Thursday, November 10, 2011

රෝහල් සේවිකාවකට අතවර කළ සිද්ධිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ජාතික රෝහලේ සුළු සේවිකාවකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන ජනවාරි මස එකොළොස්වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ජී. එල්. ප්‍රියන්ත මහතා ඊයේ (8) මරදාන පොලිසියට නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කෙළේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද දින ඉදිරිපත් කිරීමට නොහැකි බව දන්වමින් ඊට වෙනත් දිනයක් ලබාදෙන ලෙස මරදාන පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුවය.
අනතුරුව අධිකරණය වෙත කරුණු දැක්වූ සැකකරුවන්ගේ නීතිඥ ආර්. රජිත ලක්මාල් මහතා මේ සිද්ධියට අදාලව පැමිණිලිකාරිය බොරු පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කර ඇති නිසා සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වන බවත් සැකකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ල ඉක්මණින් අධිකරණයට ඉදිරිපත් කිරීම සැකකරුවන්ට කරන සාධාරණයක් බවත් කීය.
කොළඹ ජාතික රෝහලේ සුළු සේවිකාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම රෝහලේම ඕවර්සියර්වරයකු ඇතුළු සිව් දෙනකු මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව එකිනෙකා රුපියල් විසි දහස බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලදී. පැමිණිලිකාරිය විසින් ලේඛන වෙනස් කිරීමක් හා සුදුබත් වෙනුවට රතුබත් දීමේ විනය විරෝධී ක්‍රියාවන් දෙකක් සම්බන්ධයෙන් ඕවර්සියර්වරයා විසින් පාලන අධිකාරියට වාර්තා කිරීම නිසා ඇය විසින් මෙම බොරු පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි සැකකරුවන්ගේ නීතිඥ රජිත ලක්මාල් මහතා මුලදී අධිකරණයට දැන්වීය.
dinamina November 09

No comments:

Post a Comment