ය ආදායම් ඉපයීම හා වියදම් දැරීම සඳහා විශ්වවිද්‍යාලවලට බලතල තිබිය යුතුය. ආණ්‌ඩුවේ වියදම් යොමු විය යුත්තේ ප්‍රාග්ධන වියදම්, පර්යේෂණ හා සංවර්ධන වියදම් සහ ආචාර්යවරුන් පුහුණු කිරීමේ හා පශ්චාත් උපාධි ලබාදීමේ වියදම් සඳහා ය. තමන්ට අවශ්‍ය පාඨමාලා ස්‌වාධීනව ගෙන යැමේ හැකියාවත්, ඒ සඳහා සිසුන් ද ආචාර්යවරු ද තරගකාරී ලෙස දේශීයව හෝ විදේශීයව තෝරා ගැනීමේ අයිතිය තිබිය යුතු වේ වඩාත් තරගකාරී ආචාර්ය මණ්‌ඩලයක්‌ වැඩි වැටුප් හෝ දීමනා ගෙවීමෙන් රඳවා ගැනීමට විශ්වවිද්‍යාලවලට අයිතිය තිබිය යුතු වේ.

ප්‍රතිපාදන කොමිසමේ නව කාර්යභාරය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කාර්යභාරය පවතින්නේ රෙගුලාසි සහිත මධ්‍යගත විශ්වවිද්‍යාල ක්‍රමයක්‌ තුළ පමණි. උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ලිහිල්කරණය වූ ක්‍රමයක්‌ තුළ එම කාර්ය භාරය නැසීයයි. එහෙත් වඩාත් ඉහළ මට්‌ටමේ මධ්‍යගත ආයතනයකට රටෙහි උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි ප්‍රගතිය උදෙසා වඩාත් වැදගත් කාර්යයන් කීපයකට යොමු විය හැකිය. මෙම කාර්යයන් නම් (ස) රටෙහි උසස්‌ අධ්‍යාපනය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම, (සස) උපාධි - ප්‍රදාන අයිතිය පිරිනැමීමේ වගකීම, (සසස) අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි අවම ජාත්‍යන්තර ප්‍රමිතිය ආරක්‍ෂා කර ගැනීම සඳහා අගැයීමේ හා උපදේශන සේවා සහ (සඩ) විශ්වවිද්‍යාල මට්‌ටමේදී ආණ්‌ඩුවේ "නිදහස්‌ අධ්‍යාපන" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වේ.

නිදහස්‌ අධ්‍යාපනය හා ඉන් ඔබ්බට

ලංකාවේ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය වෙනම ප්‍රශ්නයක්‌ ලෙස ගත්කළ, ඉහත දැක්‌වූ කිසි පිළිවෙතක ඒ සමග ගැටීමක්‌ නොමැත. නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපාදනය සැපයිය යුත්තේ විශ්වවිද්‍යාලයකට තෝරාගනු ලැබූ ශිෂ්‍යයකුට මිස විශ්වවිද්‍යාලයට නොවේ. මෙහිදී විශ්වවිද්‍යාලයට ද තම මිල තරගකාරී ලෙස අය කළ හැකි අතර, විශ්වවිද්‍යාල ක්‍රමය තුළ තරගයට හා ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට ප්‍රොaත්සහන ලැබේ. ශිෂ්‍යයාට ද තෝරා ගැනීමේ ඉඩකඩ පුළුල් වේ.

කෙසේ වෙතත්, නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්‌කරණය විය යුතු අතර, එය ඉක්‌මවා අධ්‍යාපන ප්‍රතිපාදන ලබා ගැනීමේ ක්‍රම පුළුල් විය යුතු වේ. මේ සඳහා අධ්‍යාපන බැංකු ණය ක්‍රම, අනුග්‍රාහක ක්‍රම හා ශිෂ්‍යත්ව ක්‍රම වඩාත් පුළුල් විය යුතු වේ.

වත්මන් නිදහස්‌ අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය අනුව මතුව ඇති ගැටලු අතරින් වැදගත් කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුය. නිදහසේ ලැබෙන උසස්‌ අධ්‍යාපනයේ වටිනාකම ඉස්‌මතු නොවන බැවින් එය ලබා ගන්නා අය තුළ තිබිය යුතු කැපවීම හා වගකිවයුතු බව දුර්වලය. එබැවින් නිදහස්‌ අධ්‍යාපනය වැරැදි ලෙස භාවිත කිරීමද, බදු ගෙවන්නන් මත පැටවූ පිරිවැයකින් සිදුවන "බුද්ධි ගලනය" ද සාධාරණීකරණය කිරීම අපහසුය. ඉහළ ආදායම් ලබන අයට අධ්‍යාපනය සඳහා ගෙවීමට හැකියාව ඇති විටෙක, සියලුදෙනාටම එකසේ නිදහස්‌ අධ්‍යාපනය ලබාදීම ද ප්‍රශ්න කළ යුතු කරුණකි. මෙය වඩාත් බරපතළ වන්නේ ඉහළ ආදායම් කාණ්‌ඩවල අයට නිදහස්‌ අධ්‍යාපනයේ වැඩි ප්‍රතිලාභ ගලායන විටය.

http://www.divaina.com/2011/10/30/feature09.html


picture preview

No comments:

Post a Comment