Thursday, November 10, 2011

"පැලැස්‌තර" විසඳුම්වලින් සෞඛ්යැයේ ගැටලු විසඳිම!

ඒමන්ති මාරඹේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින්ගේ කියන දැ නොකිරීමේ හා නොකරන දැ කීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් එම අමාත්‍යාංශය අක්‍රීය අමාත්‍යාංශයක්‌ බවට පත් වෙමින් තිබේ. අප පෙර ලිපියකින් පැවැසූ අයුරින් "කටින් බතල කොළ සිටුවීමේ" තවත් පුවත් කිහිපයක්‌ම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තා වීමෙන් ඒ බව තහවුරු වේ.

"
රජයේ රෝහල් 47 ක්‌ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් වැසී යද්දී වැඩ නොකරන වෛද්‍යවරුන් 90 ක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරන බව පැවසෙන පුවතත්, රජයේ රෝහල්වල සිදු කෙරෙන ලේ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණයන් පුද්ගලික වෛද්‍ය අංශයෙන් සිදු කිරීම සීමා කරන බව දැක්‌වෙන පුවතත් මේ අතුරින් ප්‍රධානය.
මෙම පුවත්වලින් මුල් පුවත එනම් වැඩ නොකරන වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ යොදවා ඇති බව සඳහන් පුවත නිර්මාණය කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් වරදකරුවන් කරමින් හා සෞඛ්‍ය ඇමැතිවරයා ඒ පිළිබඳව කිසිවක්‌ නොදන්නා අයුරින් නිර්මාණය කර ඇති මෙම පුවතෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගෙන් විමසා ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ මෙම පුවත සම්බන්ධව හෝ එය සැපයූ තැනැත්තා පිළිබඳ තමන් කිසිවක්‌ නොදන්නා බවකි.
අනෙක්‌ අතට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන වෛද්‍යවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියා පවසන වැසී ගොස්‌ ඇති රෝහල් 47 හි පවතින බව කියන වෛද්‍යවරුන්ගේ හිඟය අතර ඇති සම්බන්ධය කුමක්‌දැයි යන්න පිළිබඳ ගැටලුවක්‌ පැන නඟිනුයේ වැසී ගොස්‌ ඇති වෛද්‍ය ආයතන සංඛ්‍යාව 47 ටත් වඩා අඩු වීමත් එම ආයතනද පර්යන්ත ඒකක වැනි බොහෝවිට එක්‌ වෛද්‍යවරයෙකු හෝ දෙදෙනෙකු සේවය කරන ආයතන වීම නිසාය. එහෙත් අමාත්‍යාංශ නිලධාරියා දිගින් දිගටම පවසනුයේ රෝහල් 97 ක්‌ කලින් වැසී ගොස්‌ තිබූ අතර අවශ්‍ය වෛද්‍යවරුන් පත් කිරීමෙන් දැන් වෛද්‍යවරුන් හිඟ රෝහල් සංඛ්‍යාව 47 ක්‌ දක්‌වා අඩු වී ඇති බවයි.
කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අධ්‍යක්‍ෂවරුන් ළඟ හෝ මෙසේ වෛද්‍යවරුන්ගේ හිඟයෙන් වැසී ගොස්‌ අති බව කියන රෝහල් 47 හි වාර්තාවක්‌ නොතිබීමෙන්ම එහි සාවද්‍ය බව පෙනී යයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ නැති වෛද්‍යවරුන් වහාම රෝහල්වලට අනුයුක්‌ත කරන බව පැවැසීමෙන් තම පුවත සාධාරණීයකරණය කිරීමට ඉහත කී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියා උත්සාහ දරා ඇතත් මේ වන විටද ඒ සම්බන්ධව කර ඇති දෙයක්‌ නැති බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැමුන් පසුගිය දිනවල ජනතාව මවාපාන ලද තවත් පුවතක්‌ වූයේ රජයේ රෝහල්වල සිදු කෙරෙන ලේ, මූත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ මින් ඉදිරියට පුද්ගලික රෝහල්වලට යෑවීම සීමා කිරීමේ පුවතයි. සැබැවින්ම එය සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනමාධ්‍යයන්ට නිකුත් වූයේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ නියමයෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන රසායනාගාර පරීක්‍ෂණ පුද්ගලික රෝහල්වලට නිතුත් කිරීම තහනම් කරන ආකාරයටය.
එහෙත් සිදු වූයේ කුමක්‌ද? අසරණ රෝගී ජනතාව පවා තමන්ට සහනයක්‌ ලැබුණේ යෑයි සිතා සිටි අදාළ පරීක්‍ෂණයන් පුද්ගලික රෝහල්වලට යෑවීම මේ වන විටද නතර වී නොතිබීමයි. මේ මොහොතේදිත් රජයේ රෝහල් වාට්‌ටුවලින් එම රෝහල්වල සිදු කෙරෙන ලේ, මුත්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණයන් පුද්ගලික රෝහල්වලට නොයෑවෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ බළධාරීන්ට සහතිකයක්‌ දිය හැකිද?මෙහි ඇති වරද බැලූ බැල්මට සෞඛ්‍ය බළධාරීන් අතම පවතින බව පෙනී යයි. මන්ද අදාළ පරීක්‍ෂණයන් පුද්ගලික රෝහල්වලට යෑවීම තහනම් කරන බවට චක්‍ර ලේඛයක්‌ නිකුත් නොකර පුද්ගලික රෝහල්වලට රජයේ රෝහල්වල සිදු කෙරෙන රසායනාගාර පරීක්‍ෂණයන් යෑවීම සීමා කරන බව සඳහන් චක්‍ර ලේඛයක්‌ බළධාරීන් විසින් රජයේ රෝහල් හා පළාත් සෞඛ්‍ය ප්‍රධානින් වෙත නිකුත් කිරීමයි.
අනෙක්‌ අතට එසේ නිකුත් කර ඇති චක්‍රලේඛය හරහා කොතරම් ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කර ඇත්ද යත් මෙසේ පුද්ගලික රෝහල්වලට යෑවෙන පරීක්‍ෂණ සීමා කිරීම සඳහා රජයේ රෝහල්වල සිදු කෙරෙන රසායනාගාර පරීක්‍ෂණ මෙනවාද? යන්න පිළිබඳ රජයේ වෛද්‍යවරුන් දැනුවත් කළ යුතු බව එහි දක්‌වා තිබේ.
යමක්‌ සිදු කිරීමේ සැබෑ අවශ්‍යතාවක්‌ පවතින්නේ නම් මෙසේ ලිහිල් අයුරින් යමක්‌ නැවැත්වීමට පියවර නොගෙන ඒ පිළිබඳ දැඩි ස්‌ථිරසාර පිළිවෙතක්‌ අනුගමනය කළ යුතුව ඇත. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී කරන්නන් වාලේ යමක්‌ කිරීමට පෙළඹුණද එවැන්නක්‌ සිදු කිරීමේ සැබෑ අවශ්‍යතාවක්‌ නොමැති බව පෙන්නුම් කර තිබේ.
පුද්ගලික රෝහල්වලට පරීක්‍ෂණ සඳහා ඇදී යන අසරණ රෝගින්ගේ මුදල් ඉතිරිකර එම සේවාව රජයේ රෝහල් හරහාම නොමිලයේ එම රෝගීන්ට ඉටු කර දීමට දැන් හෝ බළධාරීන් පියවර ගත යුතූව ඇත.
හුදෙක්‌ තමන් යමක්‌ කරනවා යෑයි රටට පෙන්නුම් කිරීමේ අරමුණින් කටයුතු නොකර අවංකවම යමක්‌ ඵලදායි අයුරින් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතුය.
විදේශයන්හි මෙරට රජයේ වෛද්‍යවරුන් දහස්‌ ගණනක්‌ සේවයෙහි යෙදෙන බවට නිරතුරුව පැවැසීමට අමතරව එම වෛද්‍යවරුන් නැවත මෙරටට ගෙන්වා ගත හැකි හා දැනට මෙරට වෛද්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව කලකිරී විදෙස්‌ රටවලට යැමට අදහස්‌ කර සිටින වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීමේ ශක්‌තිමත් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බව අපේ හැඟීමයි.
මන්ද වහසි බස්‌ දෙඩීමෙන් පමණක්‌ රටට හෝ රෝගී ජනතාවට කිසිදු ඵලක්‌ අත්නොවීමයි.
මේ රජයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයෝ තම වැටුප් විෂමතාවන් ඉවත් කර සේවයට සරිලන වැටුප් වැඩිවීම් ඉල්ලා සිටින කාලයයි. එම වෘත්තිකයන්ට දීමනා හෝ ලබා දීමට මුදල් නොමැති බව පවසමින් ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ සිදුවන දූෂණ හා වංචාවන් නතර කිරීමෙන් රුපියල් කෝටි ගණනක මුදල් ඉතිරි කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේ නම් එමගින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දීමනා ප්‍රශ්න විසඳීමට පමණක්‌ නොව රෝහල්වල අඩුපාඩු සකස්‌ කිරීම සඳහා ද එය මහෝපකාරී වනු ඇත.
අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවතිනුයේ හුදෙක්‌ රටේ ජනතාවගේ දැවෙන සෞඛ්‍ය ප්‍රශ්නවලට ස්‌ථිරසාර විසඳුම් සැපයීමට මිසක ඒවාට පැලැස්‌තර විසඳුම් ලබා දීමට නොවන බවයි.


divaina/2011/11/10

No comments:

Post a Comment